Matugama Pradeshiya Sabha

අජිත් පැරකුම් ජයසිංහ

බඩ් කරපු වාහන, චැසි අංක කොටපු වාහන, තව තව එක එක ජාතියෙ අපි නොදන්න ජල්තරස් වාහන ලංකාවෙ කොච්චර තියෙනවද කියල දෙයියොවත් දන්නෙ නැහැ. හැබැයි, කාගෙන් හරි පළිගන්න ඕනැ නම්, ඒ පුද්ගලයා ළග තියෙන වාහන එහෙම ඒවාද කියලා හොයලා බලලා ගේමක් දෙන්න පුළුවන්.

ජගත් විතානගේ පුතා වන රසික විතාන අත්අඩංගුවට ගැනීම පිටුපස තියෙන කතාව කෙටියෙන් එච්චරයි. ඒකෙ නීතිමය කාරණා උසාවිය බලාගනියි. සෙනසුරාදා අත්අඩංගුවට ගත්තාම දවසකට දෙකකට හරි රිමාන්ඩ් කරන්නත් පුළුවන්. ඒවත් ඉතින් නීතිය නවන ක්‍රම තමයි.

ජගත් විතාන කියන්නෙ ධනවතෙකq වගේම ඔය වගේ ජල්තරස් ගනුදෙනුවකට අහුවෙන්න වුණත් බැරි නැති පුද්ගලයෙක්. හැබැයි, මෙතන තියෙන්නෙ ඒකම නෙමෙයි.

මතුගම ප්‍රාදේශීය සභාවේ බලය පැහැර ගන්න ජගත් විතාන සුපිරි ගේමක් ගැහුවා. ඒවා ගේම් මිස වෙන මොකවත් නෙමෙයි. අනෙක් පැත්තෙ කට්ටිය සල්ලි පෙන්න පෙන්නා අද මන්ත්‍රී, හෙට නියෝජ්‍ය ඇමති, අනිද්දා ඇමති, ඉන් අනිද්දා දිසා ලේකම් ආදී වශයෙන් මන්ත්‍රීවරුන් බෑමේ වට වන්දනාවල යද්දි ජගත් කළේ ඡන්දෙට කලින් දවසෙ බාගත්ත, නොගත්ත ඔක්කොම ටික ඔහුගෙ මහගෙදර හිර කරගෙන ඡන්දෙ දවසෙ එතනින් කෙළින්ම සභාවට එක්ක යන එකයි. සන්නිවේදනය බ්ලොක් වෙලා, ගනුදෙනු මිස් වෙලා, ප්ලෑන් අවුල් වෙලා, රහස් ඡන්දෙත් ෆේල් වෙලා අන්තිමට මතුගම සභාවේ සභාපති ජගත්ට උවමනා පරිදි පත් වුණා. ඒ පිටුපස සිටි අයෝමය ශක්තියක්ලු ඔහුගේ පුතා, රසික විතාන.

ඒක කෙක්කෙන් හරි කොක්කෙන් හරි බලය වෙනුවෙන් දේශපාලනය කරන කුජීත තැනකට වැටිලා ඉන්න මාලිමාවට ඔවුන්ගේ භාෂාවෙන් කියනවා නම් හෙළ ෂොට්ටෙකක්.

අන්න ඒ නිසා තමයි ඔය විදියට නීතිය ක්‍රියාත්මක වෙන්නට පසුබිම නිර්මාණය වෙන්නෙ. හෙට අනිද්දා තව තවත් ඔය වගේ ක්‍රියාත්මක වීම් දකින්නට ලැබෙයි.

මතුගම දේශපාලනය කියන්නෙ මේ මොහොතේ නම් කුල්ල කුජීත වෙච්ච එකක්. ඒකෙ තියෙන්නෙ තුච්ඡ පාවාදීම්, සල්ලි විසි කරලා ගහන කැත ගේම්, ඒ අතරෙම ඩබල් ගේම් හා නින්දිත පළිගැනීම් ආදිය. වෙනත් කිසිදු හරවත් දේශපාලනයක් පෙනෙන්නට නැහැ. කිසිවක් හොඳ පැත්තට වෙනස් වෙලා නැහැ. ඉස්සරටත් වඩා නින්දිත විදියට දේශපාලන සෙල්ලම කෙරෙනවා.

හැබැයි, මේ කෙරෙන දේවලින් ජගත් විතාන තව තවත් ජනප්‍රිය වෙනවා. හේතුව, මතුගම මිනිසුන් දන්නවා ඔහුට ඇති තරම් සල්ලි, වාහන, දේපළ තියෙන බව. ඒ වගේම, ඔහු පවුල් මිනිසෙක්. මේ කරන්නෙ ඔහුට වැඩියෙන්ම රිද්දන්නට පුළුවන් නිලයක් ඇල්ලීම බවත් මතුගම මිනිසුන්ට තේරෙනවා.

මුලින් ප්ලෑන් එක තිබුණෙ අභිනව සභාපති අල්ලන්න. මේක ඊටත් වඩා දරුණු නිලයක්.

පුළුවන් තරම් වෛරී දේශපාලනයෙන් ඈත් වෙන්න. අස්වනු නෙළන කාලෙට වපුරපු අය විදියට සලකුණු නොවී ඉන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *