අජිත් පැරකුම් ජයසිංහ
මෙවර පළාත් පාලන මැතිවරණයේදී මා ඡන්දය දෙන්නේ සිරිල් අයියාටය. ඔහු අපේ ගම අයිති කොට්ඨාසයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලන වයස අවුරුදු 80ක් පමණ වන පුද්ගලයෙකි. මගේ සමීපතම අසල්වැසියෙකි.
සිරිල් අයියා තම ඡන්ද කැම්පේන් එක කරන ආකාරය මෙහි දැක්වේ. ඉද්දගොඩට යන විට අතරමගදී ඔහු පසු කර යාමට සිදු වේ. නැතිනම්, ඔහු ඉස්සරහට හමු වේ. එවිට ඔහු මට සැලියුට් එකක් දමයි. ඔහුගේ මැතිවරණ ප්‍රචාරක පත්‍රිකාවේ සඳහන් ආකාරයට ඔහු මුළු දිවයිනටම සාම විනිසුරුවරයෙකි. ගෞරව නාම පවා ලැබී ඇත.
මා ඔහුට ඡන්දය දෙන්නේ හේතු කීපයක් මතය.
1. ඔහු මා දන්නා කාලයේ සිට ගමේ දේශපාලන ක්‍රියාකාරිකයෙකි. මා ඡන්දය දුන් හැම දිනකම ඔහු ඡන්ද මධ්‍යස්ථානයේ දේශපාලන පක්ෂ නියෝජිතයකු ලෙස සිටිනු දුටිමි.
2. කලක ගොවිතැන් හා සුළු රැකියාවල යෙදී සිටි ඔහු හැමදාමත් ගමේ සමිතිවල ක්‍රියාකාරිකයෙකි.
3. ගමේ මිනිසුන්ට සේවය කිරීම සඳහා ඔහු ඕනෑම වෙලාවක සූදානම්ය.
4. ඔහු දේශපාලනයෙන් මුදල් උපයාගත් අයෙකු නොවේ. සරල ජීවිතයක් ගතකරයි. දරුවා වැඩිහිටියෙකි. බිරිඳ මියගොස්ය. ඔහුට සොරකම් කරන්නට අවශ්‍යතාවක් නැත.
5. ගම නියෝජනය කරන්නට සුදුසු වන්නේ අපේ ගමට ගැලපෙන මෙවැනි ක්‍රියාකාරිකයෙකි.
අපේ ගම සාම්ප්‍රදායික කොළ පාට කොට්ඨාසයකි. ගිය වර එක්සත් ජාතික පක්ෂයෙන් ජය ගත් මන්ත්‍රීවරයා මෙවර ජගත් විතානගේ අනුග්‍රහය ඇතිව සමගි ජන බලවේගයෙන් තරග කරයි. ගමේ ඡන්ද අතරින් සැලකිය යුතු ප්‍රතිශතයක් වෝගන් වත්තේ දෙමළ ජාතිකයන්ගේය.
අපේ ගම අයත් කොට්ඨාසයට මාලිමාවෙන් තරග කරන්නේ නාය යාම නිසා අත්හැර තිබෙන බටහිර පැත්තේ ගමෙන් එහා වැල්කන්දල පැත්තේ අප කිසිවෙකු නොදන්නා අලුත් කාන්තාවකි. එහෙත්, වඩාත් බලවත් ඇයයි.