ඉස්සර ලංගම හෙවත් සීටීබී බස්වලට හිටි හැටියේ මගදී කඩා පැනලා ටිකට් පරීක්ෂා කරන පිරිසක් හිටියා. ඒ පරීක්ෂා කිරීමේ අරමුණ තමයි, කොන්දොස්තර ටිකට් දීලා ද, මගීන් ටිකට් අරගෙන ද කියලා පරීක්ෂා කරන එක. ඒ කණ්ඩායමට හැමෝම කිව්වෙ ප්රයිංස්කෝට් එක කියලායි.
මාත් 1980 දශකයේ පූර්ණ කාලීන විප්ලවීය දේශපාලනය කරන කාලෙ බස්වල හොරෙන් ගියේ මේ ප්රයිංස්කෝට්ටෙක ගැන සෝදිසියෙන්. දවසක් මං හොරණට යන්න ගේ ළඟින් බස්සෙකකට නැගලා පාස් කියලා වාඩි වෙලා ගියා. රස්නෙ කාලෙක දවල් නිසා මට පොඩ්ඩක් ඇහැ පියවුණා. බස් යනකොට නින්ද ගියාට නවත්තපු හැටියෙ මට ඇහැරෙනවා. බලනකොට කැන්දකඩුව හන්දියේ බස්සෙක නවත්තලා. ඉස්සරහා තියෙනවා ප්රයිංස්කෝට්ටෙකේ ජීප්පෙක. මං ඉතින් දන්නවනෙ ඒ ගැන. මං හීන් සැරේ බස්සෙකෙන් බැහැලා කැන්දකඩුව පාර දිගේ ගියා. බස්සෙකෙන් බැස්සට පස්සෙ ඒගොල්ලන් අල්ලන්නෙ නැහැ. අපිත් ඉතින් තරුණ කාලෙනෙ. මට ඇහෙනවා උන් කතා වෙනවා, දැන් ඉතින් වැඩක් නැහැ, අන්න බැහැලා යනවා කියලා.
මොකක්ද මේ ප්රයිංස්කෝට්ටෙක කියන්නෙ කියලා මං සෑහෙන්න කල්පනා කරලා තියෙනවා. පස්සෙ කාලෙක තමයි දැනගත්තෙ ඒ මොකක්ද කියලා. ඒ තමයි පියාසර සංචිතය (Flying Squad).











