අජිත් පැරකුම් ජයසිංහ
සමරිසි හා LGBTIQ+ ප්‍රජාව ගැන සමාජයේ සංවාදයක් ඇති වී තිබේ. විදේශික එම ප්‍රජාව අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ උවමනාවක් සංචාරක බලධාරීන්ට ඇති වී තිබෙන බව පෙනේ. ඒ සඳහා මුලින්ම කළ යුතු වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති සම්බන්ධයෙන් කටයුතු කිරීමයි.
දණ්ඩ නීති සංග්‍රහය (අධිකාරිය 19)
365 වගන්තිය: අස්වාභාවික අපරාධ
යම්කිසි පුරුෂයෙකු, ස්ත්‍රියක හෝ සතෙකු සමග ස්වභාව ධර්මයේ නියමයට විරුද්ධව කාම සේවනය ස්වේච්ඡාවෙන් කරන්නේද, ඒ තැනැත්තා අවුරුදු දහයක් දක්වා කාලයකට විය හැකි දෙයාකාරයෙන් එක් ආකාරයක සිර දඬුවමකට යටත් විය යුතු අතර, දඩයකටද යටත් විය යුතුය.
විස්තරය—මෙම වගන්තියේ විස්තර කරනු ලැබූ අපරාධය සඳහා අවශ්‍ය වන කාම සේවනය ඇතිවීමට ඇතුල්වීම ප්රමාණවත්ය.
365A වගන්තිය: පුද්ගලයන් අතර දරුණු අශෝභන ක්‍රියා
යම්කිසි තැනැත්තෙකු ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව, වෙනත් තැනැත්තෙකු සමග යම්කිසි දරුණු අශෝභන ක්‍රියාවක් සිදු කරන්නේ නම් හෝ එය කිරීම සඳහා පාර්ශ්වකරුවෙකු වන්නේ නම් හෝ එය කිරීම සඳහා කිසියම් තැනැත්තෙකු පොළඹවන්නේ හෝ පොළඹවා ගැනීමට තැත් කරන්නේ නම්, ඔහු වරදකට වරදකරු වන අතර, අවුරුදු දෙකක් දක්වා කාලයකට විය හැකි දෙයාකාරයෙන් එක් ආකාරයක සිර දඬුවමකට හෝ දඩයකට හෝ ඒ දඬුවම් දෙකටම යටත් විය යුතුය.
පසුගිය පාර්ලිමේන්තුව සමයේ සමලිංගිකත්වය අපරාධ වරදක් බවට පත්කිරීමට හේතු වන දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පාර්ලිමේන්තුවට ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් එම යෝජනාව ව්‍යවස්ථා විරෝධී නොවන බව අග්‍රවිනිශ්චයකාර ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කතානායකවරයාට දැනුම් දී ඇත.
යෝජනාව සාමාන්‍ය බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත හැකිය.
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය යටතේ “ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනි කායික සංසර්ගය” අපරාධයක් ලෙස සලකන අතර වසර දහයක් දක්වා සිරදඬුවමක් නියම කළ හැකිය. මෙම නීතිය වර්ෂ 1883 තරම් ඈතට විහිදේ. එමගින් සමලිංගික සංසර්ගය අපරාධයක් බවට පත් කළ හැකිය. එය පුද්ගලයන්ගේ ලිංගික නැඹුරුවට එරෙහි නීතියක් ලෙස සැලකේ.
ගැසට් මගින් පළකර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්තගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව අනුව, සංශෝධනය සිදුවන්නේ පහත දැක්වෙන පරිදිය.
365 වගන්තියෙහි සඳහන් වන පරිදි ‘ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනිව ඕනෑම පිරිමියෙකු, ස්ත්‍රියක හෝ සතෙකු සමඟ ස්වකැමැත්තෙන් කායික සංසර්ගයේ යෙදෙන්නේ නම්, ඔහුට වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි සිරදඬුවම් නියම කළ හැකි අතර දඩයකට ද යටත් කළ හැකිය.’
නව සංශෝධනය මගින් මෙම වගන්තියේ ‘පිරිමියෙකු, ස්ත්‍රියක’ යන කොටස් ඉවත් කර තිබේ. ඒ අනුව, එම වගන්තිය වෙනස් වන්නේ ‘ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනිව සතෙකු සමඟ ස්වකැමැත්තෙන් කායික සංසර්ගයේ යෙදෙන්නේ නම්, ඔහුට වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි සිරදඬුවම් නියම කළ හැකි අතර දඩයකට ද යටත් කළ හැකිය’ යනුවෙනි.
නව සංශෝධනය අනුව 365 අ වගන්තිය ඉවත් කරනු ලැබේ.
දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 අ වගන්ති යටතේ අස්වාභාවික සංසර්ගය යන පදනමින් සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික සහ ලිංගිකත්වය ප්‍රශ්න කරන ප්‍රජාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි විය.