අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්

අජිත් පැරකුම් ජයසිංහ

රමිදු ලඛික පෙරේරා යනු ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රබලයෙකි. කුඩා වාමාංශික දේශපාලන කණ්ඩායමක් නියෝජනය කරන ඔහු, ඔහුගේ බිරිඳ ලක්මාලි හේමචන්ද්‍ර සහ නජිත් ඉන්දික මේ වන විට මාලිමාවට එක් වූ වෙනත් කණ්ඩායම්වලට සාපේක්ෂව අසමානුපාතික ප්‍රබලත්වයකට පත්ව සිටිති.

පසුගියදා පැවති ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින සැමරුමේදී ප්‍රධාන දේශනය පැවැත්වූයේ රමිඳු ලඛික පෙරේරා විසිනි. විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වන ඔහු එවැනි ආචාර්යවරුන්ට විශ්වවිද්‍යාල මගින් මහජන මුදලින් පිරිනමනු ලබන වරප්‍රසාද භාවිතා කර මේ වනවිට සිය උසස් අධ්‍යාපනය සඳහා විදේශගතව සිටින්නෙකි. ඔහු අයත් වන්නේ තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවාගෙන සිටියදී තම බිරිය එහි මන්ත්‍රීවරියකව සිටියදී පවා දේශපාලනයට වඩා පෞද්ගලික උන්නතිකාමය වඩා වැදගත් වන පරපුරකටය. රාජ්‍ය නායකයකු යුද්ධය සම්බන්ධයෙන් අවදානම් ගැනීම වැනි දේ තේරුම් ගත නොහැකිය. ඔහු වර්තමාන දේශපාලනය පිළිබඳ කරන විග්‍රහය ද ඔහුගේ පෞද්ගලික චර්යාවන් සමඟින් සෘජුව සම්බන්ධය.

ජනාධිපති වරප්‍රසාද අහිමි කිරීම පිළිබඳව රමිඳු කරන ප්‍රකාශය ඔස්සේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ චින්තනයෙහි දිග පළල හා ගැඹුර අවබෝධ කරගත හැකිය. එබැවින් ඔහුගේ මෙම සටහන විශ්ලේෂණය කරමි.

නූතනවාදී යයි කියන මෙම පනත මගින් ප්‍රායෝගිකව ගත් කල සිදු වන්නේ කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලද ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස නම් වයෝවෘද්ධ කාන්තාවගේ වැන්දඹු විශ්‍රාම වැටුප අහෝසි කිරීම පමණි. සෙසු මෙතෙක් සිටි විධායක ජනාධිපතිවරුන්ගේ බිරියන් අතරින් විශ්‍රාම වැටුප් හිමිකමක් අහිමි වන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ බිරිඳට පමණි. ගෝඨාභය රාජපක්ෂගේ සහ රනිල් වික්‍රමසිංහගේ බිරියන්ට මෙයින් බලපෑමක් වන්නේ නැත. මෛත්‍රී වික්‍රමසිංහ රමිඳු වැනි විශ්වවිද්‍යාල ආචාර්යවරියක වන අතර ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳට හමුදා නිලධාරිවරයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂට හිමිවන විශ්‍රාම වරප්‍රසාද හිමිවනු ඇත. 

නූතනවාදී යයි කියන මෙම නීතිය මඟින් ඇත්ත වශයෙන්ම කර තිබෙන්නේ ප්‍රගතිශීලී සමාජ සුභසාධන සේවාවක් වන වැන්දඹු සහ අනත්දරු අරමුදල අහෝසි කිරීම සඳහා අවශ්‍ය පදනම සැකසීමයි. නීතිමය වශයෙන් කර ඇත්තේ වැන්දඹු හා අනත්දරු අරමුදල් අනවශ්‍ය ඒවා බව තහවුරු කිරීමයි. රජයේ සේවකයන්ගේ වැන්දඹු හා අනත්දරු අරමුදල අහෝසි කිරීම මගින් රජයට විශාල මුදලක් ඉතිරි කර ගත හැකිය. මේ සැරසෙන්නේ එයට විය හැකිය. 

එයට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජයරාම නිවසෙන් පන්නා දැමීමට මෙම පනත මගින් හැකිය. එහෙත් ඔහු ඊළඟට පදිංචි වන තංගල්ල කාල්ටන් නිවසේ වෙනත් ස්ථානයක ආරක්ෂක පිරිස්වලට නේවාසික පහසුකම් සැපයීම සහ ප්‍රවාහනය වෙනුවෙන් දරන්නට වෙන වියදම් ඇතැම් විට කලින් වියදමටත් වඩා වැඩි විය හැකිය. පළිගැනීම සම්බන්ධයෙන් නම් සංකේතාත්මකව ජයග්‍රහණයකි. 

වත්මන් ජනාධිපතිවරයා හැර, පෙර සිටි සියලු ජනාධිපතිවරුන් යුද්ධය සම්බන්ධයෙන් බැරෑරුම් තීරණ ගත් අයයි. ඔවුන්ට කොටි සංවිධානය ඇතුළු ත්‍රස්තවාදීන්ගෙන් තර්ජන තිබේ. ඇතැමෙක් දැනටමත් ‍ත්‍රස්ත ප්‍රහාර වලට ගොදුරු වූ අයයි. 

රමිඳු ලඛික පෙරේරා කලෙක අප මෙන්ම දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය මත පදනම්ව කොටි සංවිධානය පිළිගත් අයෙකි. ඔහු තවමත් එම ස්ථාවරයේ සිටිනවා විය හැකිය. එම නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීම ඔහුට සැමරිය හැකි කරුණක් විය හැක. මහින්දගෙන් පළිගැනීම හැර මෙහි ඇති වෙනත් වැදගත්කමක් නැත.

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම යන විට ඔවුන්ට තමන් ඒ වන විට පාවිච්චි කරමින් සිටි රජයේ වාහනය රැගෙන යා හැකිය. එවැනි වරප්‍රසාද රාජ්‍ය සේවය තුළ තිබේ. හිටපු ජනාධිපතිවරයෙකුට නිවසක්, කාර්ය මණ්ඩලයක්,  විශ්‍රාම වැටුපක්, බිරිඳට වැන්දඹු විශ්‍රාම වැටුපක් ලබා දීම ශිෂ්ඨ රාජ්‍යයක සිදුවිය හැක්කකි. බොහෝ රටවල එවැනි වරප්‍රසාද තිබේ. ජනාධිපති තනතුරට සාමාන්‍යයෙන් පත්වන්නේ ගෙයක් හදාගැනීමට තරම් වත් හැකියාවක් නැති ලොසෙකු නොවේ. හිටපු ජනාධිපතිවරයෙකුට වරප්‍රසාද සැපයීම රාජ්‍ය නායකත්වයට කරන ගරු කිරීමකි. ධුර කාලය තුළ ගන්නා ලද තීරණ සම්බන්ධයෙන් ඔවුහු අවදානම් දරති. රමිඳු ලඛිකලා හා අප යුද්ධයට විරුද්ධ වුණත්, අවසන් යුද්ධය සඳහා තීරණ ගන්නා විට වත්මන් ජනාධිපති ඇතුළු ජවිපෙ එයට මහින්දව දිරිගැන්වීය. වැඩේ කරගත් පසු පක්ෂ සාමාජිකයන් පවා සතුරාට පාවා දී අතහරින සංස්කෘතියක හැදුනු වැඩුණු අනුර කුමාර දිසානායකලාට මහින්ද රාජපක්ෂ මොකෙක්ද?

රමිඳු ලඛිකලාගේ විප්ලවය වනාහි ඒවා අගයන බොළඳ ළදරු වලිප්පුවකි. ඔහු එක් තැනක මෙසේ කියයි: “මෙරට සාම්ප්‍රදායික ප්‍රභූ පන්තියට පරිබාහිර සමාජ කොටස් විසින් නායකත්වය දෙන සමාජ ව්‍යාපාරයක් විසින්, දේශපාලනය හා ආණ්ඩුකරනය නූතන ආකෘතියක් වෙත ගෙන ඒ්මට සටන් කරන බවත්, සාම්ප්‍රදායික ප්‍රභූ පන්තිය දිවි හිමියෙන් ඊට විරුද්ධව සටන් කරමින් සිටින බවත් ආනුභූතික වශයෙන් පැහැදිලි ලෙස පෙනෙන්ට තිබෙන දේවල්ය.”

තවත් තැනක ඔහු මෙසේ කියයි: “ලමයෙක් පාසලට දා ගැනීමට, රජයේ රස්සා බෙදා දීමට කිසිදු විධිමත් ක්‍රමවේදයක් නැත. නූතන සමාජවල නම්, එවැනි ක්‍රමවේද පවතී. ලංකාවේ තිබුණු ක්‍රමවේදය වූයේ පුරවැසියන් දේශපාලකයන් අබියස දණ නමස්කාර කිරීමය ; ඔවුන් වෙනුවෙන් මැතිවරණයේ දී පෝස්ටර් ගැසීමය.” 

එහෙත් ඔහුගේ බිරිඳ ලක්මාලිගේ සිට දේශපාලන හා රාජ්‍ය තනතුරුවලට ජනාධිපතිවරයාගේ හිතවතුන් සහ පක්ෂ සාමාජිකයන් පත් කරන ආකාරය දන්නෝ දනිති. 

“දැනට සටහන් කළ හැකි එකම දෙය නම්, ලංකාවේ දේශපාලනය සහ ආණ්ඩුකරනය, පෙර නොවූ විරූ ආකාරයේ නූතනකරණ ව්‍යාපෘතියක් වෙතට ඇතුලු වී තිබෙන බව සහ ඊට නායකත්වය දෙන්නේ, සාම්ප්‍රදායික ආර්ථික හා දේශපාලන ප්‍රභූ තන්ත්‍රයෙන් පිට, අතිශය සාමාන්‍ය ජනතාවකගේ දේශපාලන ව්‍යාපාරයක් විසින් වන බවය,” යි කියන ඔහු එහි තම වගකීම පසෙක ලා උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වී ඇත.

රමිදු ලක්ඛික පෙරේරා අයත් වන්නේ ඉසෙඩ් පරම්පරාවටදැයි මම නොදනිමි. කුමන පරම්පරාවට අයත් වුවත්, එම පරම්පරාව සිතන ආකාරය තේරුම් ගැනීම ඉතා වැදගත්ය. ඔවුන් යෝජනා කරන ඊනියා ධනේශ්වර විප්ලවය ඔවුන්ගේ වගකීම් විරහිත චර්යාවේ පරාවර්තනයකි.

රමිඳුගේ සටහන මෙතැනින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *