– අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk
මං අවුරුදු පහක් (1985-89) එවකට ජවිපෙ (වත්මන් ජවිපෙ නොවේ) පූර්ණ කාලීනව වැඩ කළා. එතකොට පක්ෂෙ තහනම්. මට වයස අවුරුදු 19-24 අතර. අපි අවංක නිසා, අනෙක් සියලු දෙනා හොරුන් හා නොමග ගිය ජනතාව නිසා, බලය අරගෙන කැප වෙලා සමාජවාදය ගොඩනගන්නට පුළුවන්ය කියල දැඩිව විශ්වාස කරපු කාලෙ. ධනවාදයේ අර්බුදය නිසා අනිවාර්යයෙන්ම ධනේශ්වර ක්‍රමය කඩා වැටිලා, සමාජවාදය අනිවාර්යයෙන් අවශ්‍ය වන තත්වයක් නිර්මාණය වෙනවාය කියලත් විශ්වාස කරපු කාලෙ.
මං ශිෂ්‍ය අංශයෙන් පටන් අරගෙන දිස්ත්‍රික්ක ගණනාවක වැඩ කළා. කවදාවත් පක්ෂෙන් සත පහක්වත් නඩත්තුවට දීලා නැහැ. දිය යුතු නැහැ, අප හොයාගෙන වැඩ කළ යුතුයි කියලායි අපි හිතුවෙ. හොයාගන්න විදියක් තිබුණෙ නැහැ. ඒත් වැඩ කළ යුතුයි කියලයි හිතුවෙ. ඒක නොදන්න කෙනෙකුට හිතාගන්නට අමාරු මොළ සුද්දයකට ගොදුරු වීමක්. මුළු ජීවිතේම පක්ෂෙ චංචල දේපළක් බවට ස්වේච්ඡාවෙන් පත් කරගෙන සිටි මෝඩම මෝඩ කාලයක්. කරපු ගොන් වැඩවල තරමට අපි අද ඒ ගැන කතා කරන්නට ඉන්න එකත් ලොකු දෙයක්.
කොච්චර වැඩ කළත්, මව්පියන් ගුරුවරුන් වන පහළ මධ්‍යම පන්තික පවුලකින් පැවත ආපු නිසා මට ඔය ඉල්ලගෙන නඩත්තු වීම හරියට කරගන්නට බැරි වුණා. මං කන්නවත්, බස්සෙකේ යන්නවත් ඉල්ලන්නෙ නැහැ. ඉල්ලන්නෙ නැතුව කවුරුවත් එහෙමට දුන්නෙත් නැහැ. බැරිම ගැහුණාම විතරක් ඉතාම අපහසුවෙන් කීයක් හරි ඉල්ල ගන්නවා. ගෙදර යන්න බැහැ, පක්ෂෙ පත්‍රිකා බෙදීම ගැන නඩුවකට පක්ෂෙ උපදෙස් මත නොගිහින් ඉඳපු නිසා වරෙන්තු. 1987දී නාවිික හමුදාවෙන් හා පොලිසියෙන් විශාල මෙහෙයුමක් කරලා අපේ ගේ වැටලුවා. කලාතුරකින් රෑ කළුවරේ ගිහින් හැංගිලා දවසක්, දෙකක් ඉඳලා එනවා. තාත්තා කීයක් හරි දෙනවා. ගාලු පාරෙ දිස්ත්‍රික්කවල වැඩ කරද්දි බේරුවල හෙට්ටිමුල්ලෙ අපේ නැන්දගෙ ගෙදර තමයි මගෙ ඇඳුම් දෙක තුන තිබුණෙ. නා ගන්න, ඇඳුමක් හෝද ගන්න, වේලක් හොඳට කන්න ආවෙ ගියෙ ඒ ගෙදරට. ගාමිණී විජේගුණසේකර, නාමල් වගේ කීපදෙනෙකුත් මාත් එක්ක එහෙ ගිහින් තියෙනවා. එහෙ හරක් ඇති කළා. වතාවක් රෝහණ සහෝදරයාට කියලා හොඳ කිරි මී කිරි මුට්ටියකුත් එහෙන් යැව්වා.
හොරණ පොලිසියෙන් පැනල ගියාට පස්සෙ කළුතර ඉන්න බැරුව, 86-87 කාලෙ මට මාතලේ දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය අංශයේ වැඩ කරන්නට වුණා. ඒ තමයි, බලුම දුකක් වින්ද කාලෙ. ඔය මාතලේ පාරවල් හැම එකකම මං පයින් ගියා. රේල් පාරෙත් එහෙමයි. උකුවෙල ඉඳලා එහෙම අනිවාර්යයෙන් රේල් පාරෙ පයින් තමයි එන්නෙ. පක්ෂෙන් ඉන්න තැනක් දුන්නෙ නැහැ. බුද්ධදාස කියල ගොන් බුවෙක් තමයි දිසා ලේකම් හිටියෙ. දිස්ත්‍රික් කමිටුව කැඳෙව්වෙ පියදාස රණසිංහ කියන දේශපාලන මණ්ඩල බුවා. බැරිම තැන දුෂ්කරතාව කිව්වත් උන් නෙමෙයි ඉන්න තැනක්, අතට සත පහක් දුන්නෙ. සහෝදරයා තැන් හදාගන්න ඕනැ කියල තමයි කිව්වෙ. ශිෂ්‍ය අංශෙ ළමයි ගෙදරට හොරෙන් තමයි මං එක්ක පන්ති කළේ. මට පුළුවන් ද ඒ අයගෙ ගෙවල්වල යන්න කන්නයි, නිදාගන්නයි. උන්ට ඒවා තේරුණේ නැහැ. හරමානිස් වගේ පරණ ලුක් එකක් තියෙන ගොන් බුවෙක් හිටියා නිලන්ත කියලා ඒ කාලෙ මොඩ් නමක් දාගෙන. ඌ තමයි බුද්ධයාට කලින් පැනලා ෂඕජරයා චැන් හජාගඤ්ඤ ඕඤැ ඔහොම බැහ් කියන්නෙ.
ඒ කාලෙ මං නිදාගන්න ගියේ රත්තොටට බස්සෙකක ගිහින්, කළුවරේ පයින් කන්ද නැගලා පොල්වත්තකන්දට. ඒ ගිහිනුත් නිදාගත්තෙ ඉන්ද්‍රපාල අයියගෙ ගඩොල් වාඩියෙ තට්ට තනියමේ. පහුවැනිදා උදෙන් නැගිටලා පල්ලම බහිනවා. එක දවසක් මට උණ ගැනිලා කන්ද නැගගන්න බැරුව, මං පොල්වත්තකන්ද පැත්තට යනකොට හමුවෙන සපත්තු පාලම අයිනෙන් තිබුණු අතහැර දමපු පුංචි පාලමෙත් නිදාගත්තා. නිදාගත්තා කිව්වට නින්ද යන්නෙ නැහැ. ඔය කාලෙ අපේ ජීවිත බේර දුන්නට සත්තුන්ට සර්පයන්ටත් සෑහෙන්න ස්තුති කරන්නට ඕනැ.
නාවරගොඩ ගාමිණී වික්‍රමසිංහගෙ ගෙදරත් නිදාගත්තා. කටුමැටි පොළවෙ හීතලේ පැදුර උඩ නින්ද යන්නෙ නැහැ. ඒ වුණාට ඒ අම්මා ලොකු බත් පිඟානක් උණුවෙන් කන්න දුන්නා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු කියල තමයි කියල තිබුණෙ. ගාමිණී දඹුල්ලෙ තිබුණු අධ්‍යාපන කඳවුරකට ගෙදරින් අවසර නැතුව ගිහින් ටැලිග්රෑම් ගහපු මගේ විස්තර තැපැල් කන්තෝරුවෙන් අරගෙන ගාමිණීගෙ අයියා දවසක් මාතලේ පහළ බස් ස්ටෑන්ඩ් එකේ අපි දිස්ත්‍රික් කමිටුවට කොහේ හරි යන්න ඉඳිද්දි මාව අල්ලගෙන මට තර්ජනය කරලා ආයෙ පැත්ත පළාතෙ ආවොත් පොලිසියට භාරදෙනවා කිව්වා. එතනින් ඒකත් ඉවරයි. අර හරමානිසා ඒකටත් මට හිනා වුණා. පියදාස රණසිංහයාත් එදා ආවා. දේශපාලන මණ්ඩලේ හිටියට උන් ප්‍රායෝගිකත්වයක් හෝ තමන්ගෙ මිනිසුන් ගැන සංවේදීතාවක් තිබුණු අය නෙමෙයි. අපි නියම වහල්ලු. උනුත් වහල්ලුම තමයි.
උකුවෙල ජයන්ත එරමිණිගමලගෙ ගෙදර, ඇල්කඩුවෙ ප්‍රියන්තලාගෙ ගෙදර, නාවරගොඩ කිට්ටුව රොබට්ලගෙ ගෙදර, එම්සි පාරෙ අබේ අයියලගෙ ගෙදර, උකුවෙල අනිල්ලගෙ ගෙදර එහෙම තමයි නයිට් ගැහුවෙ. ඔය දැන් කයිය ගහන මාතලේ පක්ෂෙ කට්ටිය ඒ කාලෙ අපට බත් වේලක් දුන්නෙ නැහැ. පළාපත්වෙල පක්ෂෙ ෆුල්ටයිම් වැඩ කළ සහෝදරයො දෙන්නගෙන් ගලේවෙලදි ද කොහෙද දිනමිණ පත්තර වෑන් එක ගිනි තියන්න ගිහින් ඒකෙ හිටපු ග්රාමාරක්ෂකයන්ගෙන් වෙඩි කාලා මැරුණු මර්වින් (පක්ෂෙ නම) මගේ යාළුවා. අපි දෙන්නා මර්වින්ගෙ බයිසිකලේ පැදගෙන එහෙ මෙහෙ ගිහින් රෑට ඒගොල්ලන්ගෙ තාත්තාගෙ දේශනාව අහලා වත්තෙ කොණේ ගෝනියක් එළාගෙන නිදාගෙන තියෙනවා. පස්සෙ කාලෙක මං ඒ දිස්ත්රික්කෙන් ආපහු කළුතරට ආවා.
1988 විතර වෙනකොට මම නම් හිටියෙ ආපහු හැරෙන්න බැරුව. ඒ වෙනකොට සීයට සීයක් ඉලීගල් වෙලා හිටියෙ. පක්ෂෙ හෙණ වගකීම් දැරුවත්, එතකොටත් මට ඔය ඉල්ලගෙන කෑම පුරුදු නැහැ. ඔය මොන මගුල කිව්වත්, ඉල්ලන්නැති එකාට ඔය පක්ෂෙ ඇතුළෙත් කන්න නැහැ පුතා. මේ ජීවිතේ ගැන තේරෙන කීපදෙනෙකු විතරක් හිටියා අහන්නෙම නැතුව කන්න, බොන්න, බස්සෙකේ යන්න සල්ලි දෙන. ඒ මිනිසුන් අතළොස්ස නිසා තමයි අපි පණ ගැටගහගත්තෙ.
කඩවලින් සෑහෙන්න හොරා කෑවා. බස්වල, කෝච්චිවල අනන්ත හොරෙන් ගියා. පැද්දෙත් පක්ෂෙ සහෝදරයෙකු කවුරුහරි දුප්පතෙකුගෙන් හොරකම් කරලා දීපු පාපැදියක්. ඇඳුම් ගැන නම් හැඟීමක් තිබුණෙම නැහැ.
1989දි පක්ෂෙ මර්දනය වුණේ අපි ඇතුළෙ හිටිද්දි. නැවත පක්ෂෙ ගොඩනගන්නට ඕනෑය කියන උවමනාව තිබුණා. හැබැයි, ඒ ජීවන ශෛලියට අකැමැති වෙන්නට ප්‍රධාන හේතුවක් තමයි, සල්ලියි, කන්නයි නැතිකම. වීරවිල ඉන්න කාලෙ වික්ටර්, සුගත් එහෙම එක්ක අපි පක්ෂෙ නැවත පටන් ගනිමු කියල සාකච්ඡාවකුත් කළා. ඒ වුණාට, ඒ වෙනකොට ඇතුළෙ සෑහෙන්න ඔත්තුකාරයන් හිටියා. වැඩිය දැඟලුවොත් මාව නිදහස් කරලා උස්සලා මරනවා කියලා මාතර පොලිසිය විවෘතවම කියල තිබුණෙ. ඒ නිසා මං පරිස්සම් වුණා.
1993දි නිදහස් වුණාට පස්සෙ විවිධ රස්සාවලට ගියෙත්, ආපහු දේශපාලනය කරන්න අවස්ථාව ලැබෙන කල්. පදවියෙදි පුබුදු ෆොටෝ එකේ පෙරේරා සර්, ජයතිලක බණ්ඩාර, ප්‍රේමපාල හේවාබටගේ, සරත් ප්‍රනාන්දු වගේ අය එක්ක මං ජවිපෙට වඩා වෙනස් විදියක දේශපාලනයකට යොමු වුණා. ඉන් පස්සෙ තමයි රෝහිත භාෂණ හමු වුණේ. හිරු කණ්ඩායමෙත් මං ඇත්තටම ෆුල් ටයිම් වගේ තමයි වැඩ කළේ. හැබැයි, ගුරු පඩිය තිබුණු නිසා අනෙක් අයටත් කීයක් හරි දෙන්නට පුළුවන්කම තිබුණා. ඒ ජීවිතෙත් අර වගේම තමයි. ඒ තරමටම ගොබ්බයි. හිරු කණ්ඩායමෙන් අයින් වුණාට පස්සෙ එදිනෙදා හමුවෙන, අරමුණුවලට ගැලපෙන කණ්ඩායම් එක්ක වැඩ කළා. අතින් තමයි වියදම් කළේ. රස්සාවල් ගණනාවකුත් කළා. හැම රස්සාවක්ම රස වින්දා.
මහජන නියෝජිතයන් වෙන්නට, දේශපාලන පත්වීම් ලබන්නට අවස්ථාව නැති බව දැන දැනත්, දිගටම දේශපාලනය කළා. අද තව වෙනකල් කිසිම කෙනෙකු අපේ දේශපාලන වැඩවලට අපට සත පහක්වත් දීලා නැහැ. (එක එක්සෙප්ෂන් එකක් තියෙනවා. අවුරුදු පහළොවකට විතර කලින් වතාවක් මසීර් අපේ වැඩවලට කියලා රුපියල් පන්සීයක් දුන්නා. තැන්කියු මචං) මම ඉල්ලලාත් නැහැ. වැඩ ලැබිලා තියෙනවා. වැඩ හොයාගන්නට උදව් ලැබිලා තියෙනවා. රස්සා දීලා තියෙනවා. ඒව කියන්නට ඕනැ. වැඩ කරලා සල්ලි උපයලා තියෙනවා. සමාජ ව්‍යවසායකත්වයට බැස්සෙ එහෙම. ඉන්න සරල ගෙයක් තියෙනවා. යන්න ඇල්ටො එකක් තියෙනවා. ප්ලැටිනා එකකුයි, ෆුට් සයිකලේකුයිත් තියෙනවා. පොඩි බිස්නස් එකක් දෙකක් තියෙනවා. කුසලතා කට්ටල ගණනාවක් හදාගෙන තියෙනවා. ජීවිතයට බය නැහැ.
සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ සරලව කිව්වොත්, සමාජ අරමුණු වෙනුවෙන් කරන බිස්නස්. අපි එහෙමයි දැන් පවතින්නෙ. ඒක හරි තිරසරයි. අපි හම්බ කරලා අපි දේශපාලනය කරනවා. ඇරියස් නැහැ. අපේ තරමට කාලා ඇඳලා ඉන්නවා. ගෙදර ගෑනිත් මං වගේමයි. දේශපාලනය නිසා රස්සාවල් අහිමි වෙලා, රටිනුත් යන්න පවා වුණා. සියල්ල කාගෙන හිටියා. ඔයත් මොනව හරි කරන්න වගේ දේ කියන්නෙ නැහැ. කියන්න අවශ්‍යත් නැහැ.
ලාල් කාන්තලා ඇතුළු පක්ෂෙ බුවාලාට තියෙන ප්රශ්නය තමයි ජීවිතේ තියෙන ඇරියස්. සම්මාදම් කරලා හරි කොළඹ අවට ඉඩම් අරන් ලොකු ගෙවල් හදාගෙන, සුඛෝපභෝගී වාහන, ඉහළ පෙළේ කෑම බීම හොයන්නෙ දේශපාලනයත්, ජීවිතයත් දෙකම සොයාගන්නට අසමත් වීමේ ප්‍රතිඵලයක් විදියට.
කවුරුහරි පූර්ණ කාලීන දේශපාලනය කරන්නට හිතනවා නම්, මුලින් රස්සාවක් කරන්න. ජීවිතය එතැන සිට ඉගෙන ගන්න. පවුල් ජීවිතයෙත් ගොඩක් දේ තියෙනවා ඉගෙන ගන්න. ඔය ගොන් ස්ත්රීවාදීන්ගෙ මනස්ගාතවලින් ඔලුව කුරුවල් කරගෙන කසාද නොබැඳ, බැන්දත් ළමයි නොහද ඉන්න එපා. ඒ දේ කරලා ජීවිතය විඳින්න. ආර්ථිකය යම් දුරකට හරි ස්ථාවර කර ගන්න. ජීවිතේ ඇරියස් තියාගෙන දේශපාලනයට ඇවිත් සම්මාදම් කර කර හීන හැබෑ කරගන්නට උත්සාහ කරන්න එපා.
හොරකම, දූෂණය ගැන නම් අමුතුවෙන් කියන්නට දෙයක් නැහැ. ඒවා නීති විරෝධීයි. වගවෙන්නට වෙයි.
ෆොටෝ එකේ ඉන්නෙ 1995දි මං. එතකොට පදවියෙ ටීචිං.











