අජිත් පැරකුම් ජයසිංහ
පෙළපොත් ගැන පරණ කතාවක් මතක් වුණා, දැන් පෙළපොත් ගැන යන සංවාදය නිසා. අපි පුංචි කාලෙ පෙළපොත් කියන්නෙ අපේ මතකයේ රැඳුණු කතා, කවි විතරක් නෙමෙයි චිත්‍රත් තිබුණු නිර්මාණ විශේෂයක්. ඒ කාලෙ තිබුණු අඩු පහසුකම් කලාත්මක ඥානය අවදි කරන්නට ඇති. වර්ණ දෙකකින් මුද්‍රණය කරන පිටුවක ඒ වර්ණ දෙකෙන් කළ හැකි උපරිමය කරන්නට සැලසුම් ශිල්පීන් උපරිම උත්සාහය දරා තිබුණා.

ඔහොම ගිහින්, පස්සෙ කාලෙක පෙළ පොත් වෛවර්ණ වුණා. ළමයින්ගෙ ඇසට ප්‍රිය වෙන්නට වර්ණ යොදන බව තමයි කියවුණේ. ඒ වුණාට වර්ණ භාවිතය ගැන හෝ කලාත්මක පිටු සැලසුම් ගැන හෝ අවධානයක් තිබුණෙ නැහැ. මං උගන්නන කාලෙ උසස් පෙළ ළමයින්ට ජෙනරල් ඉංග්ලිෂ් විෂය සඳහා තඩි වෛවර්ණ පොතක් දුන්නා. ඒ පොතේ චිත්‍ර ඔක්කොම වගේ ක්ලිප් ආට්.
ක්ලිප් ආට්, අන්තර්ජාලයෙන් අවසර ඇතුව හෝ නැතුව ගත්ත ඡායාරූප ආදිය තමයි දැන් පෙළපොත් කලාවෙදි වැඩිපුර භාවිතා වෙන්නෙ. ජාතික අධ්‍යාපන ආයතනයෙ නිලධාරීන්ගෙ හිතවත්කම් මත අඩු ගානට ගත්ත චිත්‍ර ශිල්පීන්ගෙ චිත්‍රත් ඉඳහිට තියෙනවා. ඒඅයි හරියට භාවිතා කරන්නට දන්න අය ජාතික අධ්‍යාපන ආයතනෙ හිටියොත්, අනාගතේ පෙළපොත් මීට වඩා හොඳ වේවි.
ඇත්තටම ජාතික අධ්‍යාපන ආයතනයට පෙළපොත් සම්පාදනය කරන්නට දෙන්නෙ ඇත්තටම ඔය ආයතනයට ඒකත් නොදුන්නොත්, ඒ ආයතනයෙන් වෙන කිසිම වැඩක් නැති නිසා වෙන්නට ඇති. මං මහරගම ගුරු විද්‍යාලයේ ඉගෙනගන්නා සමයේ ජාතික අධ්‍යාපන ආයතනය ඇතුළෙ අවුරුදු දෙකක් රස්තියාදු වුණා. වටිනා පුස්තකාලයක් එහි තියෙනවා. ඒක පරිහරණය කරන්නට ලැබුණු අවස්ථාව තමයි, ඔය අවුරුදු දෙකේ වටිනාම දේ.
ඔය ගුරු අධ්‍යාපනය ගැන වෙනම කතා කරන්නට ඕනැ. ජාතික අධ්‍යාපන ආයතනයේ කදිම ක්‍රීඩා පිටියක් තියෙනවා. ඒ වුණාට අපට අවුරුදු දෙකක්ම සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය විෂය ඉගැන්නුවේ පිට්ටනියට ඒ වෙනුවෙන් පය නොගසා. මනෝ විද්‍යාව උගන්නපු විදියත් ඒ වගේම මනෝ විද්‍යාත්මකයි.
කතාව ඒක නෙමෙයි. මං ගුරු වෘත්තියට ගියේ 1994දි. නේවාසික පූර්ව සේවා ගුරු පුහුණුවකුත් ලැබුණා, උණවටුන ගුරු විද්‍යාලයේදි. ඊට කලින් මං වීරවිල රැඳවුම් කඳවුරේදි ස්වේච්ඡාවෙන් අපේ සහෝදරයින්ට ඉංග්‍රීසි උගන්නපු නිසා මට පෙළපොත් ගැන පොඩි අවබෝධයකුත් තිබුණා.
පදවියේ උගන්නන කාලෙ භාවිතයේ තිබුණු හතේ පන්තියේ පෙළපොතක තිබුණා ක්‍රියාකාරකමක්. ඔය ක්‍රියාකාරකම් පාදක ඉගෙනීම වගේ දේ අලුත්ම සංකල්ප නෙමෙයි. ඕවා දශක ගණනාවක් තිස්සෙ භාවිතා වෙනවා. ක්‍රියාකාරකම් නැති දේශනා පාදක අධ්‍යාපනයක් හැදුනෙ ටියුෂන් දේශනාකරුවන්ගේ බිය විකිණීමේ උපාය ඇතුළෙ. ඒ කියන්නෙ විභාග අසමත් වෙයි කියන බිය විකුණලා මුදල් හම්බ කිරීම සඳහා දේශනා කිරීම ඇතුළෙ. ඒක විද්‍යාත්මක අධ්‍යාපනයක් නෙමෙයි. මාලිමාවෙ අධ්‍යාපනඥයන් දන්නෙ ඒ ටියුෂන් මිස ලංකාවෙ භාවිතා කරපු අධ්‍යාපන ප්‍රතිපත්ති නෙමෙයි කියලායි මට හිතෙන්නෙ.
ක්‍රියාකාරකම මේකයි: රිසිපි එකක්, ඒ කියන්නෙ ආහාර සැකසුම් ලේඛනයක් බලු පැටියා කනවා. කොළේ ඉරිලා. කොටසක් කුක්කගෙ බඩේ. ඒ තැන්වල වචනවලින් භාගයයි තියෙන්නෙ. ක්‍රියාකාරකම ඒ ඉතිරි වචන ටික සම්පූර්ණ කිරීම. මේ පෙළපොත සැලසුම් කරපු, චිත්‍ර ඇඳපු හාදයෝ ඒ බලු කුක්කා කාපු රිසිපි එක මරුවට ඇඳලා තිබුණා. ඒකට අනුව, බලු කුක්කා කොළේ නොකා අකුරු විතරක් කාපු තැන් ගොඩක් තිබුණා. තේරෙනවද? ඉරෙන්නට ඕනැ තැනින් නෙමෙයි ඇඳපු මෑන් කොළේ ඉරල තිබුණෙ. ලියපු මෑන් හරි තැනින් අකුරු ඉවර කරලා තිබුණා. එතකොට අකුරු එක තැනකින් ඉවර වෙනවා. ඉතුරු ටික සිසුවා ලියන්න ඕනැ. හැබැයි, බලු කුක්කා ඒ පේළියෙන් කොළේ කාලා තියෙන්නෙ තව ගොඩක් ඉස්සරහින්.
1990 දශකයේදි පවා පෙළපොත්වල උරුමය ඔහොමයි. ඒ කාලෙ පෙළපොත් සම්පාදනය කළේ ජාතික අධ්‍යාපන ආයතනය නොවෙන්නට පුළුවන්. ඉන් පසුවත්, මං උගන්වන කාලෙ ඔය පෙළපොත්වල වැරදි අනන්තව දැකලා තියෙනවා. පස්සෙ කාලෙක මං අපේ ළමයින්ගෙ පෙළපොත් කියවලා තියෙනවා. ඔවුන් සමහර විෂයන් ඉගෙනගන්නෙ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. බලන්න වටිනවා ඒ පෙළපොත්වල ඉංග්‍රීසි. පරිවර්තන දෝෂ එමටයි.
පෙළපොත් ගැන මේකත් කියන්නට ඕනැ. පෙළපොත්, ගුරු අත්පොත්වලින් අපි බොහෝ දේ ඉගෙනගත්තා. අපි ගුරු විද්‍යාලෙ ඉන්න කාලෙ අපිත් ඉගෙන්ගත්ත, පාසල්වලත් උගන්නපු, තැඹිලි පාට කවරයක් තිබුණු ඉංග්‍රීසි සාහිත්‍ය ඇන්තොලොජිය එහෙම එකක්. මතක විදියට මහාචාර්ය ඈෂ්ලි හල්පෙ තමයි ඒක සම්පාදනය කරන්නට නායකත්වය දීලා තිබුණෙ. පෙළපොත් ඉගැන්වීමෙන් අපි බොහෝ දේ ඉගෙනගත්තා. නැතුව, ගුරු පුහුණුවලින් නම් අපට ලැබුණු දැනුම අවමයි. ගුරු අධ්‍යාපනය තියෙන්නෙ ඉතාම දුර්වල මට්ටමක. එහෙව් රටක ගුරුවරුන් මේ මට්ටමෙන් ඉන්න එකත් ලොකු දෙයක්. ටියුෂන් එකක් කරන්නට හරි ගුරුවරුන් වෙනම ඉගෙනගන්න එකෙන් තමයි, ඔවුන්ගෙ කුසලතා හැදිල තියෙන්නෙ.
අර රිසිපි එකේ කතාවෙ තව ලස්සන කෑල්ලක් තියෙනවා. ඕවා ඉස්සරත් ඔය බ්‍රිටිෂ් කවුන්සිල් වගේ තැන්වලින් ගත හැකි පොත්වලින් හා පිටරට යන නිලධාරීන් අරන් එන කොළ කෑලිවලින් කොපි කරන ඒවා වෙන්න ඇති. බලු කුක්කා කාපු රිසිපිය බිත්තර සලාදයක් හදාගන්නා හැටි. ඒකෙ තිබුණා ග්‍රීන් පෙපර් කියලා ජාතියක් ගැන. මේ 1994. මං ඉගැන්නුවේ පදවියේ. මගේ ගම මතුගම හොඳේ.
ළමයින් අහනවා ග්‍රීන් පෙපර් කියන්නෙ මොනවද කියලා. ඇත්තම කියනවා නම්, ගුරුවරුන් කවුරුවත් හරියට දැනගෙන හිටියෙ නැහැ. මලලසේකර වගේ ඩික්ෂනරිවල තිබුණෙත් නැතුව ඇති. සමහර ගුරුවරුන් උගන්වනවා, ඒ කොළ පාට ගම්මිරිස් කියලා. ඒ කියන්නෙ ගහෙන් කඩා ගත් අමු ඒවා. ගුරු උපදේශකලාගෙන්, අධ්‍යක්ෂකලාගෙන් පවා මං අහලා තියෙනවා. කවුරුවත් දන්නෙ නැහැ. හිතන්නෙත් නැහැනෙ. ඒ වෙලාවට මොකක් හරි කිව්වා. එච්චරයි.
ග්‍රීන් පෙපර් මොනවද කියලා මට කියල දුන්නෙ, මහරගම ගුරු විද්‍යාලයේදි අපට මෙතඩොලොජි උගන්නපු කාමන් මැඩම්. ඇය කිව්වා, ඒ සුපර් මාකට්වල තියෙන ලොකු මිරිස් වර්ගයක් බව. බෙල් පෙපර් කියන ජාතිය නම් එතකොට අපි සුපර් මාකට් පිංතූරවල දැකල තිබුණා. සුපර් මාකට් යන්න තරම් සල්ලි තිබුණෙ නැහැ එතකොට. මහරගම කාගිල්ස් එකක් නම් තිබුණා මතකයි. ගණන් වැඩියි කියලා හිතලා අපි මහරගම පොළට තමයි ගියේ. ඇත්තටම ග්‍රීන් පෙපර් කියන්නෙ අමු බෙල් පෙපර්වලට. දැන් නම් මේවා මැජික් නෙමෙයි වෙන්න පුළුවන් පදවියටත්.










