අජිත් පැරකුම් ජයසිංහ
වෙළඳ දැන්වීම්වල අරමුණ ‘පොල්ලෙන් ගැසුවා සේ’ බඩු විකිණීම පමණක් නොවිය යුතුය. කලාත්මක හා සමාජයට යමක් එක් කරන දැන්වීම් මගින් නිෂ්පාදනය කෙරෙහි පාරිභෝගික අවධානය දිනා ගත හැකි බවට සාක්ෂි තිබේ. එවැනි නිර්මාණශීලී උත්සාහයන් මෑතකදී ශ්‍රී ලංකාවේ ප්‍රබල සමාජ කතිකාවතක් නිර්මාණය කිරීමට සමත් වී ඇත.

මෑතදී වටවල සමාගම (Watawala Tea) විසින් නිර්මාණය කරන ලද වීඩියෝ දැන්වීමක් සමාජයේ ආන්දෝලනයට තුඩු දී තිබේ. විවේචකයන්ගේ මූලික විරෝධය වී ඇත්තේ එමගින් LGBTIQ (ලිංගික සුළුතර) අයිතිවාසිකම් හෝ ඔවුන්ගේ පැවැත්ම සමාජගත කිරීම ප්‍රවර්ධනය කරන බවය.
“ජෙන්ඩර්” නම් වූ සංකල්පය ප්‍රතික්ෂේප කිරීම
ස්ත්‍රී පුරුෂ සමාජභාවය (Gender) නම් අව්‍යක්ත පාරිභාෂික වචනයකින් හැඳින්වෙන ‘ජෙන්ඩර්’ නම් විෂයම මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ යුතු බවට අදහසක් සමාජයේ මතුව තිබෙනු දැකිය හැකිය. විශේෂයෙන්ම, ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් ජෙන්ඩර් විවිධත්වය (Gender Diversity) ප්‍රතික්ෂේප කිරීම මෙම නව ප්රවණතාවට යම් තල්ලුවක් ලබා දී ඇති බව පෙනේ.
මෙම කතිකාවේදී, එක්සත් ජනපදයේ රාජ්‍ය සංවර්ධන ආධාර නියෝජිතායතනය වන USAID විසින් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති අතර LGBTIQ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් පැවති බව සත්‍යයකි. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට ‘ජෙන්ඩර්ඩ් භාෂාව’ ඉගැන්වීම සඳහා අති විශාල ධනස්කන්ධයක් වැය කළ ව්‍යාපෘතියක් පිළිබඳවද වාර්තා වී තිබේ. වත්මන් ආණ්ඩුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කෞශල්‍යා ආරියරත්න ද එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය සමග සම්බන්ධව කලක් සේවය කළාය.
නව දැනුම් පද්ධතිවල නීතිය
‘ජෙන්ඩර්’ යන විෂය ද අමුතු සමාජ විද්‍යා විෂයයක් නොවේ. ආචාර්ය උපාධි පිරිනැමීම පවතින තාක් කල්, කුඩා විෂය පරාසයක සිදු කෙරෙන පුළුල් හා ගැඹුරු අධ්‍යයනයන් මගින් එවැනි සියුම් දැනුම් නිෂ්පාදනයන් නවතින්නේ නැත. ලංකාවේ කුලය, වැද්දන් මෙන්ම මදුරු වර්ග ආදිය ගැන කරනු ලැබූ අධ්‍යයන පරිද්දෙන්ම, ජෙන්ඩර් පිළිබඳවද ගැඹුරු අධ්‍යයන තිබේ. දියුණු සමාජයක එවැනි විවිධ දැනුම් පද්ධති තිබිය යුතුය. ලෝකය ගෝලාකාර බවට කෙතරම් සාක්ෂි තිබුණද, එය පැතලියි විශ්වාස කරන අයද ලෝකයේ සිටිය හැකිය. එම විෂය සම්බන්ධයෙන් පවා ගැඹුරු අධ්‍යයනයක් කර ආචාර්ය උපාධි නිබන්ධනයක් ඉදිරිපත් කළ හැකි අතර, එය දැනුම් පද්ධතියට එක් වූ පසු එය ප්‍රතික්ෂේප කිරීමට තවත් අයට පර්යේෂණ කළ හැකිය.
යථාර්ථය නම්, ලෝකය පාලනය කරන්නේ දේශපාලකයන්ට වඩා දැනුම් පද්ධති පරිපාලකයන් විසිනි. එක්සත් ජාතීන්ගේ විවිධ නියෝජිතායතන සමූහය එවැනි දැනුම් පද්ධති පරිපාලකයන් සඳහා කදිම නිදසුනකි.
USAID සහ LGBTIQ ප්‍රවර්ධනයේ උරුමය
අමෙරිකානු රජය විසින්ම වසා දමන ලද USAID ආයතනය, එය ක්‍රියාත්මකව තිබූ සමයේ ලෝකයේත්, ලංකාවේත් ජෙන්ඩර් විෂය හා ජෙන්ඩර් අයිතිවාසිකම් ප්‍රවර්ධනය කළ බව පැහැදිලිය. මෙම ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් ලෙස, ලංකාවේ LGBTIQ ප්‍රජාවක් සිටින බවත්, ඔවුන්ට හඬක් ඇති බවත් ප්‍රතික්ෂේප කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත. බුක් ෆෙයාර්වලදී පවා වැඩිපුරම විකිණෙන පොත් අතර මෙම මාතෘකා හා බැඳුණු ඒවා තිබීමෙන් පෙනී යන්නේ, තරුණ පරපුර අතර USAID ව්‍යාපෘතිවල සාර්ථකත්වය මුල් බැස ගෙන ඇති බවයි.
දැනට USAID ආධාර නොලැබෙන නිසා LGBTIQ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට මුදල් හිඟ වන විට, පෞද්ගලික අංශය ඒ සඳහා අනුග්‍රහය ලබා දීම වරදක් නැත. ප්‍රජාවක් සිටී නම්, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ස්වාභාවිකය.
ලිබරල්වාදීන්ගේ හාස්‍යජනක ස්ථාවරය
වටවල තේ වීඩියෝ දැන්වීම මගින් LGBTIQ අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා කිරීම හේතුවෙන්, එම සමාගමේ නිෂ්පාදන වර්ජනය කර, සමාගම විනාශ කළ යුතු බවට හඬ නගන අය අතර, පුද්ගල නිදහස, ප්රජාතන්ත්රවාදය සහ නිදහස් වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින ලිබරල්වාදීන් රැසක් සිටීම හාස්‍යජනක තත්වයකි.
2017 වසරේදී Laojee (ලාවුජී) තේ සමාගමේ වීඩියෝ දැන්වීමක් අන්තර් වාර්ගික විවාහයක් (සිංහල පිරිමි ළමයෙකු සහ මුස්ලිම් ගැහැණු ළමයෙකු අතර විවාහයක්) තේමා කර ගනිමින් වාර්ගික සමගිය පිළිබඳ ධනාත්මක පණිවිඩයක් ලබා දුන්නේය. එවකට අන්තර් වාර්ගික විවාහයන් ප්‍රවර්ධනය කරනවා යැයි විරෝධය පළ කළ අයට මෙම ලිබරල්වාදීන් ප්‍රතිචාර දැක්වූයේ මෙලෙස නොවිය හැකිය.
ජන වර්ගය සම්බන්ධ කාරණයේදී බොහෝ අය වාර්ගික අයිතිවාසිකම් පිළිගැනීමට මැලි නොවෙති. එහෙත්, කුල ගැන කතා කිරීමේදී ඔවුහු පැකිළෙති. ජෙන්ඩර් ගැන කතා කිරීමේදී හැකිළෙති. මෙම තෝරාගත් විරෝධය (selective outrage) සමාජයේ දැනුම් පද්ධති පරිපාලනයේත්, දේශපාලනික හා සමාජමය ප්රවණතාවලත් සංකීර්ණභාවය මනාව පෙන්වයි.
ලිංගික සුළුතරයන් සහ නීතිය
දැනට පවතින දණ්ඩ නීති සංග්‍රහයේ, විශේෂයෙන්ම 365 සහ 365A වගන්තිවල අන්තර්ගත ප්‍රතිපාදන, ලිංගික සුළුතර ප්‍රජාවන් අපරාධකරණයට ලක් කිරීම සඳහා යොදා ගත හැකිය. මෙම යල්පැනගිය නීති, පුද්ගල නිදහසට සහ පෞද්ගලිකත්වයට හානි කරන අතර, සමලිංගික සහ වෙනත් ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් සහිත පුද්ගලයන්ට හිංසා පීඩා කිරීමේ හා දඬුවම් පැමිණවීමේ අවදානමක් නිර්මාණය කරයි. ඒවා සංශෝධනය කිරීම වෙනුවෙන් අපි පෙනී සිටින්නෙමු.
