අජිත් පැරකුම් ජයසිංහ

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මැතිනිය රතිඤ්ඤා දාලා, පපරෙ ගහලා, මල් මාල දාලා, සළු පොරවලා, ඉඹලා, කතා පවත්තලා සීටීබී බස් කබලක් 155 රූට් එකට දාලා මහින්ද දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළා වගේ සංදර්ශනයක් දානවා දැක්කා.

Arunodakaruwo novel by Ajith Perakum Jayasinghe

155 රූට් එකේ දැන් බස් නොදුවන බව මතක් වුණෙත් එතකොටයි. ඔය බස් දිව්වෙ මට්ටක්කුලියේ සිට රත්මලාන සොයිසාපුර දක්වා. හෙන දිග රූට් එකක්. ඉස්සර කොන්දලා කෑගහලා බස් ලෝඩ් කරනකොට කියන දිගම හෑල්ල. ගල්කිස්ස-දෙහිවල-මිරිස්මෝල හන්දිය-වැල්ලවත්ත-බම්බලපිටිය-තුම්මුල්ල-කැම්පස්-ග්ලාස් හවුස්-ටවුන්හෝල්-ඉබ්බන්වල හන්දිය-ගාමිනී හෝල්-මරදාන-ආමර් වීදිය-කොස්ගස් හන්දිය-කොටහේන-හෙට්ටියාවත්ත-මෝදර-අලුත් මාවත-මට්ටක්කුලිය වගේ දිග හෑල්ලක් කියනවා.

ඔය හෑල්ලෙ හැටියට කොළඹට පිටින් පටන් අරන් කොළඹ හය, හතර, හත, දහය, දොළහ, දහතුන , පහළොව ඔක්කොගෙම යන බස්සෙකක්. හැබැයි ඉතින් නැවතුණා. නැවතුනේ හේතු ඇතිව. බඩවැල වගේ දිව්වට ප්‍රයිවෙට් බස්කාරයන්ට ලාභ නැහැ. උන් හිමින් සැරේ අයින් වුණා. මීටර් ටැක්සි, මීටර් නැති ටැක්සි, පික්මී, ඌබර්, මොටෝ සයිකල්, ඔෆිස් ට්‍රාන්ස්පෝට්, හයිවේ ආවා. පාතාලෙත් පුළුල් වුණා. සීටීබීකාරයන්ව කොහොමත් ෂුවර් නැහැ. ඕකුන් ලක්මාලිව අන්දලා සද්දෙට ඕක විවෘත කළාට වැඩි කාලයක් දුවන්නෙ නැහැ. තුම්මුල්ලෙ ඉඳන් රත්මලානට ඕකුන්ට එකසියපනස්හතරෙන් තර්ජන එනවා.

ඔය බස්සෙකක ඉස්සර යනව කියන්නෙ ලව් එකෙන් ළමයිත් හම්බ වෙනවා.

ඔය වගේ අල වෙලා ගිය තව බස් රූට් කීයක් කොළඹ තියෙනවද? ප්‍රසිද්ධ ඒවා දෙක තුනක් මතක් වෙනවා. මතකද 112? කොටහේන-මහරගම. වරාය පැත්තෙන් ඇවිත් ගාලු පාරෙන්, ඩික්මන් පාරෙන්, තිඹිරිගස්යායෙන් තමයි ගියේ. තව එකක් තිබුණා ඔය වගේ ටොරිංටන්, ජාවත්ත පැත්තෙන් ගිහින් නුගේගොඩ යන පිටකෝට්ටෙ-පිටකොටුව 115ක්. 104 වත්තල-බම්බලපිටිය මෑතක් වන තුරු තිබුණා. 140 කොල්ලුපිටිය-වැල්ලම්පිටියත් දැන් නැහැ. ඉස්සර තිබුණා, 134 අංගොඩ-ගල්කිස්ස, 131 මහරගම-කොළොන්නාව, 167 දෙහිවල-තොටළඟ වගේ බස් සේවා හැටහුටහමාරක් කොළඹ. ඒ හැම එකක් ගැනම අතීතකාමී කතා තියෙන එය එමටයි. ඒ බස්වලදි ඇසට ඇස ගැටිලා, කසාද බැඳලා, ළමයි හම්බ වෙලා බ්ලා බ්ලා බ්ලා. ඔය ඔක්කොම නැවත පටන් ගන්න ගියොත් ලක්මාලි මැතිනියට සළු පළන්දලාම ඉවරයක් නැති වෙයි.

මුලින්ම කරන්නට ඕනැ වෙළඳපොළ අධ්‍යයනයක්. එහෙම කළා නම් ඔය බස් සේවය නැවත පටන් ගන්නට අවශ්‍යද, පවත්වාගෙන යන්නට පුළුවන්ද වගේ කාරණා සාක්ෂි සහිතව දැනගන්න තිබුණා.

ජාතික ජන බලවේග ආණ්ඩුව ෆියුචර් ටෙන්ස් එකෙන් පොදු ප්‍රවාහනයට හෙන සේවයක් කරනවාය කියල කියනවා. අර ප්‍රසන්න ගුණසේන කියන නියෝජ්‍ය ඇමතිතුමා එක වැඩක් නම් කරල තියෙනවා. අර හොර පාරෙන් යන උඩරට දුම්රිය මාර්ගයේ ටිකට් හරි පාරෙන් යන විදියක් හදලලු. ඒ වුණාට ඒවත් පොදු ප්‍රවාහනය නෙමෙයි මෙයා. ඒව ට්‍රිප් ප්‍රවාහනය. පොදු ප්‍රවාහනයට නම් කරපු දෙයක් ඇත්තෙම නැහැ නේද?

Creative Content Consultants

Leave a Reply

Your email address will not be published. Required fields are marked *