Disaster and Social Media

අජිත් පැරකුම් ජයසිංහ

මේ මොහොතේ මුළු රටම දැඩි සුළං, වර්ෂාව, ගංවතුර සහ නායයෑම්වල අවදානමට මුහුණ දී සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වනවාටත් වඩා වේගයෙන්, ඔබේ සහ මගේ ජංගම දුරකථනයේ පණිවුඩ, තොරතුරු මෙන්ම ව්‍යාජ පුවත් ද සංසරණය වෙමින් පවතී. ප්‍රශ්නය මෙයයි: අප හුවමාරු කරන මෙම තොරතුරු විපතට පත්වූවන්ට සහනයක්ද? නැතහොත් එය තවත් අනතුරක්ද?

Creative Content Consultants
For all content creations, translations, editing, proofreading and typesetting in Sinhala, English and Tamil, call 077 1229191/ 077 1734470 / [email protected] / www.praja.lk/content-lanka/

එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සහ ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩසඳ සම්මේලනය (IFRC) වැනි ලෝක මට්ටමේ ආයතන විසින් ආපදා අවස්ථාවකදී ඩිජිටල් මාධ්‍ය හැසිරවිය යුතු ආකාරය පිළිබඳව සම්මත ‘ප්‍රොටෝකෝල’ (Protocols) හඳුන්වා දී ඇත. CDAC (Communicating with Disaster Affected Communities) ජාලය මෙය හඳුන්වන්නේ තොරතුරු යනු සහනාධාරයකි” (Information is Aid) යනුවෙනි. එනම්, අප දෙන බත් මුලක් හෝ වතුර බෝතලයක් මෙන්ම, අප සමාජ මාධ්‍යයේ පළ කරන ‘වචනයක්’ ද මිනිස් ජීවිතයක් බේරා ගැනීමට හේතු විය හැක.

“බෙදා හැරීමට පෙර තහවුරු කරගන්න” (Verify before you Amplify)

ජාත්‍යන්තර මානුෂීය ප්‍රමිතීන්ට අනුව, තහවුරු නොකළ තොරතුරක් බෙදා හැරීම ආචාර ධර්ම උල්ලංඝනය කිරීමකි. අප බොහෝ දෙනා නොදැනුවත්වම සිදු කරන බරපතලම වරද නම්, පැරණි ගංවතුර ඡායාරූප “අද සිදුවීමක්” ලෙස හුවමාරු කිරීමයි. මෙය හුදෙක් බොරුවක් පතුරුවා හැරීමක් පමණක් නොව, ගලවා ගැනීමේ කණ්ඩායම් (Rescue Teams) නොමඟ යැවීමකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පෙන්වා දෙන පරිදි, මෙවැනි අවස්ථාවලදී අප අනුගමනය කළ යුත්තේ “ත්‍රිකෝණාකාර සත්‍යාපන ක්‍රමයයි” (Triangulation). එනම් යම් පුවතක් දුටු විට එය මූලාශ්‍ර දෙකකින්වත් තහවුරු කරගැනීමයි. උදාහරණයක් ලෙස, ෆේස්බුක්හි දුටු පුවතක් කාලගුණ දෙපාර්තමේන්තුවේ හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිල නිවේදන සමඟ සසඳා බැලීම අත්‍යවශ්‍ය වේ.

කෘත්‍රිම බුද්ධිය (AI) සහ නව අනතුර

2025 වන විට අප මුහුණ දෙන අලුත්ම අභියෝගය වන්නේ කෘත්‍රිම බුද්ධිය හරහා නිර්මාණය කරන ලද (AI-generated) රූපයි. ගංවතුරෙන් පීඩා විඳින දරුවන්ගේ හෝ විනාශ වූ ගොඩනැගිලිවල ව්‍යාජ ඡායාරූප නිර්මාණය කර සමාජ මාධ්‍යයට මුදා හැරීම දැන් සුලභ වී ඇත. මෙය මිනිසුන් තුළ අනවශ්‍ය භීතියක් (Panic) ඇති කරයි. එක්සත් ජාතීන්ගේ මාර්ගෝපදේශ පෙන්වා දෙන්නේ මෙවැනි “ව්‍යාජ සංවේදීතාවයක්” (Artificial Empathy) මගින් සැබෑ විපත යටපත් වන බවයි. එබැවින් තාක්ෂණික මෙවලම් භාවිතයෙන් නිර්මාණය කළ කිසිදු රූපයක්, එය කොතරම් කලාත්මක වුවත්, ආපදා අවස්ථාවකදී ප්‍රවෘත්ති ලෙස බෙදා නොහැරීම ඩිජිටල් පුරවැසියන්ගේ වගකීමකි.

දේශපාලනය පසෙක තැබීම සහ රාජ්‍ය යාන්ත්‍රණයට සහය වීම

ආපදා අවස්ථාවකදී ‘දේශපාලනික විවේචන’ සඳහා වෙන්වන ඉඩකඩ, විපතට පත්වූවන්ගේ ‘සහනාධාර ඉල්ලීම්’ (SOS Calls) යටපත් කිරීමට හේතු වන බව බොහෝ පර්යේෂණවලින් තහවුරු වී ඇත. ජාත්‍යන්තර මානුෂීය මූලධර්මවලට අනුව, ආපදා අවස්ථාවකදී ආරක්ෂක අංශ (ත්‍රිවිධ හමුදාව/පොලිසිය) සහ රාජ්‍ය නිලධාරීන් ඉටු කරන්නේ “ජීවිතාරක්ෂක භූමිකාවකි”.

මෙම මොහොතේදී සමාජ මාධ්‍ය හරහා හමුදාවේ බෝට්ටු සේවාවලට බාධා වන අයුරින් අසත්‍ය ප්‍රචාර පැතිරවීම හෝ රජයේ නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය බිඳ වැටෙන අයුරින් හැසිරීම ජාත්‍යන්තර සම්මුතීන් (Code of Conduct) උල්ලංඝනය කිරීමකි. ලෝකයේ දියුණු රටවල ආපදා අවස්ථාවකදී සියලුම පුරවැසියන් සහ මාධ්‍ය ආයතන “එක් පොදු පණිවිඩයක්” (Unified Messaging) වටා රොක් වන්නේ එබැවිනි. විවේචන සහ විගණන පසුවට තබා, මේ මොහොතේ නිල තොරතුරු පමණක් සමාජගත කිරීම බුද්ධිමත් පුරවැසියාගේ ලක්ෂණයයි.

වීරත්වයට වඩා ජීවත් වීම වටී: රිච්‘ (Reach) වෙනුවෙන් රිස්ක් (Risk) නොගැනීමේ විනය

සමාජ මාධ්‍ය තුළ වැඩිම ප්‍රේක්ෂක අවධානයක් (Reach) දිනාගැනීමේ තරගය තුළ, බොහෝ ඩිජිටල් නිර්මාණකරුවන් නොදැනුවත්වම මරණීය උගුලක සිරවෙමින් සිටී. ජාත්‍යන්තර මාධ්‍ය ආචාරධර්මවල සඳහන් රන් නීතියක් තිබේ; එනම් කිසිදු පුවතක් ඔබේ ජීවිතයට වඩා වටින්නේ නැත” (No story is worth your life) යන්නයි. ගලන ගඟක් අද්දරට වී හෝ නායයන කන්දක් පාමුල සිට ‘ලයිව්’ (Facebook Live) දීමෙන් ඔබට ‘ලයික්’ දහස් ගණනක් ලැබිය හැකිය. නමුත් ක්ෂණික ජල පහරකින් ඔබ අනතුරට ලක්වුවහොත්, ඔබ එතෙක් සිදු කළ සමාජ සත්කාරය එතැනින් අවසන් වනු ඇත.

බොහෝ ජාත්‍යන්තර ආපදා මාර්ගෝපදේශ අවධාරණය කරන පරිදි, හෙට දවසේ තවත් ජීවිතයක් බේරාගැනීමට හෝ තවත් සේවයක් කිරීමට නම්, අද ඔබ ආරක්ෂිතව ජීවත් විය යුතුය. මියගිය හෝ ආබාධිත වූ ස්වේච්ඡා සේවකයෙකුට සමාජයට කළ හැකි බලපෑම අවම බව අප සිහි තබා ගත යුතුය.

සීමාව හඳුනාගැනීම සහ වෘත්තිකයන්ට ඉඩ දීම

ආපදාවකදී අප සැමටම උදව් කිරීමට සිතීම ස්වභාවිකය. එහෙත්, ජාත්‍යන්තර ආපදා කළමනාකරණ මූලධර්මවලට අනුව ස්වයං හැකියාවන් පිළිබඳ අවබෝධය” (Awareness of Limitations) අතිශය තීරණාත්මකය. ඔබට පිහිනීමට නොහැකි නම්, ජලයේ ගසාගෙන යන අයෙකු බේරාගැනීමට පැනීම වීරකමක් නොව, තවත් අනතුරක් නිර්මාණය කිරීමකි. එයින් සිදුවන්නේ ගලවා ගැනීමේ කණ්ඩායම්වලට (Rescue Teams) බේරා ගැනීමට සිදුවන පිරිස තවත් එක් අයෙකුගෙන් වැඩි වීම පමණි.

එබැවින්, ඔබේ කාර්යය විය යුත්තේ තොරතුරු සන්නිවේදනය නම්, එය ආරක්ෂිත ස්ථානයක සිට සිදු කරන්න. ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පුහුණුව ලත් ත්‍රිවිධ හමුදාවට, පොලිසියට සහ ආපදා කළමනාකරණ නිලධාරීන්ට ප්‍රමුඛතාව දෙන්න. බොහෝ විට ආපදා කලාපවලට රොක් වන අනවශ්ය පිරිස් (Disaster Tourists) නිසා ගිලන් රථවලට සහ බෝට්ටුවලට මාර්ග අවහිර වන අවස්ථා ශ්‍රී ලංකාවේ සුලබව දක්නට ලැබේ. සැබෑ මානුෂීය සහාය යනු තමන්ට කළ නොහැකි දේ කිරීමට යාම නොව, පුහුණු වෘත්තිකයන්ට තම රාජකාරිය කිරීමට බාධා නොවන පරිදි පසෙකට වී සිටීම බව වටහා ගැනීම ද බුද්ධිමත් පුරවැසියෙකුගේ ලක්ෂණයකි.

පුරවැසි මාධ්‍යවේදියාගේ වගකීම

අප අතේ ඇති ස්මාර්ට් දුරකථනය මේ මොහොතේ ප්‍රබල ආයුධයකි. IFRC මාර්ගෝපදේශවල සඳහන් පරිදි, ඩිජිටල් අවකාශයේදී ද “හානි නොපමුණුවන” (Do No Harm) ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතුය. විපතට පත් දරුවන්ගේ මුහුණු, මෘත ශරීර හෝ මිනිසුන්ගේ අභිමානයට හානි වන ඡායාරූප පළ කිරීමෙන් වළකිමු.

අවසාන වශයෙන්, ඔබ මේ මොහොතේ බෙදා හරින “Post” එක හෝ “Share” එක දෙස නැවත වරක් බලන්න. එය යමෙකුට ජීවිතය බේරා ගැනීමට උදව්වක්ද? නැතහොත් එය හුදෙක් කලබලය වැඩි කරන්නක්ද? ඩිජිටල් යුගයේ සැබෑ වීරයන් වන්නේ ගංවතුර මැදට පැන මිනිසුන් බේරාගන්නා අය පමණක් නොවේ; වගකීමෙන් යුතුව තොරතුරු හුවමාරු කර, සමාජය සන්සුන්ව තබන ඔබ ද එවැනිම වීරයෙකි.

මෙම ලිපිය එක්සත් ජාතීන්ගේ ආපදා සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) සමාජ මාධ්‍ය මාර්ගෝපදේශය වැනි ලේඛන පදනම් කරගෙන සකස් කරන ලද්දකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *