car pistons

අජිත් පැරකුම් ජයසිංහ

මං වෝකර්ස් කොම්පැනියෙ ඔටෝමොබයිල් ඉංජිනේරු ආධුනිකයකු ලෙස පුහුණුවට බැඳුනෙ 1984දි, උසස් පෙළ පන්තියේ හිටිද්දි. මං පළමුවෙනි පාර උසස් පෙළ විභාගයට නොගිහින් පිස්සු නටනකොට ගෙදරින් තල්ලු කරලා ඇරියෙ. ඒ කාලෙ තමයි මං තහනම් කරලා තිබුණු ජවිපෙටත් සම්බන්ධ වුණේ.

මං ඇත්තටම අයදුම් කළේ සිවිල් ඉංජිනේරු ආධුනිකත්වයට. ඒකෙ වේකන්සි නොතිබුණු නිසා තමයි ඔටෝමොබයිල්වලට ගත්තෙ. මං වාහන ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියෙ නැහැ. සම්මුඛ පරීක්ෂණයෙදි පිස්ටන් වගයක් පෙන්නලා ඒවා මොනවද ඇහුවා. මං ඇත්තටම දැනගෙන හිටිය නැහැ. මං කිව්වා මං දන්නෙ නැති බව හා මං අයදුම් කළේ සිවිල් විෂයට බව.

ඒ සම්මුඛ පරීක්ෂණයට ආපු ළාබාලම පුද්ගලයා මං නිසා වෙන්න ඇති මාව ගත්තෙ. අනෙක් පැත්තෙන්, වැඩි ඉල්ලුමක් තිබුණෙ, මරීන්, සිවිල්, මිකැනිකල්, ඉලෙක්ට්‍රිකල් වගේ විෂයන්ට වීම හා ඔටෝමොබයිල්වලට අඩු ඉල්ලුමක් තිබීම තෝරාගන්න හේතු වෙන්න ඇති.

අපේ ගෙදර තිබුණෙ රත්න ශබ්ද කෝෂයක්. මං ඒකෙන් ඔටෝමොබයිල් කියන්නෙ මොකක්ද කියල බැලුවාම ඒකෙ තිබුණෙ ස්වයං චලන කියල. අපේ ජයසිරි මාමා වාහන පිස්සෙක්. එයා කිව්වා ඔටෝමොබයිල් ඇසෝසියේෂන් කියල සංගමයක් නම් තියෙනවා අහල තියෙනවාය කියලා. මොකක් කරන එකක්ද කියලා එයාවත් දැනගෙන හිටියෙ නැහැ.

කොළඹ යන වැඩක් නිසාත්, ආධුනිකත්ව මණ්ඩලෙන් රු. 300ක දීමනාවක් හා සීසන් ටිකට් එකක් දීපු නිසා මාත් ඔහේ ගියා. ගියායින් පස්සෙ තමයි වාහන රස වැටුණෙ. හැබැයි, ඒ හා සමාන්තරවම දේශපාලනය ඊට වඩා රස වැටුණා. ඒ වගේම තමයි, ඒ වන විට රජයේ ආයතනයක් මට්ටමට පිරිහී දූෂණය ඉහවහා ගොස් තිබුණු, බ්‍රිටිෂ් ඔස්ටින්, මොරිස් බ්‍රෑන්ඩ් ආනයනය කළ වෝකර් පුත්‍ර සමාගමේ තත්වයත් මාව එතනින් ඈත් කර දේශපාලනයට තල්ලු කරන්නට හේතු වුණා. ඒ නිසා අවුරුදු දෙකකට පසුව පාඨමාලාව අතහැර පූර්ණකාලීන දේශපාලනයට ගියා. වාහන ගැන දැනුම එතනින් පස්සෙ දිය වුණා.

ඒ කාලෙ අපට කොළඹ යන්නට තිබුණෙ සීටීබී බස් කීපයක් විතරයි. එනකොට නම් බොහෝ විට කළුතරට ඇවිත් මතුගමට තවත් බස් එකක එනවා. එපා කරපු ගමනක්. ඔහේ ගියා. බැච් එකේ හිටියෙ හතර දෙනයි. ඒ නිසා රංචුවලිනුත් මගහැරුණා.

හැබැයි ඉතින් ඒ කාලෙ අද තරම් ට්‍රැෆික් තිබුණෙ නැහැ. 6.40ට මතුගමින් පිටත් වන අත්වැල්තොට සිට එන කොළඹ බස් එකේ ගිහිනුත්, කොල්ලුපිටියේ වෝකර් කොම්පැනියට අටට කලින් යන්න පුළුවන්. දැන් නම් අධිවේගී මාර්ගයේ ගියත් යන්න බැහැ.

ඒ කාලෙ බස් කියන්නෙ ලව්, ට්‍රයි, ජැක්, සිංදු, ෆන් තදබදයක්. ට්‍රිප් යනවා වගේ. මං නම් පාඩුවේ තනියෙම ගියා. මතුගම ඉඳලා වෝකර් කොම්පැනියට තව දෙන්නෙක් ගියා. සුහිතුයි, කීර්තියි. සුහිත් අපේ බැච් එකේ. කීර්ති සීනියර්. කීර්ති ගැන කතා බොහෝයි.

මේ ඒ ගැන නෙමෙයි. ඒ කාලෙත්, ජර්මන් ටෙක් එකට යන සිසුන්ට ඔවුන්ගෙම බස් එකක් තිබුණා. ඒ වුණාට සමහරු සාමාන්‍ය බස්වල යනවා. ඒ කොල්ලන් සෙට් වෙලා සමහර වෙලාවට සිංදු කියනවා. මේ එහෙම කියපු එක සිංදුවක්. දූ අනුරාධා සිංදුවේ තනුවට තමයි කිව්වෙ. ඒක ලිව්වෙ බුද්ධදාස ගලප්පත්ති මහතා. ගැයුවෙ සනත් නන්දසිරි මහතා. තනුවත් ඔහුගෙ.

එන්ජිම ටාටා
එන්ජිම ටාටා

පිස්ටන් අත් පා සෙමින් සැලේ
සිලින්ඩරය තුළ තුරුළෙ වෙලේ ..
පිස්ටන් අත් පා සෙමින් සැලේ
සිලින්ඩරය තුළ තුරුළෙ වෙලේ ..
ක්‍රෑන්ක් එකට ඉන් බලය ලැබේ
සයිලන්සරයම දුමින් පිරේ
සයිලන්සරයම දුමින් පිරේ

Arunodakaruwo novel by Ajith Perakum Jayasinghe
2022 මැයි 9 අරගලය දවස්වල වෙච්ච මරණයක්. ආනන්ද බඹරැන්ද මන්ත්‍රීවරයා මරාදැමුවේ කවුරුද? ආරණ්‍යා බඹරැන්දට ඝාතකයා සොයාගන්නට පුළුවන් වෙයිද? මාක් ට්වේන් කවුරුද? #dawnbreakersට මොකක්ද වුණේ? කියවා දැනගන්න. පොත ගෙදරටම ගෙන්වා ගන්න අමතන්න: 077 1734470

Leave a Reply

Your email address will not be published. Required fields are marked *