අජිත් පැරකුම් ජයසිංහ
තව සතියකින් පමණ කාලයකින් පළාත් පාලන මැතිවරණ පැවැත්වෙනවා.
සමාජයේ ලොකු උනන්දුවක් නැහැ. ජනාධිපතිවරයා නම් වෙන වැඩවලට වඩා පළාත් පාලන මැතිවරණයට ප්‍රමුඛතාව දී රට පුරා රැස්වීම් අමතනවා. ඔහුට මෙම මැතිවරණයෙන් ජය ගෙන බලය තවත් වර්ධනය කරගන්නට අවශ්‍යව තිබෙනවා.
ඉදිරි කාලය දුෂ්කර සමයක් විය හැකි බවට අනුමාන කළ හැකියි. රාජ්‍ය වියදම් වැඩි වී තිබෙනවා. පසුගිය ආණ්ඩුව සමයේ රාජ්‍ය ආදායම් වර්ධනය කරගත්තත්, වත්මන් රජය බදු අයකරන අවම සීමාව ඉහළ නැංවීම සහ රජයේ සේවක වැටුප් වැඩි කිරීම නිසා රාජ්‍ය ආදායම්, වියදම් අතර පීඩනයක් නිර්මාණය වෙනවා. රජය දැනුත් සතිපතා ණය ලබාගනිමින් තමයි රජය පවත්වාගෙන යන්නෙ. 2028 වන විට විදේශ ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතුයි.
මේ අතර ඇමරිකා එක්සත් ජනපදය තීරු බදු වැඩි කරනවා. යුරෝපා සංගමයත් ජීඑස්පී ප්ලස් සම්බන්ධ කොන්දේසි රජය ඉටු කිරීම බලාපොරොත්තු වෙනවා. ඒ වුණත්, රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමට සූදානම් බවක් පෙනෙන්නෙ නැහැ. මෑතදී, ඉතා පැරණි නඩුවක් වෙනුවෙන් නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරභාරයට පත්කර සිටිනවා.
ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් තරමක් බලහත්කාර ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව මෝදිගේ සංචාරය තුළදී අත්සන් කරන ලද ගිවිසුම්වලින් පෙන්නුම් කළා. ලංකාව ඉන්දියාවත් සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරද්දී, ඉන්දියාවත්, පකිස්තානයත් අතර යුද උණුසුමක් පැන නැගී තිබෙනවා.
මේ සියලු අභියෝග මධ්‍යයේ ඉදිරි අවුරුදු කීපය අති දුෂ්කර කාලයක් බවට පත්විය හැකියි. ජාතික ජන බලවේගය බලය ගොනු කරමින් සිටින්නේ ඒ අර්බුදයට මුහුණ දෙන්නටයි.
පළාත් පාලන මැතිවරණය ඔවුන්ට පහසුවෙන් ජයගත හැකි වෙන්නට පුළුවන්. එහෙත්, ඔවුන් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය ඉතා වැදගත්. එයම විපක්ෂයටත් වැදගත්. අනාගත නායක විභවයන් ඇති සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ වැනි අය තම ඡන්ද පදනම් ගොඩනගාගත යුතුයි.
පළාත් පාලන ආයතනවලට එතරම් අලුත් දෙයක් කරන්නට හැකි වන තරම් ආර්ථික තත්වයක් රටේ නැහැ.
ඒත්, පළාත් පාලන ආයතනවලට මොකක්වත් කරන්නට බැරි වෙයිද? පුළුවන් දේ තිබෙනවා. ලාල් කාන්ත කියනවා වගේ අලුතෙන් හෝ අතීතයේ තිබුණු හෝ බදු නැවත හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ ලැබෙන ආදායම්වලින් යමක් කරන්නට උත්සාහ කරන්නට පුළුවන්.
පළාත් පාලන ආයතනවල පසුගිය කාලයේ සිටි මන්ත්‍රීන් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ අන්තේවාසිකයන් බව කවුරුත් දන්නවා. ඔවුන් අතර සැලකිය යුතු පිරිසක් පළාත් පාලන ආයතනවල කොන්ත්‍රාත් ආදියෙන් ලාභ ඉපැයුවා. ඒ වගේම, පළාත් පාලන ආයතනවල සම්පත් අයථා අන්දමින් තමන්ට හා ඥාති හිතවතුන්ට ලබාගත්තා. දූෂණ, වංචාත් සිදු වුණා. ජාතික ජන බලවේගයට ඕනැ නම් ඒවා නවත්වන්නටත්, පළාත් පාලන ආයතනවල කටයුතු විධිමත් කරන්නටත් පුළුවන්.
පළාත් පාලන මැතිවරණය ගැන මා කළ වීඩියෝව පහතින්