KPoint

අජිත් පැරකුම් ජයසිංහ

මම 1989 මැයි මස සිට 1992 අග භාගය දක්වා කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවේ සිටියෙමි. එම කාලයෙන් මාස 13ක් පමණ මා රඳවා තබා තිබුණේ, මාතර එළියකන්ද ප්‍රදේශයේ, දැනට කතෝලික දේවස්ථානයකට හිමි, කඳු මුදුනක පැරණි බංගලාවක හමුදා බුද්ධි අංශ විසින් පවත්වාගෙන ගිය රහසිගත වධකාගාරයකය.

Arunodakaruwo novel by Ajith Perakum Jayasinghe
2022 මැයි 9 අරගලය දවස්වල වෙච්ච මරණයක්. ආනන්ද බඹරැන්ද මන්ත්‍රීවරයා මරාදැමුවේ කවුරුද? ආරණ්‍යා බඹරැන්දට ඝාතකයා සොයාගන්නට පුළුවන් වෙයිද? මාක් ට්වේන් කවුරුද? #dawnbreakersට මොකක්ද වුණේ? කියවා දැනගන්න. පොත ගෙදරටම ගෙන්වා ගන්න අමතන්න: 077 1734470

මා වෙනුවෙන් හෙබයාස්කෝපුස් පෙත්සමක් ඉදිරිපත් වීම නිසා අත්අඩංගුවට පත් දිනෙන් මාස කීපයකට පසුව මා වෙනුවෙන් මාතර පොලීසිය විසින් රැඳවුම් නියෝගයක් ලබාගන්නා ලදී. එහි සඳහන් ආකාරයට මා රඳවා තබාගෙන තිබුණේ මාතර පොලීසියේය. එහෙත්, මා එක් දිනක්වත් එහි නොසිටි අතර, මුළු කාලයෙන් වැඩි කාලයක් රඳවා තබාගෙන තිබුණේ එවකට කපිතාන් රත්නායක ලෙස දත්, පසුව හමුදාපතිවරයකු ද වූ බුද්ධි අංශ ප්‍රධානියකුගේ යටතේ පැවති එළියකන්ද වධකාගාරයේය. ඔහු මාස කීපයකට පසුව ස්ථාන මාරු වී ගිය අතර, එළියකන්ද වධකාගාරයේ දරුණුම අවධියේ එය භාරව සිටි මේජර්වරයා පසුව මහින්ද රාජපක්ෂ මහතා බදුල්ලේදී ඝාතනය කිරීම සඳහා කොටි සංවිධානය සමග කුමන්ත්‍රණ කර අත්අඩංගුවට පත් වූ බව මට අසන්නට ලැබිණි.

මේ අතරතුර මා කෙටි කාලයක්, පසුව කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලද බුද්ධි අංශ නිලධාරියකු වූ තුවාන් රිස්ලි මීඩිං යටතේ පැවති කිරින්ද පුහුල්වැල්ලේ හෙට්ටියාවල හමුදා කඳවුරේ වධකාගාරයක ද රඳවා තබාගන්නා ලදී.

ඉන්පසු, වීරවිල බන්ධනාගාරයේ දිගු කලක් රඳවා තබාගැනීමෙන් පසුව, පුනරුත්ථාපන වැඩසටහනක් යටතේ පොල්ගොල්ල තරුණ පුහුණු මධ්‍යස්ථානයේ ද, සේදවත්තේ හා ගොඩිගමුවේ පන්සල්වල ද මා රඳවා තබාගන්නා ලදී. පන්සලක් යනු සමාජයේ අභය භූමියකි; අධ්‍යාත්මික සුවය සලසන තෝතැන්නකි. එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වූ ආකාරය කෙතරම් ඛෙදජනක ද යත්, පන්සල් පවා රැඳවුම් මධ්‍යස්ථාන සහ සිරගෙවල් බවට පත් කර ගැනීමට ඊට හැකි විය. ගොඩිගමුව පන්සල බොහෝ නිදහස් ස්ථානයක් වු අතර, එයින් පසු මම නිදහස ලැබීමි. මේ කිසිදු ස්ථානයක් නීත්‍යානුකූල රැඳවුම් ස්ථාන නොවේ.

මා සත්‍ය නිදහස ලැබුවේ එයිනුත් කලකට පසුව, 1994දී මා පදවිය ප්‍රදේශයේ ගුරු වෘත්තියේ යෙදෙමින් සිටියදී, කළුතර උතුරේ අශෝකාරාම පන්සලේ මසකට වරක් අත්සන් කිරීමට තිබුණු නියෝගයක් ඉවත් කරගැනීම සඳහා එවකට පුනරුත්ථාපන කොමසාරිස් ලෙස කටයුතු කළ පොලිස් අධිකාරිවරයා හමු වී සාකච්ඡා කිරීමෙන් පසුවය. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයට ගුරුවරයකු ලෙස සම්බන්ධ වන ලෙස ඔහු කළ ඉල්ලීම පරිස්සමෙන්, කාරුණිකව ප්‍රතික්ෂේප කිරීමට එහිදී මට සිදු විය.

kpoint cover
Kpoint

පාපොච්චාරණයේ උගුල

පොලීසිය වරක් මගෙන් කටඋත්තරයක් ලබාගත්තේය. මාතර එළියකන්ද වධකාගාරයට පැමිණි සාජන්වරයකු මගෙන් ප්‍රශ්න කළ අතර, එදින මම කටඋත්තරය කියවා අත්සන් කළෙමි. එහෙත්, ඉන් පසු දිනෙක එම නිලධාරියා නැවත පැමිණි අතර, මා විසින් කරන ලද බව කියන පාපොච්චාරණයක් ඔහු ඔහුට අවශ්‍ය අන්දමින් ලියාගෙන ඇවිත් තිබිණි. එයට අනුව මා පාපොච්චාරණයක් කර තිබුණේ මා කිසිදා දැක නොතිබුණු සහකාර පොලිස් ස්ථානාධිපතිවරයකු ඉදිරියේ ය. මා එය කියවන්නට පටන් ගන්නා විටම, තර්ජනාත්මකව එතැනට පැමිණි, පසුව එළියකන්ද වධකාගාරයේ සිටි ජවිපෙ ක්‍රියාකාරික ළමයකුගේ සොයුරියක සමග විවාපත් බොම්බඩියර් කස්තුරිආරච්චි මට එය අත්සන් කර දෙන ලෙස අණ කළේය. එළියකන්ද වධකාගාරයේ තිබුණු තත්වය අනුව මට පණ බේරාගැනීමට නම් එය අත්සන් කිරීම හැර වෙන විකල්පයක් නොතිබිණි. ඛේදවාචකය නම්, බලහත්කාරයෙන් මගෙන් ලබාගත් එම පාපොච්චාරණය පසුව මට එරෙහිව නඩු කටයුත්තේදී සාක්ෂියක් ලෙස භාවිතා කිරීමයි.

දිවි ගලවා ගැනීම සහ සිරගෙදර අරගලය

මා එළියකන්ද වධකාගාරයෙන් පණ බේරා ගත්තේ, කඳවුර වසා රැඳවියන් වීරවිලට යැවීමට බස්වලට නංවද්දී, එසේ නොයැවීමට නියමිතව සිටි මා, ඉහත කී කස්තුරිආරච්චිගෙන් මා වීරවිලට යවන ලෙස කරන ලද ඉල්ලීමට ඔහු යහපත් අන්දමින් ප්‍රතිචාර දැක්වූ බැවිනි. එම අවස්ථාවේදී බන්ධනාගාරයට නොයවා මාතර පොලීසියට භාර දෙන ලද 40ක් පමණ පිරිස අතුරුදහන් වූහ. ඒ අතර, එළියකන්ද කඳවුරේ සිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා තාවකාලිකව නිදහස් කර පවුලේ අයට භාර දී, විභාගයෙන් පසු ආපසු පැමිණි ළමයකු වූ දෙවුන්දර මනෝජ් ලසන්ත වැනි ළමයි ද වූහ.

අලුතින් ආරම්භ කරන ලද වීරවිල කඳවුරේ රැඳවියන් පහර දීමට විරුද්ධව ආහාර වර්ජනය කර උද්ඝෝෂණයක් කළ විට, රැඳවියන් නියෝජනය කරමින් බන්ධනාගාර අධිකාරි සමග සාකච්ඡා කිරීමට ගිය පිරිස අතර මම සිටියෙමි. අප දේශපාලන සිරකරුවන් නිසා අපට හිමි පහසුකම් ලබාදෙන ලෙස අපි ඉල්ලා සිටියෙමු. ඒ අනුව, පහර දීමට සම්බන්ධ නිලධාරිවරයා ඉන් පසු රැඳවුම් කඳවුර ඇතුළත රාජකාරිවලට නොයෙදූ අතර, හදිසි අවස්ථාවකදී හැර බන්ධනාගාර නිලධාරීන් කිසි විටෙක ඇතුළට බැටන් පොලු රැගෙන ආවේ නැත. අපි ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ උදව් රැගෙන ඇතුළත සුබසාධනය වැඩිදියුණු කරගත් අතර, එළියකන්දේ ඉතිරි වූ රැඳවියන්ගේ ඉරණම ද සොයා බැලුවෙමු. ඒ වන විට, පොලිසියට භාර දී තිබුණු සියලු දෙනා ඝාතනය කර තිබිණි.

මාතර පොලීසියේ නිලධාරියකු වීරවිලට පැමිණ මා කාර්යාලයට කැඳවා, “වැඩිය දැඟලුවොත් නිදහස් කරන බවට” තර්ජනය කළේ, මා වීරවිල සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නායකයකු ලෙස ඔවුන් හඳුනාගෙන සිටි නිසාය. ‘නිදහස් කරනවා’ යන්නෙන් ඔවුන් අදහස් කළේ ඒ වන විට සියලු පාර්ශ්වවල සහයෝගයෙන් ක්‍රියාත්මක වූ කූට ඝාතන උපායකි. එනම්, මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර සැකකරුට චෝදනා නොමැති බව කියා නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමයි. එසේ නිදහස් කරන ලද අය අධිකරණ භූමිය තුළදීම පැහැරගෙන යන ලද අතර අතුරුදහන් වීමෙන් බේරෙන්නට අවස්ථාව ලැබුණේ මා දන්නා පරිදි ගලප්පත්ති නම් රෝහල් සේවකයකුට පමණි. ඔහු නිදහස් කිරීම සඳහා රැගෙන ගිය සැණින් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවට දැනුම් දීමට අපට හැකියාව ලැබීම ද එසේ බේරීමට ඉවහල් වන්නට ඇත.

ඉහත දක්වන ලද්දේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධ මගේ අත්දැකීම්වලින් ඉතා ස්වල්පයක් පමණි. නඩුහබවලට මුහුණ දුන් ආකාරය පිළිබඳව කතා මගේ ‘කේපොයින්ට්’ පොතේවත් ලියා නැත.

නීතියේ ද්විරූපතාව

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කෙතරම් කෘර පනතක්ද යන්න අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය නැත. එහෙත්, එවකට පැවති අරාජික, අනීතික වාතාවරණය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නම් නීතිය පැවතීම හා ඒ යටතේ හෝ මා හට රැඳවුම් නියෝග තිබීම මගේ ජීවිත බේරාගැනීමට ඉවහල් විය. එළිකන්ද රැඳවුම් කඳවුරේ කලින් කලට සිටි සිය ගණනක් පිරිස අතරින් රැඳවුම් නියෝග තිබුණේ අප තිදෙනෙකුට පමණි. ඒ අතරින් ද එක් අයෙකු වූ ගම්පහ දිස්ත්‍රික්කයේ චම්ලි දිසානායක නම් ජවිපෙ මැද මට්ටමේ ක්‍රියාකාරිකයකු වූ තරුණයා මා හෙට්ටියාවල කඳවුරේ සිටි කාලය තුළ අතුරුදහන් විය. අනෙක් පුද්ගලයා එවකට පාසල් සිසුවකුව සිටි, පසු කලෙක දීර්ඝ කාලයක් තිස්සේ ඩලස් අලහප්පෙරුමගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ සුමිත් වීරසිංහයි.

නැවත කීමට ඇත්තේ එවන් අනීතික සමයක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවා නීතියක් ලෙස නරක නැති බවයි.

Ajith Perakum Jayasinghe at Kpoint torture camp in 2023
එළියකන්දේ තිබුණු කේපොයින්ට් වධකාගාරය 2023දී

ත්‍රස්තවාදයේ ගැඹුර

එවකට ත්‍රස්තවාදී ව්‍යාපාරයක් වූ ජනතා විමුක්ති පෙරමුණෙහි ක්‍රියාකාරිකයකුව සිටි මා හට ත්‍රස්තවාදය ගැන තිබෙන අවබෝධය අනුව, ත්‍රස්තවාදය ද කිසිදු නීතියකට හෝ සමාජ සම්මතයකට අවනත නොවන, ආචාරධර්ම හෝ මිනිස්කම් විරහිත, සීමා රහිත ප්‍රචණ්ඩත්වයකි. ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා කටයුතු කරන නිලධාරීන්ට නීතිමය රාමුව තුළ කටයුතු කිරීමෙන් එසේ කළ හැකි යයි කීම මම නම් පිළිගන්නේ නැත. ඒ කාලයේ නීතිය ක්‍රියාත්මක වුණා නම්, අනීතික ජනතා විමුක්ති පෙරමුණ 1989 මැද වන විට කැරැල්ල ජයගන්නට ඉඩ තිබිණි.

ත්‍රස්තවාදයේ අත්දැකීම් 2009න් පසු හීන වී ගිය ද, 2019 පාස්කු ප්‍රහාර විසින් නැවත වරක් ත්‍රස්තවාදයේ ගැඹුර ලංකාවට සිහිපත් කරදෙන ලදී. දේශපාලන ත්‍රස්තවාදයටත් වඩා ආන්තික ආගමික ත්‍රස්තවාදය මර්දනය කිරීම ලෙහෙසි නැත. දේශපාලන ත්‍රස්තවාදයට තරම්වත් තිරිංග එවැනි ත්‍රස්තවාදයන්ට නැති බව දක්නට ලැබිණි. දේශපාලන ප්‍රශ්නවලට නම් භෞතික විසඳුම් තිබිය හැකිය. එහෙත්, අධ්‍යාත්මික අවශ්‍යතා මත දියත් කරන ත්‍රස්තවාදයට භෞතික විසඳුම් නැත. එහි සීමා නැති නිසා මර්දනයට ද සීමා පැනවීම දුෂ්කරය.

ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා රාජ්‍යය වෙනුවෙන් කටයුතු කරන නිලධාරීන් අතින් මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදු වේ. ඔවුන් ගන්නා අවදානම වෙනුවෙන් ආරක්ෂාව සාධාරණ ඉල්ලීමකි. ත්‍රස්තවාදියාගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පහසු නැත. හේතුව, ත්‍රස්තවාදියා තමන්ගෙන් බැහැර ලෝකයේ මානව හිමිකම් ප්‍රතික්ෂේප කරන අයෙකු වීමයි.

එහෙත්, ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුකරන හෝ එසේ කිරීමට සූදානම් වී අතටම අසුවන තෙක් ත්‍රස්තවාදියා හඳුනාගැනීම පහසු නැත. විශේෂයෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාවන්ට අවශ්‍ය සංවිධානමය කටයුතු, ත්‍රස්තවාදය සඳහා පොළඹවන මානසික මෙහෙයුම්, අරමුදල් සම්පාදනය හා ත්‍රස්තවාදීන්ට රැකවරණය සපයන අය ත්‍රස්තවාදීන් වුව ද, ඔවුන් හැම විටම ප්‍රචණ්ඩ පුද්ගලයන් ලෙස පෙනෙන්නේ නැත. ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ නිරූපණයක් සැපයීම කුමන පැත්තෙන් බැලුවත් දුෂ්කර වන්නේ මෙම නිසාය. විශේෂයෙන්ම, මානව හිමිකම් පැත්තෙන් බැලූ කල ත්‍රස්තවාදයට අර්ථ නිරූපණ සැපයීම මගින් මානව හිමිකම් අවදානමට ලක් වේ. මෙය පහසුවෙන් විසඳාගත නොහැකි උභතෝකෝටිකයකි.

නව පනතේ අභියෝගය

වර්තමානයේ රජය විසින් යෝජනා කර ඇති ත්‍රස්තවාදයෙන් රජය ආරක්ෂා කිරීමේ පනත’ (Protection of the State from Terrorism Bill) කරළියට එන්නේ මෙම පසුබිම තුළය. මෙය හුදෙක් PTA පනත අහෝසි කිරීමක් පමණක් නොව, රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය නවීකරණය කිරීමකි. නව පනත මගින් හුදු “චේතනාව” යන්නට අමතරව නොසැලකිලිමත්කම දැක්වෙන “අනවධානීයව” යන යෙදුම ඇතුළත් කරමින් ත්‍රස්තවාදය පිළිබඳ පුළුල් හා අපැහැදිලි අර්ථකථනයක් හඳුන්වා දෙනු ලැබ ඇති බව විද්වත්තු පෙන්වා දෙති (9.3 වගන්තිය). මෙසේ අනවධානීයව ඕනෑම කෙනෙකු අතින් සිදු විය හැකි වරදක් වන ත්‍රස්තවාදී ප්‍රකාශනයක් සමාජ මාධ්‍යයක බෙදාගැනීම ද පනත යටතේ ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත් වේ. අවුරුදු 15ක සහ/හෝ රුපියල් කෝටි එකහමාරක දඩ නියම විය හැකිය.

එසේම, අත්අඩංගුවට ගැනීමේ බලතල පොලිසියට අමතරව හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය වෙත ද ව්‍යාප්ත කර තිබේ. ඩිජිටල් පෞද්ගලිකත්වය සහ ගුප්ත කේතනය (Encryption) සම්බන්ධයෙන් ද නව තර්ජන මතු වී තිබේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) පෙන්වා දෙන පරිදි, පනතේ අර්ථ දැක්වීම් “අපැහැදිලි” (Vague) ස්වභාවයක් ගැනීම තුළින් විරෝධතා දැක්වීම පවා ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ දැක්වීමේ ඉඩකඩක් පවතී.

යහපත් ලක්ෂණ ලෙස, පොලිසියට ලබාදෙන පාපොච්චාරණ (Confessions) පිළි නොගැනීමටත්, ඒවා මහේස්ත්‍රාත්වරයෙකුට පමණක් ලබාදීමටත් ප්‍රතිපාදන සලසා ඇත. රඳවා තබාගැනීම් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් භූමිකාව තරමක් ශක්තිමත් කර ඇත. වධහිංසන වැළැක්වීමේ පියවර ඇතුළත් කර තිබේ.

මගේ තර්කය වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන ලෙස පොදුවේ රටෙන් මෙන්ම ලෝකයෙන් ද මානව හිමිකම් පැත්තෙන් ඇති ඉල්ලීමට ශ්‍රී ලංකා රජය සවන් දිය යුතු බවයි. රජයට හෝ සමාජයට මානව හිමිකම් ප්‍රතික්ෂේප කර ලෝකයෙන් හුදකලා විය නොහැකිය. එහෙත්, ආරක්ෂක අංශවලින් කරනු ලබන ඉල්ලීම් ද ප්‍රතික්ෂේප කළ නොහැකිය.

මානව හිමිකම් සංවිධාන හා වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන ජනතා විමුක්ති පෙරමුණ වැනි වමේ පක්ෂ ද ඉල්ලා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කිරීමයි. එහෙත් මෙහිදී මතුවන උපායමාර්ගික උභතෝකෝටිකය වන්නේ, නව පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම තුළ දැනට පවතින PTA පනත එලෙසම පැවතීමේ අවදානමයි.

එසේ වුවද, ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු මානව හිමිකම් උද්දේශකවරයකුට බැරි තරමට එය ද නරකය.

කළ යුත්තේ කුමක්ද?

මහාචාර්ය රොහාන් සමරජීව සහ නීතිඥ සුදර්ශන ගුණවර්ධන වැනි විද්වතුන් පෙන්වා දෙන පරිදි, මෙහිදී ගත යුතු හොඳම පියවර වන්නේ “විවේචනාත්මක මැදිහත්වීමක්” (Critical Engagement) මගින් “මැද මාවතක්” සකසා ගැනීමයි. පනත මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ඊට නිශ්චිත සංශෝධන යෝජනා කළ යුතුය.

මානව හිමිකම් උද්දේශකයන් හා ආරක්ෂක උද්දේශකයන් අතර සම්මුතියක් නිර්මාණය කරගත හැකි අන්දමින් පනත් කෙටුම්පත සංශෝධනය කිරීමේ වගකීම ඇත්තේ රජයටය. විශේෂයෙන් “අනවධානය” වැනි වචන ත්‍රස්තවාදයේ අර්ථ දැක්වීමෙන් ඉවත් කිරීමටත්, රඳවා තබා ගැනීමේ නියෝග (DO) ක්ෂණික මහේස්ත්‍රාත් අනුමැතියට යටත් කිරීමටත් රජය පියවර ගත යුතුය. විශේෂයෙන්ම ඩිජිටල් අවකාශයට බලපාන වගන්ති මගින් අන්තයේ සිට අන්තයට සිදුවන ගුප්ත කේතනයට (End-to-end encryption) එල්ල වන තර්ජනය වැළැක්විය යුතුය. තව කළ හැකි බොහෝ දේ තිබේ. සංවාදයක් හා සාකච්ඡාමය සම්මුතියක් අවශ්‍යය.

එසේ නොමැති වුවහොත්, සිදුවන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගටම පැවතීමයි. දැනටත් දුසිම් ගණනක් සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටින අතර, මින් පෙර නොවූ විරූ අයුරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පවා මෙම නීතිය භාවිතා කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව අමතක නොකළ යුතුය. ත්‍රස්තවාදයත්, මානව හිමිකම් කඩවීමත් යන දෙකම බරපතල ඛේදවාචකයන් බව මා පවසන්නේ අත්දැකීමෙනි. අපට අවශ්‍ය වන්නේ හිස් සටන් පාඨ නොව, යථාර්ථවාදී සහ යුක්තිගරුක නීතිමය රාමුවකි.

වැඩිදුර කියවන්න:
ත්‍රස්ත විරෝධී නීති ගැන ත්‍රස්තවාදී සංවිධානයක හිටපු සාමාජිකයෙකුගේ අදහස
‘මතක ගිනි පුපුරු’ නිවී යන්නට පෙර හා බැද්දෙගෙදර ප්‍රහාරය ගැන මතක
ඥාන ගී සරණිය
කේ පොයින්ට්
එළියකන්ද වධකාගාරයේදී පොලිසිය මගෙන් කටඋත්තර ගත් හැටි
ඉල්මහ විරුවන් අතර නොකියවෙන නම්වල සංකේතයක්; කුලසේකර ජයසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *