JVP-US

එක්සත් ජනපදය ශ්‍රී ලංකාව ඇතුළු රටවල ආනයනවලට පනවා තිබෙන බද්ද අපනයන කර්මාන්තවල සේවකයන්ට, විවිධ සැපයුම්කරුවන්ට, එම පවුල්වලට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම බලපාන කාරණයකි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්කය අනුව, එය ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කිරීමට ලබාදෙන අවස්ථාව සඳහා ගෙවන්නට සිදුවන එකකි. එහෙත්, ආර්ථික විද්‍යාත්මකව ගත් කල බදු වැඩි කිරීම පාරිභෝගිකයා මත අවසානයේදී පැටවීම හේතුවෙන් සිල්ලර මිලගණන් වැඩි වීම නිසා එක්සත් ජනපදයේ පාරිභෝගික ඉල්ලුමට, පාරිභෝජන රටාවට, උද්ධමනයට බලපෑමක් සිදු විය හැකිය.

මෙය ලෝක වෙළඳ සංවිධානයේ මූලධර්මවලට පටහැණිව ධනවත් රටවල් විසින් දුබල රටවලට එරෙහිව ගන්නා අසාධාරණ ක්‍රියාමාර්ගයක් බව සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ කතිකාව වැඩසටහනට මුලපුරමින් මහාචාර්ය රොහාන් සමරජීව පෙන්වා දුන්නේය.

“ඇමරිකා එක්සත් ජනපදය තමන් මුහුණ දෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් සපයන නිර්වචනය වැරදිය. නිදසුනක් ලෙස, ඇමරිකාව සහ ලංකාව අතර වෙළඳ තත්වය අනිවාර්යයෙන් සමාන විය යුතු නැහැ. ඇමරිකාව සේවා ආර්ථිකයේදී ඉතා වාසිදායක තත්වයක ඉන්නවා. ඇමරිකාව භාණ්ඩ පමණක් ගැන අවධානය යොමු කිරීම සාධාරණ නැහැ.”

ෆේස්බුක්හි සටහනක් තබමින් ඔහු මෙසේ පවසනවා. “ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා තීරුබදු 44% දක්වා වැඩි කර, පසුව එය 10% දක්වා අඩු කර තිබෙනවා. වර්තමාන මට්ටම 20%ක් සහ පෙර HS කේත අනුව පනවන ලද තීරුබදු වෙනවා. මෙය ස්තුතිවන්ත විය යුතු තත්වයක් නෙමෙයි. වැදගත් කාරණය වන්නේ, ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු ව්‍යාජ හේතු මත පදනම්ව පෙර පැවති තීරුබදු ඒකපාර්ශ්විකව ඉහළ දමා තිබීමයි. අපගේ ආර්ථිකය, අපගේ ප්‍රතිව්‍යුහගත කරන ලද ණය ආපසු ගෙවීමේ හැකියාව සහ දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනෝපායන් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තර්ජනයට ලක්ව තිබෙනවා. තීරුබදු 20% අනුපාතයට පත්කරගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති සහන පිළිබඳව අපට විශ්වසනීය තොරතුරු නැහැ.”
(The increase of tariffs on all merchandise imported from Sri Lanka to 44%, its subsequent reduction to 10%, and the current level of 20% plus previous HS code specific tariffs is nothing to be thankful for. The fact is that a major trading partner has unilaterally jacked up pre-existing tariffs based on spurious grounds. The fact is that our economy, our ability to repay our restructured debts, and the livelihoods of many thousands of Sri Lankans have been threatened for no good reason. We have no authoritative information on what concessions have been given by the government in return for the rate of 20%.)

ශ්‍රී ලංකාවට ඇඟලුම් අපනයනයේදී තරගකාරීත්වය ඇත්තේ වියට්නාමය වැනි රටවල් සමගය. පොල් වැනි බෝගවලදී තරගකාරීත්වය ඉන්දුනීසියාව හා පිලිපීනය සමගයි. එම රටවලට පනවා තිබෙන තීරුබදු ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ තරගකාරීත්වයට බලපායි.

Arunodakaruwo novel by Ajith Perakum Jayasinghe

ආර්ථික විශ්ලේෂක තිලිණ පඬුවාවල පවසන පරිදි, වසර 30කට පෙර, එක්සත් ජනපදයේ ද මැදිහත් වීමෙන් 1994දී ලෝක වෙළඳ සංවිධානය නිර්මාණය කරනු ලැබුවේ රටවල් අතර වෙළඳ ප්‍රශ්න විසඳාගැනීමේ ව්‍යූහයක් ලෙසටය. එහි ඇති අභියාචනා මණ්ඩලය මගින් නීතිමය ගැටලුව විසඳාගත හැකිය. එහෙත්, එම ව්‍යූහය මගින් දුන් තීරණ නිසා සංවර්ධනය වෙමින් තිබෙන රටවල් හා සංවර්ධිත රටවල් අතර ගැටලු ඇති විය. එම ව්‍යූහය තමන්ට අසාධාරණ ලෙස කටයුතු කරන බව ඇමරිකාවේ අදහස විය. ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය තුළ එම මණ්ඩලය පත් කිරීම එක්සත් ජනපදය විසින් වළක්වන ලද අතර එය තවමත් එසේම පවතී.

“චීනය මෙතරම් නිෂ්පාදනය හා අපනයන අංශයෙන් සාර්ථක වූයේ සියලු රටවලට සමානව වෙළඳ වාසි ලබාදීමේ ලෝක වෙළඳ සංවිධාන මූලධර්මය මත පදනම්වයි. එහෙත්, එම ජයග්‍රහණය ලබාගත්තේ විශාල වශයෙන් සහනාධාර වැනි අසාධාරණ මෙවලම් භාවිතා කිරීමෙන් අසාධාරණ වාසියක් ලබාගැනීමෙන් බව එක්සත් ජනපදය පවසනවා. මෙම තත්වය ආර්ථික ප්‍රශ්නයකට අමතරව ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් බවට ද පත් වී ඇති බව එක්සත් ජනපදය කියනවා.

“ප්‍රශ්නය විසඳාගැනීමට ලෝක වෙළඳ සංවිධානය වෙත යාමට අකැමැති එක්සත් ජනපදය ද්විපාර්ශ්වික ක්‍රියාමාර්ගවලට යන්නට පෙළැඹී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාව, වියට්නාමය වැනි රටවලට එක්සත් ජනපදය හමුවේ බයාදු ලෙස සාකච්ඡා කිරීමට සිදු වී තිබෙනවා. ඇමරිකාවේ පාරිභෝගිකයා සතු ශක්තිය භාණ්ඩ හා සේවා වෙළඳපොළේදී අතිශය වැදගත්.

“වෙළඳ හා සැපයුම් දාමයන් තුළ සිදු විය හැකි වෙනස්කම් තවමත් විග්‍රහ කිරීම දුෂ්කරයි. විසඳුමක් ලෙස ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් ගැනීමට රටවල් එක්සත් කිරීමද කල්ගතවන වැඩක්. චීනය, ඉන්දියාව සමග ශ්‍රී ලංකාවේ වෙළඳ ගිවිසුම් සඳහා සාකච්ඡා අවුරුදු 20ක් තිස්සේ සිදුවෙමින් තිබෙනවා. එක්සත් ජනපදය සමග අවිනිශ්චිතභාවය මෙම සාකච්ඡාවලට ද බලපාන නිසා ගිවිසුම්වලට එළැඹීම තවදුරටත් කල් යා හැකියි. ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට සහන දී තිබේ නම්, එය එම සාකච්ඡාවලට බලපානවා.

“සැපයුම් දාමවලදී සම්බන්ධතා ඉතා වැදගත්ය. හැමවිටම ප්‍රශස්ත විසඳුම්වලට පමණක් එළැඹෙන්නේ නැහා. හැඟීම් ද තීරණවලට බලපානවා,” යි තිලිණ පඬුවාවල පෙන්වා දුන්නේය.

වෙරිටෙ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිනී අබේසිංහ පැවසූ පරිදි ශ්‍රී ලංකාවේ තරගකරුවන්ට අපට වඩා වාසිදායක තීරුබද්දක් වැටී තිබේද යන්න අපට වැදගත් කරුණකි. හේතුව ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට සුළු සැපයුම්කරුවෙකි. එම වෙළඳපොළ පංගුව ලොකු රටකට පහසුවෙන් අල්ලාගත හැකිය. චීනය, වියට්නාමය වැනි රටවල් විශාල සැපයුම්කරුවන්ය. ඔවුන්ට වැටෙන බදු මගින් වෙළඳපොළේ ඇති වන තත්වයට හැඩගැසීම ලංකාවට පහසු නැත. ලංකාව යනු ඇඟලුම් නිෂ්පාදනයේදී පිරිවැය අධික රටක් නිසා ඇති විය හැකි අවදානම වැඩිය.

Creative Content Consultants

“ප්‍රතිපත්ති නිරතුරුව වෙනස්වීම ව්‍යාපාරකරණය දුෂ්කර කරනවා. එක්සත් ජනපදය ස්ථාවර ප්‍රතිපත්ති තිබුණු රටක් වුණත්, පසුගිය මාස කීපය තුළ එහි ප්‍රතිපත්ති ද දැඩි ලෙස අවිනිශ්චිත වුණා. අගෝස්තුවලින් පසු අවිනිශ්චිතභාවය අවසන්ද, බද්ද ඉහළ වුණත්, එය ස්ථාවරද, අපේ තරගකරුවන් හා අප අතර බදු වෙනස් නොවී දිගටම පවතීද යන ප්‍රශ්න ඉතා වැදගත්. මගේ අදහස නම්, අගෝස්තුවලින් පසු ද ස්ථාවරත්වය ඇති වී නැති බවයි. ඉන්දියාව හා චීනය සමග එක්සත් ජනපදයේ සාකච්ඡා අවසන් වී නැහැ. ඔවුන් විශාල තරගකාරී සැපයුම්කරුවන්. එම ප්‍රතිඵල දැනගන්නා තුරු අවිනිශ්චිතතාව පවතිනවා.

“ජාත්‍යන්තරව මෙන්ම රට තුළ ද විරෝධයන් ප්‍රතිපත්ති වෙනසට බලපානවා. එසේම ට්‍රම්ප්ගෙන් පසු එන පාලකයා මෙම ප්‍රතිපත්ති රාමුව ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යයිද කියන ප්‍රශ්නයත් වැදගත්. මෙවැනි අවිනිශ්චිත වාතාවරණයක් තුළ, සැපයුම්කරුවන්, ව්‍යාපාරිකයන් එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගිය ද ආයෝජනයට පෙළැඹෙන්නේ නැත.

“තීරු බදු මගහැරීම සඳහා චීන නිෂ්පාදන ලංකාව, වියට්නාමය වැනි රටවල් හරහා එක්සත් ජනපදයට අපනයනය කිරීමට පෙළැඹෙන්නට ඉඩ තිබෙන නිසා එමගින් ඇති වන අවදානමක් ද තිබෙනවා. එය වැළැක්වීමට එක්සත් ජනපදය සතුව යාන්ත්‍රණයක් තිබෙනවා. එයට හසු වීමෙන් අපට ගැටලු ඇති විය හැකියි.

“මෙවැනි සංකීර්ණ තීරුබදු ක්‍රියාවලියක් අනුගමනය කිරීමට එක්සත් ජනපද රේගුවට හැකියාව තිබේද කියා ප්‍රශ්නයක් ඇති වෙනවා. මගේ නිරීක්ෂණය නම්, ඔවුන් සතුව එවැන්නක් නැති බවයි. මෙම සංකීර්ණත්වය තුළ නියමිත කාලය තුළ ලංකාවෙන් භාණ්ඩ යවාගැනීමට අමතරව එක්සත් ජනපද වෙළඳපොළට ඇතුළු කරගැනීමට හැකි වේද යන ගැටලුව ද ඇති වෙනවා.

“මීට පෙර, එක්සත් ජනපදයේ තීරු බදු ආදායම පැවතුණේ රාජ්‍ය ආදායමෙන් 2%ක පමණ මට්ටම. දැන් එය 30% පමණ දක්වා වැඩි වී තිබෙනවා. මෙය 20වන සියවසේ මුලභාගයේදී තිබුණු තත්වයට සමානය. එම පසුබිම තුළ ඇතිවිය හැකි දූෂණය වැනි ගැටලු ද තිබෙනවා.

“ලංකාවේ අපනයන කර්මාන්තවල පසුගිය කාලය තුළ සිදු වූ පරිවර්තනයේ ගැටලු ඉතිරි වී තිබෙනවා. අඩු ආදායම් රටවල් මැදි ආදායම් රටවල් බවට පත් වන විට ශ්‍රම සූක්ෂ්ම අපනයන ප්‍රතිශතය අඩු කරගත යුතු වුණත්, ලංකාවේ එය සිදු වූයේ නැත. වියට්නාමය ලොව විශාලතම ඇගලුම් අපනයනයකරු. ඔවුන් ‍ශ්‍රම සූක්ෂ්ම කර්මාන්ත 6% සිට 9% දක්වා අඩු කරගත්තා. අප මෙම පරිවර්තනය සිදුකර ගත්තොත් අර්බුදය අවස්ථාවක් බවට පත්කරගත හැකියි.

“මෙම අර්බුදයේදී ලංකාවට වුවමනාව තිබුණේ තරගකාරී රටවලට වඩා අවාසිදායක නොවන හෝ වාසිදායක බදු අනුපාතිකයක් ලබාගැනීමටයි. ලෝකයේ ආර්ථිකය හා දේශපාලනය වෙන් කළ නොහැකියි. විදේශ ප්‍රතිපත්ති තීරණ ඉතා බුද්ධිමත්ව ගත යුතුයි. අපගේ මූලෝපායික පිහිටීමේ වැදගත්කම මෙහිදී අදාළයි.”

අපනයනකරුවකු, ව්‍යාපාරික නායකයකු හා තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර ප්‍රකාශ කරන පරිදි පසුගිය අවුරුදු 30-40 තුළ කර්මාන්තකරුවන්ගේ අත්දැකීම් අනුව නිදහස් වෙළඳාම ලොව ප්‍රායෝගික නැත. ඔවුන් ඒ බව රජයට පෙන්වා දෙමින් සිටියහ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය යන සාධක නිදහස් නොමැති බැවින් නිදහස් වෙළඳාමට පැවතිය නොහැකිය. රජය උදව් නොකළහොත්, ඉලක්ක වෙත යා නොහැකිය. ට්‍රම්ප්ගේ පියවර මගින් මෙම තත්වය මොනවට පැහැදිලි කරන ලදී.

Sworn Translation in Matugama

“චීනයේ වර්ධනයට මූල්‍ය සැපයුවේ එක්සත් ජනපදය බව ට්‍රම්ප් නිවැරදිව වටහා ගත්තා. ඔහුගේ හැසිරීම නිදහස් වෙළඳාමට අභියෝගයක්. ව්‍යාපාරික අත්දැකීම් අනුව, ඔහු අවිනිශ්චිතතාවට කැමැත්තක් දක්වන බව පෙනෙනවා. ඔහු උත්සාහ කරන්නේ සෙසු රටවල් සමග ගනුදෙනු කිරීමේදී එක්සත් ජනපදයට වාසිදායක තත්වයක් තහවුරු කරගැනීමටයි.

“ලංකාවට තිබෙන ප්‍රශ්නය වන්නේ අප ලොවට අත්‍යවශ්‍ය භාණ්ඩයක් නිෂ්පාදනය කරන රටක් නොවීමයි. මිළ අඩු ශ්‍රමය මත නිෂ්පාදනය, සහනදායී ප්‍රතිපත්ති, කෝටා, බදු සහන ආදිය මත පදනම්ව කටයුතු කළා මිස ශ්‍රී ලංකාව අපනයනය වෙත යොමු වූ කර්මාන්ත ගැන අවධානය යොමු කළේ නැහැ. අපට නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ හරියට හඳුනාගත්තේ නැහැ. 2019දී චීනයට එරෙහිව ප්‍රතිතෝලන (counterbalancing) බදු පැනවූ විට එම බදු අදාළ වූ අයිතම 2000න් අඩු තරමේ 10ක්වත් අත්පත් කරගැනීමට ලංකාවට බැරි වුණා. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට අප උත්සාහ කළේ නැහැ. සහනාධාර මතම දුවන අපනයන මෙන්ම, දේශීය ආර්ථිකය ද මෙයට හේතුවයි. අපේ ආර්ථිකය කළමනාකරණය කළේ එසේයි. තරගකාරී නිෂ්පාදන සම්බන්ධයෙන් කතිකාවක්වත් තිබුණේ නැහැ. අපගේ අපනයන ආදායම පසුගිය අවුරුදු 10-15 අතර එක තැන පල් වන්නේ ඒ නිසායි. අපනයන ආදායම ඩොලර් බිලියන 15ට වඩා වැඩි කරගන්නට බැරිව හිරවී ඇත්තේ ඒ නිසායි.

“මෙය ජය සැමරිය කළ හැකි වාතාවරණයකැයි මා සිතන්නේ නැහැ. 8-9% මට්ටමක බදු අපට හා ඉන්දියාවට අමතර බදු පැනවී තිබියදීත්, සිය සහනාධාර මෙවලම් භාවිතා කරමින් අපනයන වර්ධනය කරගැනීමට ඉන්දියාව සමත් වුණා. දෙරට අතර දැනට ඇති 5%ක වෙනස පවා ඉන්දියාවට පහසුවෙන් වාසිදායක තත්වයට පත්කරගත හැකිය.

“එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව සමග ගිවිසුම් තවම සාකච්ඡා කරමින් සිටින නිසා තත්වය තවමත් අවිනිශ්චිතයි. අපට සැලකිය යුතු අඩු තීරුබද්දක් නොලැබුණොත් අපට තරගකාරී වාසියක් ලබාගත නොහැකියි. සමාන බදු ඇති රටවල නිෂ්පාදන සාධක සමග ලංකාවේ නිෂ්පාදන සාධක තරගකාරී වෙන්නේ නැහැ.

“එක්සත් ජනපදයේ උද්ධමනය නිසා වෙළඳපොළේ කිසියම් සංකෝචනයක් සිදු වුවහොත්, එය අපටත් බලපානු ඇත. එක්සත් ජනපදය එරට පාරිභෝගිකයන්ට බදු සහන ආදිය ලබාදිය හැකියි. අවිනිශ්චිතභාවය නිසා සංවාදය තුළ ඇත්තේ මිශ්‍ර අදහස්. මගේ අදහස ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් කිසි අවිනිශ්චිතභාවයකට යා හැකි බවයි. සෙසු රටවලට නැති වාසිදායක තත්වයක් ලංකාවට ලබාදීමට එක්සත් ජනපදයට හේතුවක් ඇතැයි මම සිතන්නේ නැහැ.”

එක්සත් ජනපද තීරුබදු ප්‍රශ්නය තවමත් විසඳී නැති බවත්, ශ්‍රී ලංකාව තවමත් මුහුණ දෙමින් සිටින්නේ අවිනිශ්චිත තත්වයකට බවත්, අපට සැමරීමට තරම් ජයග්‍රහණයක් ලැබී නොමැති බවත් මෙම සාකච්ඡා සභාවේදී විද්වතුන් විසින් පෙන්වා දෙන ලදී.

Creative Content Consultants
Creative Content Consultants

Leave a Reply

Your email address will not be published. Required fields are marked *