Dr. Kumari Jayawardena

මහාචාර්ය ජයදේව උයන්ගොඩ

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයෙන් උපහාර ලබන ආචාර්ය කුමාරි ජයවර්ධන ගැන කෙටි හඳුන්වාදීමක්.
2026 ජූනි මස 02, කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී.

අප රටේ සමාජීය, දේශපාලන, බුද්ධිමය සහ ශාස්ත්‍රීය ක්ෂේත්‍රවල පරිවර්තනාත්මක වර්ධනයට අනුපමේය දායකත්වයක් සිදු කර ඇති ආචාර්ය කුමාරි ජයවර්ධනට උපහාර පිදීමට, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය මෙම උත්සවය සංවිධාන කිරීම ගැන අප සැම දෙනාම එම සංගමයේ වර්තමාන නායකත්වයටත්, උපකුලපතිතුමාටත් ස්තුති කළ යුතු බව පවසමින් මාගේ කතාව ආරම්භ කිරීමට මා කැමතියි.

ආචාර්ය කුමාරි ජයවර්ධන කොළඹ විශ්ව විද්‍යාලයට කර තිබෙන්නේ අසමසම සේවයක්. ඇය දේශපාලන විද්‍යා ආචාර්යවරියක් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවට බැඳුණේ 1969 වසරේදී ය. සේවක අධ්‍යාපන ආයතනය පිහිටුවීමටත්, ‘ස්ත්‍රීවාදී අධ්‍යයනය’ යනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ නව පශ්චාත් උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමටත්, ඇය ඉටු කළේ පුරෝගාමී වැඩි කොටසක්.

මා ආචාර්ය කුමාරි ජයවර්ධන පුද්ගලිකව හඳුනාගත්තෙත්, කොළඹ විශ්වවිද්‍යාලය සමග මගේ සම්බන්ධතා ආරම්භ වූයෙත් 1980 වසරේදීය. ඒ වන විට මා ආචාර්ය කුමාරි ජයවර්ධන ගැන දැනගෙන සිටියේ, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා ආචාර්යවරියක් ලෙසයි. එහෙත් මා කොළඹ විශ්වවිද්‍යාලයට මා බැදෙන විට එතුමිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් අස්වී නෙදර්ලන්තයේ Institute of Social Studies හි මහාචාර්යවරියක් ලෙස උගන්වමින් සිටියා ය.

Women’s Studies යනු අලුතෙන් බිහි වී තිබුණ ක්ෂේත්‍රයෙහි පුරෝගාමී ශාස්ත්‍රඥවරියක ලෙස ආචාර්ය කුමාරි ජයවර්ධන හඳුනාගැනීම ආරම්භ වූයේ මෙම කාලයේදීයී.

ආචාර්ය කුමාරි ජයවර්ධනගේ ශාස්ත‍්‍රීය ජීවිතය ආරම්භ වූයේ, ලංකාවේ කම්කරු පන්තිය ගැන ලන්ඩන් විශ්වවිද්‍යාලයේ දී සිය ආචාර්ය උපාධිය සදහා අධ්‍යයන කටයුතු සිදු කරන කාලයේදී සිදු කළ පර්යේෂණයත් සමගයි. එහි තේමාව වූයේ ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ වර්ධනයයි. 1972 දී එය ඇමෙරිකාවේ ඩියුක් විශ්වවිද්‍යාලයේ මුද්‍රණාලය විසින් The Rise of the Labour Movement of Ceylon යන නමින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඉන් පසුව එය ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැගීම යන නමින් සිංහල භාෂාවට පරිවර්තනය කර පළ කරනු ලැබිණ.

ආචාර්ය කුමාරි ජයවර්ධනගේ ශාස්ත්‍රීය ජීවිතය හැඩ ගැස්වීමට ඇගේ ළමා සහ තරුණ වියේදී ඇති වූ එක් විශේෂ අභාසයක් ගැන මෙහිදී අප මතක් කරගත යුතුයි. එය නම් ලංකාවේත්, ඉන්දියාවේත්, ලෝකයේ අන් රටවලත් වාමාංශික සහ කම්කරු දේශපාලන ව්‍යාපාරත්, අධිරාජ්‍ය විරෝධී දේශපාලන මෙන්ම බුද්ධිමය ව්‍යාපාරත් වෙතින් ඇය ලබා තිබුණ අනුප්‍රාණයයි. එය ආචාර්ය ජයවර්ධනගේ දෙමාපියන් සහ ඔවුන්ගේ කිට්ටු හිතවතුන් වෙතින් ලැබුණක් බවයි මා දන්නේ.

කුමාරිගේ පියා ආචාර්ය ඒ. පී. ද සොයිසා උගතෙක්, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙක් සහ වාමාංශික නැඹුරුවක් තිබූ ප්‍රගතිශීලී දේශපාලනඥයෙක් විය. කුමාරිගේ මව එංගලන්තයේ වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ ප්‍රගතිශීලී දේශපාලනයට සම්බන්ධ වී සිටි එලිනෝර් හට්න් (Eleanor Hutton) ය. කුමාරිගේ දෙමව්පියන් ලංකාවේ වාමාංශික ව්‍යාපාරය සමග කිට්ටු සම්බන්ධතා තබා ගෙන සිටි පවුලක්.

විශේෂයෙන් කොමියුනිස්ට් පක්ෂයේ නායක දොස්තර එස්.ඒ වික්‍රමසිංහ එතුමාගේ බිරිය වූ ඉංග්‍රීසි ජාතික ඩොරින් සහ ඔවුන්ගේ දරුවන් කුමාරිගේ පවුලේ කිට්ටු හිතවතුන්. එමෙන්ම සම සමාජ පක්ෂයේ නායකයන්, වෘත්තීය සමිති නායකයන් මෙන්ම ප්‍රගතිශීලී සහ වාමාංශික දේශපාලනයට සම්බන්ධව සිටි රැඩිකල් භික්ෂූන්වහන්සේත් කුමාරිගේ දෙමාපියන්ගේ කිට්ටු මිතුරන්. කුමාරි මා සමග කියා ඇති පරිදි, තරුණ වල්පොල රාහුල හිමි ඔවුන්ගේ නිවසට නිතර ආ ගිය සහ දේශපාලන සාකච්ඡාවල යෙදුන පවුලේ මිත්‍රයෙක්.

මෙයින් පෙනෙන්නේ කුමාරිගේ ශාස්ත්‍රීය සහ සමාජ ක්‍රියාකාරී ජීවිතය හැඩගැස්වීමට ලංකාවේ වර්ධනය වී තිබුණු වාමාංශික, ප්‍රගතිශීලී සහ නූතනවාදී දේශපාලන, බුද්ධිමය සහ සංස්කෘතික පසුබිමෙහි සහ බලවේගවල ආභාසය බලපා තිබුණු බවයි.

මට ලැබී තිබෙන කෙටි කාලය තුළ දී, ආචාර්ය කුමාරි ජයවර්ධනයේ ජීවිතයේ පැතිකඩ තුනක් ගැන ඔබේ අවධානය යොමු කිරීමට මා කැමතියි. පළමුවැන්න, “ජනහිතවාදී බුද්ධිමතියක” ලෙස, එනම් Public intellectual කෙනෙකු ලෙස, ඇය ඉටු කර ඇති කාර්ය භාරයයි. දෙවැන්න, ආචාර්ය ජයවර්ධනගේ ශාස්ත්‍රීය ජීවිතය ගැනයි. තුන්වැන්න, ඇයගේ දේශපාලන ගමන්මඟ ගැනයි. මගේ කථාව තුළ මෙම තේමා තුන එකිනෙකට මිශ්‍ර කොට ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි.

Public intellectual යන සංකල්පයෙන් අදහස් වන්නේ, ආයතනගත සීමාවන් තුළට දැනුම නිර්මාණය කිරීම හා දැනුම බෙදා හැරීම සීමා නොකර, සමාජය වෙතට ද ප්‍රවේශ වී, මහ ජනතාව සමග ඓන්ද්‍රීය සම්බන්ධයක් පවත්වාගෙන සිටින බුද්ධිමතුන්ය යන්නයි. එම බුද්ධිමත්හු, තමන් සතු දැනුම මහජනතාව සමග බෙදා ගනිති. ශාස්ත්‍රීය දැනුමට ඇති හිමිකම ප්‍රජාතාන්ත්‍රවාදී කරති. සමාජය, සමාජ ව්‍යුහයන්, මතවාද, වටිනාකම් සාධනීය ලෙස පරිවර්තනයට භාජනය කිරීම සදහා ගැනෙන සමාජ ප්‍රයත්න සමග සම්බන්ධ වෙති.

Public intellectual කෙනෙකු ලෙස ආචාර්ය කුමාරි ජයවර්ධන ලංකාවේ කම්කරු පන්තිය ගැන ශාස්ත්‍රීය අධ්‍යයන සිදු කරන ගමන් ම, කම්කරු අයිතිවාසිකම් සදහා අරගල කළ වෘත්තීය සමිති ව්‍යාපාරය සමග ද සම්බන්ධ වූවා ය. ස්ත්‍රීවාදී ශාස්ත්‍රීය අධ්‍යයනය ලංකාවටත්, කොළඹ විශ්වවිද්‍යාලයටත් හදුන්වාදීමට පුරෝගාමී දායකත්වය ලබා දෙන ගමන් ම, ලංකාවේ සමාන අයිතිවාසිකම් සදහා අරගල කිරීමට වැඩකරන ස්ත‍්‍රී ප්‍රජාව සංවිධාන කිරීම අරමුණු කරගත් “ස්ත්‍රීවාදී ව්‍යාපාරය” ලංකාවේ ආරම්භ කිරීමේ පුරෝගාමී නායකත්වය ද සැපයූවා ය. එමෙන්ම, ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ අධ්‍යයන කටයුතු සදහා අවශ්‍ය සාහිත්‍යය, සිංහල, ඉංග්‍රීසි හා දෙමළ භාෂාවලින් පළ කිරීමට ද පියවර ගත්තා ය. කොළඹ විශ්වවිද්‍යාලය සහ සිවිල් සමාජ ආයතන සම්බන්ධ කරගෙන, ස්ත්‍රීවාදී ශාස්ත්‍රීය අධ්‍යයන ධාරාවක් ද, තරුණ ස්ත්‍රීවාදී පර්යේෂිකා පරම්පරාවක් ද නිර්මාණය කිරීමට මුල් පියවර තැබුවේ ආචාර්ය කුමාරි ජයවර්ධනයි.

කම්කරු අධ්‍යාපනය සහ කම්කරු අධ්‍යයනය කොළඹ විශ්වවිද්‍යාලයේ ආරම්භ කිරීමට ආචාර්ය කුමාරි ජයවර්ධන සිදු කළ මෙහෙවර දැන් අපි මතක් කර ගනිමු. එය ප්‍රධාන අංශ දෙකකින් සමන්විතයි. පළමුවැන්න, කම්කරු අධ්‍යයනය (Labour Studies), පශ්චාත් උපාධි අධ්‍යයන හා පර්යේෂණ ක්ෂේත්‍රයක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලය තුළ ඇති කිරීමට අවශ්‍ය වූ පසුබිම සකස් කිරීමයි. එයට පදනම වූයේ කම්කරු අධ්‍යාපන ආයතනයෙහි පාඨමාලා වලට ඇතුළත් කරන ලද කම්කරු අධ්‍යයනය පිළිබඳ අවධානයයි. ඊට පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ ශ්‍රම ආර්ථික විද්‍යා (Labour Economics) නම් වූ පාඨමාලාවක් තිබිණ. එය කම්කරුවන් ගැන නොව ” ශ්‍රමය ” යන නිෂ්පාදන සාධකය ගැන අධ්‍යයනය කරන විෂයකි. එහෙත් ආචාර්ය ජයවර්ධන ලංකාවට හදුන්වා දුන් “කම්කරු අධ්‍යාපනය” යන්න ආර්ථික විද්‍යාවේ සීමා පසුකර දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, ස්ත්‍රී අධ්‍යයනය, නීති අධ්‍යයනය, ඉතිහාස අධ්‍යයනය යන ප්‍රවේශවලින් සමන්විත බහු විෂයීක අධ්‍යාපන සහ පර්යේෂණ ක්ෂේත්‍රයකි. ශ්‍රම අධ්‍යයනයෙහි විෂය ක්ෂේත්‍රය වූයේ ධනවාදී ක්‍රමයක් තුළ ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර ඇති සම්බන්ධතාව, ශ්‍රම සූරාකෑමේ ස්වරූප, ශ්‍රමයේ සමාජීය ස්වභාවය, කම්කරු පන්ති අරගල, වෘත්තීය සමිති ව්‍යාපාර, සමාජ දේශපාලන පරිවර්තනය සඳහා කම්කරු පන්ති අරගලවල දායකත්වය යන මේවා අධ්‍යයනය කිරීමයි. එය කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ අධ්‍යයන ධාරාවක් බවට ද පත්විය. කම්කරු ශ්‍රම අධ්‍යයනය කොළඹ විශ්වවිද්‍යාලයට හදුන්වා දෙමින් එය ආයතනගත කිරීමට ද ආචාර්ය ජයවර්ධන ඉටු කළේ සුවිශේෂී වැඩ කොටසකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ සේවක අධ්‍යාපන ආයතනය පිහිටුවීමට විශේෂ පසුබිමක් ද තිබිණ. 1971 අප්‍රේල් කැරැල්ල නිසා ඇති වූ ව්‍යාකූලත්වයේ පසුබිම තුළ, විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය අධ්‍යාපන කටයුතු කළ නොහැකි විය. විශ්වවිද්‍යාල ද වසා තිබිණ. එම කාලයේ විශ්වවිද්‍යාලයේ සිටි වාමාංශික ආචාර්වරු කිහිප දෙනෙකු එකතුව එලිමහනේ ගස් යට සෙවනේ දේශන සිදු කිරීමට පටන් ගත්හ. එම දේශනවලට විශ්ව විද්‍යාල සිසුන්ට අමතරව විශ්වවිද්‍යාලයේ සහ ඉන් පිටත ද විවිධ රැකියා කළ වෘත්තී සමිති සාමාජිකයෝ ද, කම්කරුවෝද, ලිපිකරුවෝද සහභාගී වූහ. මෙම තත්ත්වය තුළ වසා තිබුණු කොළඹ විශ්වවිද්‍යාලය කම්කරු ජනතාවට විවෘත වූ “විවෘත විශ්වවිද්‍යාලයක්” බවට පත්විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සේවක අධ්‍යාපන ආයතනය (Institute of Workers’ Education) ආරම්භ වීමේ පසුබිම මෙයයි. එහි පාඨමාලා සකස් කිරීමේ සහ ඉගැන්වීමේ කාර්යයන්ට ආචාර්ය කුමාරි ජයවර්ධන සහ විද්‍යා පීඨයේ මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න දුන් නායකත්වය එය සාර්ථකවීමට තුඩු දුන් එක් ප්‍රධාන හේතුවකි. සේවක අධ්‍යාපන ආයතනයේ අරමුණ වූයේ, උසස් පෙළ විභාගය දක්වා අධ්‍යාපනය නොලැබූ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල රැකියා කරන කම්කරු, ලිපිකරු සහ විධායක නොවන ශ්‍රේණිවල සේවකයන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගැනීමට අවකාශය ලබා දීමයි. එය අප රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රජාතන්ත්‍රීය කිරීමට තුඩු දුන් ප්‍රයත්නයකි. එය කොළඹ විශ්ව විද්‍යාලයට ලබා දුන් ගෞවරවය අතිවිශාල ය.

මහජන අධ්‍යාපනය සහ සමාජ ප්‍රගතියට අවශ්‍ය ශාස්ත්‍රීය හා විචාරාත්මක දැනුම සමාජය වෙතට ගෙන ඒම ආචාර්ය ජයවර්ධනට ම විශේෂ වූ කාර්ය භාරයකි. ඇය කම්කරු පන්ති අධ්‍යාපනයට අවශ්‍ය පොත් කිහිපයක්ම සිංහල භාෂාවෙන් ලියා පළ කළා ය. ඒ අතර ඉතාම වැදගත් කාර්යයක් වූයේ The Rise of the Labour Movement in Sri Lanka නම් කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කර පළ කිරීමයි. මෙම ලේඛණ සේවක අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මෙන්ම ආචාර්යවරුන්ගේ ද අත්පොත් බවට පත් විය. සේවක අධ්‍යාපන ආයතනය වසර කිහිපයක් තුළදී කම්කරු අධ්‍යාපනය සඳහා කැපවූ විශ්වවිද්‍යාල පීඨයක තත්වයට වර්ධනය විය. ඒ මඟින් දහස් ගණන් වැඩකරන පන්තියේ සාමාජිකයින්ට කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ලබාගැනීමේ සමාජ වරප්‍රසාදය ප්‍රදානය කරනු ලැබිණ.

සේවක අධ්‍යයන ආයතනයට පසුව ඒ හා සමාන වැදගත් ආයතනයක් වූ “සමාජ විද්‍යාඥයින්ගේ “සංගමය 1977 වසරේදී පිහිටුවීමට පුරෝගාමී වූයේද ආචාර්ය කුමාරි ජයවර්ධනයි. සමාජ විද්‍යාඥයින්ගේ සංගමය 1977 ගොඩගැඟීමට මුල් වූයේ, කොළඹ, පේරාදෙණිය සහ යාපනය විශ්වවිද්‍යාලවලට හා වෙනත් ආයතනවලට සම්බන්ධ ප්‍රගතිශීලී සහ වාමාංශික දේශපාලන නැඹුරුවීම් තිබූ ආචාර්යවරුන් ඇතුළු බුද්ධිමතුන් කණ්ඩායමකි. එය පිහිටුවීමට පසුබිම් වූ ප්‍රධාන සාධක දෙකක් තිබිණ. පළමුවැන්න, 1977 මැතිවරණයෙන් පසුව ලංකාවේ දේශපාලන, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ අණ්ඩුක්‍රම ව්‍යවස්ථා යන ක්ෂේත්‍රවල සිදු කෙරුණ දක්ෂිණාංශික පරිවර්තනයයි. දෙවැන්න 1970 දශකයේ මැද භාගයේ පමණ වර්ධනය වීමට පටන්ගත් ජනවාර්ගික ගැටලුවයි. මෙම වර්ධනයන් දෙක සළකුණු කළේ එම අර්බුදකාරී පරිවර්තන වටහා ගැනීමට හා විග්‍රහ කිරීමට කැප වූ නව පන්නයේ නිර්භීත, බුද්ධිමය සහ ශාස්ත්‍රීය ප්‍රයත්න ගැනීමට කාලය පැමිණ තිබුණ බවයි.

එය වනාහි සමාජ හා දේශපාලන පරිවර්තනයෙහි නව මාවත් සදහා ශ්‍රී ලාංකික සමාජය සූදානම් කිරීමට අවශ්‍ය විචාරාත්මක නව දැනුම නිර්මාණය කිරීමට කැප වූ ප්‍රයත්නයක් ද විය යුතු විය. මන්ද යත් එය නිදහස් වෙළෙඳපොල ආර්ථිකය, දේශපාලන අධිකාරවාදය සහ ජාතිවාදයට විකල්පව ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික හා සමාජ සාධාරණත්වය සහ ජනවාර්ගික සමානාත්වය කේන්ද්‍ර කොටගත් විකල්ප දැනුම් සම්භාරයක් නිර්මාණය කිරීම අරමුණු කරගත්තක් විය යුතු විය.

එය රාජ්‍ය විශ්ව විද්‍යාල තුළින් පමණක් සිදු කිරීමට නොහැකි වූ කාර්යයකි. විකල්ප සමාජීය විද්‍යා ඥාන සම්පාදනයන් සඳහා සුදුසු නායකත්වයක් හෝ පරිසරයක් සැපයීමට රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ආයතනික හැකියාවක් තිබුණේ නැත. විශ්වවිද්‍යාල බුද්ධිමතුන් විශ්වවිද්‍යාලයෙන් බාහිර ආයතනික අවකාශයක් තුළ එම කාර්යය සිදු කිරීමේ ඊළග පියවර වූයේ සමාජ විද්‍යාඥයින්ගේ සංගමය 1978 දී පිහිටුවීමයි.

මෙම කාර්යයේදී ආචාර්ය කුමාරි ජයවර්ධන සමග හවුල් වූ අනෙකුත් ශාස්ත්‍රතඥයින් වූයේ ආචාර්ය ජී.වී.එස්. ද සිල්වා, මහාචාර්ය සේනක බණ්ඩාරනායක, මහාචාර්ය කේ. කයිලාසපති, මහාචාර්ය කේ. සිවතම්බි, මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන, පී. පී. දේවරාජ්, සුනිල් බැස්ටියන් සහ බර්නඩින් සිල්වා ඇතුළු තවත් මහජන බුද්ධිමතුන් පිරිසයි. පසු කාලෙය්දී විශ්වවිද්‍යාලවලට සම්බන්ධ සහ විශ්වවිද්‍යාලවලට පිටත සිටි ශාස්ත්‍රඥයෝ බොහෝ දෙනෙක් සමාජ විද්‍යාඥයින්ගේ සංගමය සමඟ එකතු වී එහි පර්යේෂණ, ග්‍රන්ථකරණ සහ මහජන අධ්‍යාපන කටයුතුවලට සමබන්ධ වූහ. සමාජ විද්‍යාඥයින්ගේ සංගමය සමඟ කිට්ටු සම්බන්ධතා පැවැත් වූ කොළඹ විශ්වවිද්‍යාලයට අයත් ආචාර්යවරුන් වන්නේ ආචාර්ය නිව්ටන් ගුණසිංහ සහ ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, ට්‍රෙසී ලේට්න්, නෙලුෆර් ද මෙල්, ෆර්සානා හනීෆා, නිර්මාල් රංජිත් දේවසිරි සහ ප්‍රේමකුමාර ද සිල්වා යන මහාචාර්යවරුන්ය.

ලංකාවේ ස්ත්‍රීවාදී සමාජ ක්‍රියාකාරීත්වය මෙන්ම ස්ත්‍රීවාදී ශාස්ත්‍රීය අධ්‍යයන සහ පර්යේෂණ සංස්කෘතියක් නිර්මාණය කිරීමට ආචාර්ය කුමාරි ජයවර්ධන ඉටු කළ දැවැන්ත කාර්යභාරය ගැන කෙටි විස්තරයක් ඔබ හමුවේ තැබීමට මම උත්සාහ ගනිමි.

ඇය විසින් ලියන ලද Feminism and Nationalism in the Third World නමැති කෘතිය, ස්ත්‍රීවාදී ශාස්ත්‍රීය සාහිත්‍යය තුළ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට පත් වූවකි. එංගලන්තයේ මුලින් ප්‍රකාශයට පත් කරනු ලැබූ එම කෘතිය, ස්ත්‍රීවාදී චින්තනය යුරෝපීය සමාජවල මෙන් ම තුන්වෙන් ලෝකය යැයි එකල හැදින්වුණ යටත් විජිත හා පශ්චාත් යටත් විජිත සමාජවල පැවති ජාතික විමුක්ති අරගලවල ද අවියෝජනීය අංගයක් වු බවද එම කෘතියෙන් ආචාර්ය ජයවර්ධන පෙන්වා දුන්නා ය. එය ස්ත‍්‍රී විමුක්තිවාදී චින්තනයේ අරගලවල සහ දේශපාලනයේ ඉතිහාසකරණය අලුත් කිරීමට තුඩු දුන් ඉතා වැදගත් ශාස්ත්‍රීය මැදිහත්වීමක් ලෙස ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වී ඇති කෘතියකි. කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කර තුන්වැනි ලෝකයේ ස්ත‍්‍රීවාදය සහ ජාතිකවාදය යන නමින් පළ කිරීමට ඇය පියවර ගත්තාය.

කුමාරිගේ ස්ත‍්‍රීවාදය චීන්තනය සතු එක් විශේෂ ලක්ෂණයක් නම්, “ස්ත්‍රී පීඩනය” යන්න පීතෘ මූලිකත්වය, ධනවාදය, සමාජ පන්තිය සහ ජාතිකත්වය සමග එකිනෙකට විනිවිද යෑම, එනම් හරච්ඡේදනයවීම (intersectionality) විසින් නිර්මාණය කරනු ලබන සමාජීය ක්‍රියාවලියක් වන්නේය යන න්‍යායික ස්ථාවරයයි.

“ස්ත්‍රීවාදය” යනු ධාරා කිහිපයකින් සමන්විත දේශපාලන හා ශාස්ත්‍රීය ව්‍යාපාරයකි. ලිබරල් ස්ත්‍රීවාදය, රැඩිකල් ස්ත්‍රීවාදය, සමාජවාදී ස්ත්‍රීවාදය, පශ්චාත් නූතනවාදී ස්ත්‍රීවාදය සහ පශ්චාත් යටත් විජිතවාදී ස්ත්‍රීවාදය එහි ප්‍රධාන ධාරාවන්ය. තමන් අනන්‍ය වී සිටින්නේ මෙයින් කවර ධාරාවකට දැයි ප්‍රකාශ කිරීමට ආචාර්ය ජයවර්ධන අකමැති වුවත් ඇය වඩාත් කිට්ටු වන්නේ සමාජවාදී සහ තුන්වැනි ලෝකවාදී ස්ත‍්‍රීවාදී ධාරවන්ට ය යන්න මගේ නිරීක්ෂණයයි.

ලංකාවේ නූතන සමාජ හා දේශපාලන පරිවර්තනයට 19 වන සියවසේ සිටි ස්ත්‍රී ක්‍රියාකාරිණීන් විසින් ඉටු කරන ලද වැඩ කොටස පිළිබඳව සිදු කර ඇති පර්යේෂණ සහ පළ කර ඇති ග්‍රන්ථ ගණනාවක් ද තිබේ. එම පර්යේෂණවලින් ඉටු කරන ලද පුරෝගාමී කාර්යයක් ඇත. එය නම්, ඉතිහාසය නිර්මාණය කිරීමට ස්ත්‍රීන් සිදු කර ඇති කර්තෘත්ව වැඩකොටස තවදුරටත් පුරුෂ කේන්ද්‍රීය ඉතිහාසකරණයෙහි ආධිපත්‍යයට යට වී අමතක කරනු ලැබීමේ ඉරණමට භාර දී නොසිටිය යුතුය යන්නයි.

ආචාර්ය කුමාරි ජයවර්ධන දශක ගණනාවක කාලයක් තුළ නිර්මාණය කර ඇති ශාස්ත්‍රීය ග්‍රන්ථ සහ ලේඛණ ප්‍රමාණය විශාලය. ඒ අතර, ස්ත්‍රී අයිතිවාසිකම් සහ කම්කරු අයිතිවාසිකම් ද වෘත්තීය සමිති ව්‍යාපාරය සහ ස්ත්‍රීගේ දේශපාලන හා සමාජ ව්‍යාපාර ගැන ද ආචාර්ය ජයවර්ධන කෘති ගණනාවක් ම පළ කර ඇත. මේ අතර උඩරට වතු ප්‍රජාවගේ කම්කරු සහ ස්ත්‍රී අයිතිවාසිකම් සදහා ඇය ශාස්ත්‍රීය මෙන්ම ක්‍රියාකාරී දායකත්වයක් ද සිදු කර ඇත. 2015 වසරේදී ආචාර්ය රේචල් කුරියන් (Rachel Kurian) සමඟ එක්ව පළ කළ Class Patriarchy and Ethnicity on Sri Lankan Plantations යන කෘතිය ඇය කළක් තිස්සේ සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයකි.

ආචාර්ය ජයවර්ධන තම අවධානය යොමු කෙළේ ලංකාවේ කම්කරු පන්තියේ ඉතිහාසය ගැන පමණක් නොවේ. ලංකාවේ ධනේෂ්වර පන්තියේ බිහිවීම සහ ව්‍යාප්තිය පිළිබඳ අවුරුදු ගණනාවක් තුළ ආචාර්ය ජයවර්ධන සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලය වූයේ No Bodies to Somebodies; The Rise of the Colonial Bourgeoisie in Sri Lanka නම් කෘතිය 2003 වසරේදී පළ කිරීමයි. එහි සිංහල පරිවර්තනය සොක්කන් ලොක්කන් වූ වගයි යන නමින් පළ විය. ලංකාවේ යටත් විජිත ධනවාදී ආර්ථික හා සමාජ පරිවර්තනය පිළිබඳව මෙතෙක් පළ වී තිබෙන විශිෂ්ඨතම අධ්‍යයනය එයයි.

ආචාර්ය කුමාරි ජයවර්ධනගේ ශාස්ත්‍රීය සහ සමාජ දේශපාලන ක්‍රියාකාරී ජිවිතය හැඩගැස් වූ ප්‍රධාන ආචාර ධාර්මික මූල ධර්මයක් වූයේ මානව දයාව සහ මනුෂ්‍යත්වය කෙරෙහි දැක් වූ ගෞරවයයි. සමානත්වය, යුක්තිය සහ සාධාරණත්වය එතුමියගේ වටිනාකම් පද්ධතියේ මූලිකාංග වේ. මගේ අදහස නම් එය සම්භාව්‍ය බෞද්ධ සමාජ දර්ශනයෙන් ද, නූතන සමාජවාදයෙන් ද ඇය ලබා ඇති චර්යා ධාර්මික උරුමයක් ය යන්නයි. අන්‍යයින් වෙත දැක්වූ දයාව සහ කරුණාව, ඇය ඇසුරු කළ සෑම දෙනා ම අගය කළ ඇගේ තවත් ගුණාංගයකි.

1971 දී සහ ඉන් පසු කාලයේ දී සිරගත වූ සිංහල හා දෙමළ දේශපාලන සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්‍රයත්න සමග ඇය සම්බන්ධ වූවා ය. 1971 දී සිරගතව සිටි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ හෝ සැක කරනු ලැබ සිරගත කරනු ලැබූ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ඉටු කිරීමට, ඔවුන්ට පොත්පත් හා දේශන සටහන් සපයාදීමට, තවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග එක්ව ඇය පියවර ගත්තාය. එවකට සිර ගෙදර සිටි මා ද ඇගේ එම කාරුණිකත්වයෙන් ප්‍රතිලාභ ලැබූවෙක්මි.

ජනවාර්ගික යුද්ධය අවසන් කර, දේශපාලන විසඳුමක් සදහා වූ සිවිල් සමාජ ප්‍රයත්නවලට දායක වූ කුමාරි, ආණ්ඩුවත් එල්ටීටීඊ සංවිධානයත් අතර ඇති වූ සාම ක්‍රියාවලියට, ලංකාවේ ස්ත්‍රී ව්‍යාපාරයේ දායකත්වය ලබාදීමට මූලික වූවා ය. ස්ත්‍රීන්ගේ සාමසාධක කාර්යභාරය සම්බන්ධව ලංකාවේ ස්ත‍්‍රී විමුක්ති ව්‍යාපාරවල පිබිදීමක් ඇති කිරීමට, තම පෞද්ගලික ආදර්ශය නිසා ඇති කිරීමට ද ඇය සමත් වූවා ය. 2002 වසරේ දී ලංකාවේ දියත් කරන ලද සාම සාකච්ඡා ප්‍රයත්නයට සමගාමීව යුද්ධය අවසන් කර සාමය ගොඩනැඟීමේ අරමුණට ස්ත‍්‍රී ව්‍යාපාරයේ දායකත්වය ලබාදීමට පුරෝගාමී වූයේ ද ආචාර්ය කුමාරි ජයවර්ධනයි. එම අවස්ථාවේ දී පිහිටුවන ලද ස්ත්‍රී සාම කමිටුවට (Women’s Peace Committee) නායකත්වය දුන්නේ ද ඇයයි.

” ස්ත්‍රී විමුක්තිය” යන සංකල්පය ලංකාවේ සමාජවාදී ව්‍යාපාරයට හඳුන්වා දුන්නේ ද ආචාර්ය කුමාරි ජයවර්ධනයි. ලංකාවේ කම්කරු පන්ති සහ වාමාංශික දේශපාලනයේ තිබූ න්‍යායික, චින්තනමය සහ දේශපාලන හිදැසක් පිරවීමට ඒ මඟින් හැකියාව ලැබිණ.

නූතන ලංකා ඉතිහාසයේ සදහන් වන්නේ එක් “කුමාරි “කෙනෙකු පමණි. ඒ ආචාර්ය කුමාරි ජයවර්ධනයි. ලංකාවේ නූතනත්ව පරිවර්තනයේ ප්‍රගතිශීලී, ලෞකිකත්වවාදී සහ මානුෂවාදී විකල්ප ගමන් මඟක් සඳහා ආලෝකය සැපයූ වඩාත් දීප්තිමත් පහන් ටැඹ වන්නේ ද විශාකා කුමාරි ජයවර්ධනයි.

අන්‍යයින් වෙත දැක්වූ කරුණාව, දයාව සහ පරිත්‍යාගශීලිත්වය ඇය දැන සිටි සෑම දෙනා විමතියට පත් කළ උසස් ගුණාංගයක්. ඒ අතින් බලන විට ඇය ‘කුමාරි’ නොව ‘විශාඛා’ කෙනෙකු බව අප සැම දෙනා ම දැන සිටි කරුණක්.

සමස්ත ලංකාවේත් කොළඹ විශ්වවිද්‍යාලයේත් සමානත්වය, සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ වාදය වෙනුවෙන් කැප වූ තරුණ බුද්ධිමතුන්ගේ ක්‍රියාකාරීන්ගේ පරම්පරා කිහිපයකට ම බුද්ධිමය නායකත්වයක් සපයා ඇති ආචාර්ය කුමාරි ජයවර්ධනට උපහාර දැක්වීමට කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය ගත් තීරණයට ප්‍රණාමය පුද කරමින් මගේ කතාව අවසන් කරමි. ආචාර්ය ජයවර්ධනට නිරෝගීව දීර්ඝායුෂ ලැබේවායි ද මම ප්‍රාර්ථනා කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *