–           අජිත් පැරකුම් ජයසිංහ,

රාජපක්ෂලාගෙන් හා යහපාලනයෙන් වත්මන් පාලකයන් නූගත් පාඩම වන්නේ, විශාල පක්ෂ, කැම්පේන්, බල ව්‍යාපෘති සඳහා මුදල් උපයන්නට යාම මගින් සමස්ත දේශපාලන ව්‍යාපෘතියම අවදානමට ලක් වන බවයි.

1. රාජපක්ෂලා යුද්ධය තුළ මෙන්ම යුද්ධයෙන් පසු ද, තම දේශපාලන ව්‍යාපෘතිය සඳහා සහයෝගිතා පදනම ආරක්ෂා කරගැනීම සඳහා මහේක්ෂ තලයේ ප්‍රොපගැන්ඩා ව්‍යාපෘතිවලට අමතරව, ඇච්චන් බැච්චන් දක්වා තම ආධාරක බලවේගය නඩත්තු කිරීමට මුදල් වියදම් කළහ. අන්තිමේදී ඡන්දදායක උපාසිකාවන්ට සිල් රෙදි බෙදා දීම දක්වාම තත්වය වකූරු වූ අතර, ඒ සඳහා සමස්ත දේශපාලන යාන්ත්‍රණය ම දූෂණයේ ගිල්වීමට සිදු විය. පල් හොරුන් ලක්ෂ ගණනක් සමගවත් රාජපක්ෂලාට බලය රැකගැනීමට බැරි විය. එසේ බැරි වන්නට හේතු වූයේ ද හොරකමමය.

2. රාජපක්ෂලාගේ සල්ලි බලයට මුහුණ දීම සඳහා එජාප-මාදුළුවාවේ සෝභිත-චන්ද්‍රිකා-රනිල් බලවේගයට ද සල්ලි ඕනෑ විය. ස්මෝල්ටයිමර් කෙනෙකු වූ මෛත්‍රී කළේ තමන්ට සල්ලි හොයා ගැනීමට මල්ලිලාට රස්සා, දූට කොන්ත්‍රාත් දීම වැනි ස්මෝල්ටයිම් වැඩය. රනිල්ලා මහ බැංකු ගේම දුන්නේ ද දේශපාලනය වෙනුවෙනි. එහිදී අධික ලාභයක් ලැබුණු අර්ජුන් ඇලෝසියස්ගෙන් දේශපාලනයට මුදල් ලැබෙන්නට නියමිතව තියෙන්නට ඇත. කෙසේ වෙතත්, යහපාලනයට කෙළ වීමට බල පෑ ප්‍රධාන හේතුවක් වූයේ එයයි.

රාජපක්ෂලාට හා රනිල්ට ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් වැඩසටහන් තිබිණි. රාජපක්ෂලා බලාපොරොත්තු වූයේ චීනය සමග එක් වී ආයෝජන සමග ගමනක් යාමටය. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඔවුන් විසින් සංවර්ධනය කරන ලදි. රනිල් නැඹුරු වුණේ ඇමරිකාව, යුරෝපය, ජපානය, ඉන්දියාව දෙසටය. කුමන ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් වුණත්, ස්ථාවර බලයක් අවශ්‍යය. එක වරකින් දෙවරකින් බලයෙන් ගිලිහීම නිසා ප්‍රතිපත්ති ස්ථාවරත්වයක් ඇති වන්නේ නැත. බලය රැකගැනීම සඳහා මුදල් වියදම් කරන්නට සිදු වන්නේ එහෙයිනි.

කෙසේ වෙතත්, එකී ආර්ථික වැඩසටහන් දෙකම කඩාකප්පල් වී, මධ්‍යම පන්තික කලකිරීම හා ආධුනික, බොළඳ පරමාදර්ශ මත පදනම් වී වියත් මග ඉදිරියට පැමිණියේය. අර්බුදය උත්සන්න වෙද්දී බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ වැනි ප්‍රායෝගික දේශපාලකයන් කැපී ගියේය. නැවතත්, ධම්මික පෙරේරා ද එන්ටර් විය.

වෙලාවට රනිල් ඉරිපත් වූ නිසා තත්වය කළමනාකරණය කරගත හැකි විය. එහෙත්, සිලින්ඩරයට නොතිබුණු මූලික දෙයක් වූයේ ඡන්ද කැම්පේන් සඳහා මුදල්ය. සජිත් ජයගනු ඇතැයි අපේක්ෂාවෙන් බිස්නස්කාරයන් ඔහු දෙසට හැරී සිටි අතර, මාලිමාවට ද මුදල් ගලා ආවේය.

රනිල්ගේ අවුරුදු දෙකේ පාලනය තුළ, මැතිවරණ වියදම් සීමා කිරීම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත ශක්තිමත් කරමින් වත්කම් හා බැරකම් සම්බන්ධ නීති දැඩි කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ බොහෝ පියවර ගන්නා ලදි. එහෙත්, බල මාරු සඳහා ඩයස්පෝරා, මුස්ලිම් අන්තවාදී, ලෝගු ත්‍රස්තවාදී සහ විවිධ විදේශ රටවල අරමුදල් හොර රහසේ පොම්ප වීම හේතුවෙන් අප බලාපොරොත්තු වූ තරම් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්වුණේ නැත. අවසන් ප්‍රතිඵලයට තව දුරටත් වැදගත් වුණේ සල්ලිම තමාය. ඉදිරියටත් එහෙමම තමාය.

මාලිමා ආණ්ඩුව ද රාජපක්ෂලා මෙන්ම මුදල් මත ගොඩනගන ලද ව්‍යාජයක් බවට පත්වෙමින් තිබේ. ඊනියා පක්ෂ යාන්ත්‍රණයන් හා ප්‍රතිරූප ගොඩනැගීමේ සහ ප්‍රොපගැන්ඩා වැඩසටහන් වෙනුවෙන් අති විශාල ධනස්කන්ධයක් අවශ්‍ය වන අතර එය දැවැන්ත මූල්‍ය උගුලකි. ඔවුන් එහි සිර වී හමාරය. සල්ලි හම්බ කළ යුත්තේ ඒ වෙනුවෙනි. මේ වන විට  ආණ්ඩුවේ ඉහළ සිට පහළ දක්වාම අති විශාල රාජ්‍ය මූල්‍ය වංචා ප්‍රමාණයක පැටලී ඇති අතර ආණ්ඩු වෙනසක් වුවහොත් ඒවා හෙළිදරව් වනු ඇත. බලය අනිවාර්යයෙන් රැකගත යුතු වීමට එක් හේතුවක් වන්නේ එයයි. ඒ සඳහා තව තවත් මුදල් අවශ්‍යය. එය අවසානයේදී බලන විට විෂම චක්‍රයකි.

ගල් අඟුරු හොරකම සිදුවන්නේ ඒ අතරය. ඔය වගේ පය ලුහුටා යාම් බැසිල් රාජපක්ෂ වැනි මොළ හතෙකුටවත් වළක්වා ගත නො හැකිය.

විපක්ෂය ජවිපෙ මෙන් බිම් මට්ටමේ සංවිධාන හදන්නේ නැත්තේ ඇයි දැයි පසුගිය දිනෙක මාලිමා න්‍යායාචාර්ය රමිඳු ලක්ඛික පෙරේරා සටහනක් ලියමින් විමසා තිබිණි. මා නම් දකින්නේ තමන් සිර වී ඇති, තමන් වඩා දක්ෂ උගුල තුළ සටනකට ජවිපෙ තම ප්‍රතිවාදීන් කැඳවන බවයි.

ඇත්තෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදයේ මෙම යුගයේදී නොකළම යුතු දෙයක් වන්නේ ඒ අන්දමින් මහා සංවිධාන යාන්ත්‍රණයන් ගොඩනැගීමයි. ඒවා නඩත්තුව අතිශය දුෂ්කරය. බලය සම්බන්ධයෙන් ද අලුත් දැක්මක් අවශ්‍යය. කවුරු බලයට ආවත්, කරන්නට තිබෙන්නේ බොහෝ දුරට එක් වැඩසටහනක් පමණක් නම් සහ ඒ සඳහා නායකත්වය දීම සමග අවදානම් රැසක් ද තිබේ නම්, කළ යුත්තේ හැම කොල්ලා හා බල්ලාම දේශපාලකයන් වෙන්නට යාම නොව, ඒ ගැන දන්නා, වෘත්තීය විදියට එය කරන එවුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දී  සියුම් මැදිහත් වීම් මගින් සීරු මාරු කිරීම්වලට උත්සාහ කිරීමයි. බලය තනි අතකට ගොනු කරගන්නට සිතීම පවා තේරුමක් නැත. බලය ආණ්ඩුව, රජය, පළාත් සභා, පළාත් පාලනය හා සිවිල් සමාජය අතර විහිදී යන්නට ඉඩ හැරිය යුතුය. තනියෙන් බදා නොගෙන කාටත් බලය සමග සම්බන්ධ වීමට අවස්ථාව ලබා දිය යුතුය. අපේ අතින්, අපම සියල්ල කළ යුතු බව හෝ අප යුගයේ කාර්යභාරයක් පැවරුණු සුවිශේෂ පිරිසක් යයි සිතීම යුගයේ අන්තම මුග්ධත්වයයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *