– අජිත් පැරකුම් ජයසිංහ,
අද දින තනි ධමනි නාකි සොම්බි කජු සීයාට හැත්තෑ හතකි. ආයු බෝ වේවා!
මට නම් ඔහු සම්බන්ධයෙන් ඇත්තේ දේශපාලන අදාළත්වයක් පමණි.
මෑත යුගයේ ලංකා ඉතිහාසය සම්බන්ධයෙන් තීරණාත්මක මැදිහත් වීම් සිදු කළ අය සිටින්නේ අතළොස්සකි. ඒ අය අතරින් ඉදිරියෙන්ම සිටින්නේ ජේආර්, ප්රභාකරන්, මහින්ද හා රනිල්ය.
ජේආර් ලංකාවේ ධනේශ්වර ක්‍රමය තිරසර කරන්නට හේතු වූ තීරණාත්මක ප්‍රතිසංස්කරණ සිදු කළ නායකයෙකි. ප්රභාකරන් දෙමළ ජාතිකවාදය දෙමළ ඊලාම් රාජ්‍යයක් සඳහා යුද්ධයක් මට්ටමට ඔසවා තැබුවේය. මහින්ද එය පරදවා සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යය ශ්‍රී ලංකාව තුළ තිරසර කළේය. රනිල් බිඳ වැටුණු ලංකා ආර්ථිකය තිරසර ලිබරල් ධනේශ්වර පීල්ලක තැබුවේය. ශ්‍රී ලංකා රාජ්‍යයේ තිරසරභාවය වෙනුවෙන් ඔහු දෙදාස් ගණන්වල මුල සිට කරන්නට උත්සාහ කළ ප්‍රතිසංස්කරණ දැන් සිදු වෙමින් පවතී. පෞද්ගලික අංශය සංවර්ධනයේ එන්ජිම බවට පත් කරන්නට මුල පුරා ඇත. රාජ්‍ය කාර්යක්ෂමතාව නැංවීම කෙරෙහි අවධානය යොමු වී ඇත. දූෂණයට එරෙහි නීති සම්පාදනය වී ඇත. රාජ්‍ය මූල්‍ය විනය නීතිගත කර ඇත. යහපාලන ව්‍යාපෘතියට සම්බන්ධ ප්රජාතන්ත්රීයකරණය දැන් අත්හරින්නට පහසු නැත. එය එක්තරා විදියකට අඩු තීව්රතාවකින් යුතුව කෙටි කලකින් කරන ලද විප්ලවීය පරිවර්තනයකි. එය මැනැවින් සලකුණු වන්නේ ඉන් පසු බලයට පැමිණි ජවිපෙ තුළය. ජවිපෙට දැන් තව දුරටත් ජවිපෙ වන්නට බැරි තත්වයක් රාජ්‍යය තුළ නිර්මාණය වී තිබේ.
අනුර ඉතිහාස ගත වෙනවා නම්, එසේ වන්නේ රනිල් ලංකාව යොමු කළ දිශාවේ වඩා ආක්‍රමණශීලී ලෙස ඉදිරියට ගොස් ලංකාවේ ආර්ථිකය වර්ධනයේ මාවතේ තිරසර කළ අයෙකු ලෙසය.
දැන් තුන් වැනි ලෝක යුද්ධය වැනි යුද්ධයක් ආරම්භ වී තිබේ. පැරණි ක්‍රමය මුළුමනින්ම අවසන් වෙමින් ඇත. අනුර පටන් ගනිමින් සිටින්නේ අවසන් වෙමින් තිබුණු ක්‍රමයක්දැයි පැහැදිලි නැත.
රනිල්ගේ ධමනිය පාදා ඇති බව ආරංචිය. ඔහු මට වැදගත් එක කරුණක් නිසාය. ඔහු හිතන්නට පුළුවන්, කළ යුත්ත කරන්නට බිය නැති, ජනතාවට ඉදිරියෙන් සිටින, අනාගතය දැකිය හැකි නායකයෙකු නිසාය. මා ඔහු දකින්නේ විප්ලවවාදියකු ලෙසය. ඔහු ගැන නගන අවලාද මට අදාළ නැත. වැරදි නොකළ කිසිවකු ලංකාවේ දේශපාලනයේ නැත. ඔහු ද වැරදි කරන්නට ඇත. දැන් ඉන්න පාලකයන් ද එසේමය.
තනි ධමනි නාකි සොම්බි කජු සීයාගේ කාර්යභාරය තමන්ගේ කරගෙන ඔහු ඉතිහාසයෙන් මකා දැමීමට ජවිපෙ උත්සාහ කරමින් සිටියි. ඔවුන්ට එය ගැඹුරු දේශපාලන මූලෝපායක් බව පෙනේ. ජවිපෙ නායකයන් සියලු දෙනා කතා කරන්නේ 2022 ජුලි 9 බලය ගෙන 2024 දක්වා ද රට ගොඩ දැම්මේ තමන් වගේය. එය බොළඳ උත්සාහයක් පමණි. ඒ කොටස රනිල්ගේය. හිරේ මළත්, රනිල්, මහින්ද වැනි අය ඉතිහාසයෙන් මකා දැමිය නොහැකිය. ප්රභාකරන් හා ජේආර් මෙනි. මළත් තවමත් උරුමය ජීවමානය.
ඉතිහාසය වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ අනාගතය නිර්මාණය කළ යුත්තේ ඉතිහාසයේ පදනම මත නිසාය.











