මිලින්ද මොරගොඩ

2026 වසර කරා ළගාවන විට, දකුණු ආසියානු කලාපයේ දැනට පවතින සහයෝගිතා ආකෘතීන් තවදුරටත් කාලීන අවශ්‍යතාවන්ට නොගැලපෙන බව වඩාත් පැහැදිලි වෙමින් පවතී. ‘සාක්’ සහ ‘බිම්ස්ටෙක්’ වැනි සංවිධාන බිහි වූ පසුබිම එකලට වඩා වෙනස් වී ඇත. සාපේක්ෂ වශයෙන් ස්ථාවර බහුපාර්ශ්විකත්ව, තීරණගත හැකි බලවතුන්ගේ නායකත්ව සහ සීමිත කලාපීය අභිලාෂයන්ගෙන් ද නිර්වචනය කෙරෙමින් තිබුණ වෙනස් භූ දේශපාලනික පසුබිමක් තුළ එම සංවිධාන ඇති විය. එම යුගය දැන් නිශ්චිතවම අවසන් වී ඇත.

ගෙවී ගිය 2025 වසර  ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කළ වසරකි. ‘‘ලිබරේෂන් ඬේ’’ බදු ලෙස හඳුන්වනු ලබන පුළුල් පරාසයක විහිදෙන තීරු බදු ඇතුළු බාධාකාරී ප‍්‍රතිපත්ති තීරණ මාලාවක්  ඇමරිකාව එම වසරේ අපේ‍්‍රල් 2 වැනිදා ප‍්‍රකාශයට පත්කළේය. ඇමරිකා එක්සත් ජනපදය ඔවුන් විසින්ම ගොඩනගා නායකත්වය දුන් පශ්චාත් යුදකාලීන ජාත්‍යන්තර ආර්ථික ක‍්‍රමයේ ප‍්‍රධාන අංගයන් දැනුවත්ව බිඳ දැමීමට තමන් තුළ ඇති අභිලාශය ගැන සංඥාවක් එය ඔස්සේ, පළ කර තිබේ. පැවැති ආර්ථික රටාව තුළ යම් යම් අඩුපාඩු තිබුණ නමුත්, පෙර නොවූ විරූ ගෝලීය සමෘද්ධියක් ඇති කිරීමට එම ක‍්‍රමය සමත් විය. එක්සත් ජනපදය තුළත්, ඉන් පිටතත් මිලියන සිය ගණනක් ජනතාව දිළිඳුකමින් මුදා ගැනීමට හැකියාවක් ලැබුණි. එම ක‍්‍රමයේ බිඳ දැමීම හුදෙක් උපායික වෙනසක් පමණක් නොව, ගෝලීය දේශපාලනයේ සහ ආර්ථික ක‍්‍රමයේ ව්‍යුහාත්මක පරිවර්තනයක් ද සනිටුහන් කර ඇත.

පැවැති ක‍්‍රමවේද වෙනුවට බල කේන්ද්‍ර ගණනාවකින් සමන්විත බහු පාර්ශවික ලෝකයක් නිර්මාණය වෙමින් පවතී. ආර්ථික හෝ ආරක්ෂක බලය, නිෂ්පාදනය, නවෝත්පාදනය සහ බලපෑම් කළ හැකිවීම තවදුරටත් ඒකීය කේන්ද්‍ර ගතවීමක් නොමැත. මෙකී නව වින්‍යාසය තුළ ඉන්දියාව හුදෙක් විශාල රටක් ලෙස නොව, ආර්ථික, තාක්ෂණික, දේශපාලනික සහ ශිෂ්ටාචාරමය වශයෙන් තීරණාත්මක බල කේන්ද්‍රයක් ලෙස කැපී පෙනෙන තැනකට පත්වෙමින් තිබේ. ඉන්දියාවේ බලපෑම දකුණු ආසියාවෙන් ඔබ්බට බොහෝ දුර විහිද යයි. ඉන්දියාවේ ආර්ථික බලය විසින් මැදපෙරදිග, අප‍්‍රිකාව, ඉන්දු-පැසිෆික් කලාපය සහ යුරෝපයේ ඇතැම් කොටස් වෙත ප‍්‍රතිඵල හැඩගස්වනු ලබයි. ඉන්දියාව සතු මෙම අද්විතීය මූලෝපායික පිහිටීම වෙනත් රටවල් නොපෙන්වයි. කලාප හරහා දිවෙන ගැඹුරු ඓතිහාසික සහ ශිෂ්ටාචාරමය බැ`දීම්, බටහිර රටවල් සමග පවතින ශක්තිමත් සබඳතා, රුසියාව සමග ඇති නොබිඳුණු ගනුදෙනු මෙන්ම ලෝකයේ දකුණු පැත්තේ රටවල් හරහා ඇතිකරගෙන තිබෙන විශ්වසනීයත්වය එය උදාහරණ සපයයි. පෞරාණික වෙළඳ මාර්ග, ආගමික සබඳතා සහ හවුලේ බෙදා හදා ගත් සංස්කෘතික මතකයන් නූතන සැපයුම් දාමයන්, මෙකල ඩිජිටල් ජාල සහ බලශක්ති කොරිඩෝවන් සමග ෙඡ්දනය වෙමින් පවතින අතර, මෙතෙක් පැවැති සාම්ප‍්‍රදායික කලාපීය සිතියම්වල දක්වා ඇති ප‍්‍රමාණයට වඩා පුළුල් ඉන්දීය අනන්‍යතාවයක් නිර්මාණය කරමින් සිටී. වේගවත් ආර්ථික වර්ධන අවධියකට ඉන්දියාව පිවිසෙන විට, දකුණු ආසියාව පමණක් නොව ඊට වඩා පුළුල් අසල්වැසි කලාපයක් නගාසිටුවීමට එයට ඇති ශක්‍යතාව ද මෙයට සමාන්තරව ගොඩනැගෙනු ඇත.

කලාපීය වශයෙන් පවත්වාගෙන යන ආයතනවල සීමාසහිත බව මෙම ගොඩනැගීම තුළින් යථාර්ථවාදීව හෙළිදරව් කරන බව පෙනේ. දේශපාලනික අවහිරතා සහ පටු භූගෝලීය මතිමතාන්තර අනුව සීමා වී ඇති සාක් සංවිධානය එයින් ප‍්‍රධාන තැනක් ගනී. කලාපීය ඒකාබද්ධතාව සඳහා එම සංවිධානයේ ඵලදායීව කටයුතු කිරීම නතර වී සෑහෙන කාලයක් ගත වී ඇත. බිම්ස්ටෙක් සංවිධානය වඩාත් ක‍්‍රියාකාරී සහ අනාගතය දෙස බලන ආයතනයක් ලෙස නිර්මාණය වුවද, එහි විෂය සහ අභිලාෂය තවමත් සීමිත තැනෙක පවතී. මෙම සංවිධාන දෙක පැරණි යුගයක් නියෝජනය කරයි.

කලාපීය බලවතුන් අතර එක් බලවතෙකු ලෙස පමණක්, ඉන්දියාව පසුකරමින් සිටි යුගයක් තිබුණි. එය එකිනෙක මත කටයුතු වන බලකලාප ගණනාවක් සම්බන්ධ කරන කේන්ද්‍රගත තැනක් ලෙස නොවේ. එළැඹෙන වසරේදී මෙම බලකේන්ද්‍රවල හැසිරීම ගැන නැවත ගැඹුරින් සලකාබලන අවශ්‍යතාවයක් ඇතිවේ. 2025 වසරේ දක්නට ලැබුණු බාධක 2026 වසරේදී ඉවත් නොවන අතර එය වෙනුවට බහුපාර්ශවිය ලෝකයක් කරා සිදුවන පරිවර්තනය වේගවත්වීමට ඉඩ තිබේ. දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවති ආයතන, කලාපීය විධිවිධාන සහ ද්විපාර්ශ්වික අවබෝධතා මෙහි දී දැඩි පීඩනයකට ලක් වනු ඇත. ඇතැම් ආයතන ප‍්‍රතිසංස්කරණය කිරීමට සිදුවන අතර, ස්වභාවය මග හැරීමට හෝ අදාළ නොවන තත්ත්වයකට පත් කිරීම අපහසුවේ. තාක්ෂණය මෙම පරිවර්තනයේ ප‍්‍රධානතම ගාමක බලයක් වනු ඇත. ඉතිහාසයේ වාර්තා වූ කාර්මික විප්ලවයන්ට කිසිසේත් සම කළ නොහැකි වේගයක් ඇති කරගෙන සිටින කෘත‍්‍රිම බුද්ධිය විසින්, ආර්ථික කටයුතු, රාජ්‍ය පාලනය, යුද කටයුතු සහ සමාජ ව්‍යුහයන් හැඩගස්වමින් තිබෙන හෙයින් එය බැහැර කළ කොහැක.

බලශක්ති ක‍්‍රමවේද පවා විප්ලවීය පරිවර්තනයක පවතින අතර හරිත හයිඩ‍්‍රජන්වල සිට න්‍යෂ්ටික බලශක්තිය දක්වා සහ ග‍්‍රිඞ් පද්ධති හා විදුලිය ගබඩා කළහැකි තාක්ෂණය දක්වා නවතම පැතිකඩවලට විහිදේ.  මෙහිදී හුදෙක් සහභාගිවන්නෙකු පමණක් නොව, වෙළඳපොළ, ප‍්‍රමිති සහ නවෝත්පාදන මාර්ග හැඩගස්වන උත්පේ‍්‍රරකයක් ලෙස ඉන්දියාව ක‍්‍රියා කළ හැකිය. එයට සමාන්තරව, ‘‘විශ්වාසවන්ත සැපයුම් ජාල’’ මත යැපෙන සංකල්පය කෙරෙහි ගෝලීය ආර්ථිකය ප‍්‍රතිසංවිධානය වෙමින් තිබේ. අඩු පිරිවැය සහිත කාර්යක්ෂමතාව තරමටම සපයන්නාගේ විශ්වසනීයත්වය, ඔරොත්තු දීමේ හැකියාව සහ දේශපාලන පසුබිම ද වැදගත් සාධකයක් වී ඇත. මෙම පරිසරය සලකා බලනවිට භූමියේ විශාලත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනික රටාව, නිෂ්පාදන අභිලාෂයන් සහ මූලෝපායික ස්වාධීනත්වය හේතුවෙන් ගෝලීය සැපයුම් ජාලයන්හි තීරණාත්මක නැංගුරමක් ලෙස ඉන්දියාව ස්ථානගත වී ඇත.

ඇතැම් ප‍්‍රධාන පෙළේ පැතිකඩ දැනටමත් මෙම දිශානතිය පෙන්නුම් කරයි. ඉන්දියා-මැදපෙරදිග-යුරෝපා ආර්ථික කොරිඩෝව හුදෙක් රටවල් සම්බන්ධ කරන ව්‍යාපෘතියකට වඩා වැඩි යමක් නියෝජනය කරයි. බටහිර ආසියාව හරහා දකුණු ආසියාව යුරෝපය සමග සම්බන්ධ කරන නව ආකාරයක අන්තර් කලාපීය සහයෝගීතාවක් සඳහා වූ ආකෘතික රාමුවක් සේ දැක්විය හැකිය. යෝජනා වී තිබෙන ඉන්දියා-යුරෝපා සංගම් නිදහස් වෙළඳ ගිවිසුම සහ ඉන්දියාවේ පුළුල් වෙමින් පවතින වෙළඳ හා ආයෝජන හවුල්කාරිත්ව ජාලය හරහා ඉනදියාව කේන්ද්‍රකරගත් දකුණු ආසියානු රටවලට අතුරු ප‍්‍රතිලාභ ඇති කරන පසුබිමක් පවතී. එසේ නමුත් එකී අරමුණ සඳහා මෙම කලාපය එම සම්බන්ධතාවයන් තුළට නිර්මාණාත්මක ලෙස ඒකාබද්ධ කළ යුතුව ඇත.

ප‍්‍රවාහනය, බලශක්තිය, ඩිජිටල් යටිතල පහසුකම් සහ මූල්‍ය කටයුතු ඔස්සේ ඉන්දියාව ජාත්‍යන්තරය සමග සම්බන්ධතාව වඩාත් තර කරගන්නා විට, දකුණු ආසියාවට ලැබෙන ප‍්‍රතිලාභ ද ඉහළ යනු ඇත. එහෙත් සාක් හෝ බිම්ස්ටෙක් සංවිධානවල තියුණු ආයතනික සීමාවන් ඉදිරියේ  මෙකී ප‍්‍රතිලාභ පූර්ණ වශයෙන් සාක්ෂාත් කරගැනීමට හැකියාවක් නැත. පැරණි මෙම ආයතන වෙනුවට වඩාත් පුළුල්, නම්‍යශීලී සහයෝගිතා රාමුවක් අවශ්‍ය වී තිබේ. එය සාම්ප‍්‍රදායික දේශපාලනික උරුමයන්ට වඩා ඉන්දියාවේ සැබෑ ආර්ථික සහ උපායමාර්ගික භූ ගෝලීය ස්වභාවය පිළිබිඹු කරන්නක් විය යුතුය.

ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය ඉදිරි කාලය තුළ ඔවුන් පවත්වාගෙනය යන ගෝලීය භූමිකාව සහ අනන්‍ය ආයතනික ව්‍යුහයන් නැවත සමාලෝදනය කරනු ඇති බව නිසැකය. ඉන්දියාව ද එසේ කළ යුතුය. යල් පැන ගිය ව්‍යුහයන් බලගැන්වීම සඳහා දේශපාලන ජවය යෙදවීම වෙනුවට, නව සහයෝගිතා සංසදයක් ප‍්‍රකාශයට පත් කිරීම නව දිල්ලි පාලනයේ වගකීමකි. එම සහයෝගීතාවය සිය දකුණු ආසියානු කලාපය තුළ නැංගුරම් ලා සිටින අතර  එයින් ඔබ්බට විහිදෙන්නක් විය යුතුය. එවැනි වේදිකාවකට බටහිර ආසියාවේ, අප‍්‍රිකාවේ සහ ඉන්දු-පැසිෆික් කලාපයේ කොටස් ඇතුළත් කර ගත හැකි අතර, එය දෘෂ්ටිවාදාත්මක පෙළගැස්මකට වඩා වෙළඳාම, බලශක්තිය, තාක්ෂණය, රටවල් යා කිරීම සහ ඒවාට අනුබද්ධ ප‍්‍රමිති සහ සංස්කෘතිය යන ක්ෂේත‍්‍රවල ප‍්‍රායෝගික සහයෝගීතාව වටා සංවිධානය විය යුතුය.

මෙවැනි උත්සාහයක්  ඕනෑම රටක් බැහැර කිරීමේ හෝ පවතින ආයතන එක රැුයකින් ප‍්‍රතිස්ථාපනය කිරීමට ගන්නා උත්සාහයක් හෝ නොවන බව ද මතක තබාගත යුතුවේ. එය බහු පාර්ශවික බල ක`දවරු සහිත ලෝක යථාර්ථයන් සහ ඒ තුළ ඉන්දියාවේ නැගී එන වගකීම් සමග පෙළගැසෙන නව සුසමාදර්ශයක් නියෝජනය කරනු ඇත. 2026 වසර හුදෙක් ගැළපීම් සිදු කරන තවත් එක් වසරක් ලෙස නොව, මෙම නව දැක්ම සඳහා අඩිතාලම දමන මොහොතක් ලෙස සලකා බැලීම සුදුසුය. වඩාත් පුලූල් වන ගෝලීය ක‍්‍රමයට හුදෙක් නොදැනුවත්වම අනුගතවීමකට වඩා එය හැඩගැස්වීමට ඉන්දියාව අපේක්ෂා කරන්නේ නම්, ‘‘කලාපය’’ යන අදහසම නැවත ප‍්‍රතිරූපණය කිරීම සමග ඉන්දියාව සිය කාර්යභාරයේ වගකීම් කටයුතු ආරම්භ කළ යුතුව ඇත.

(මිලින්ද මොරගොඩ ශ‍්‍රී ලංකාවේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වන අතර, උපායමාර්ගික කටයුතු පිළිබඳ බුද්ධි මණ්ඩපයක් වන පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘවරයා ද වෙයි. හින්දුස්ථාන් ටයිම්ස් 2026.01.01 පළ වූ ලිපියේ පරිවර්තනයකි [email protected]  ලිපිනයට අදහස් හෝ යෝජනා එවන්නේ නම් මැනවි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *