පරිවර්තනය: අජිත් පැරකුම් ජයසිංහ, Creative Content Consultants
2025 දෙසැම්බර් 09, අඟහරුවාදා, ඉන්ටර් ප්‍රෙස් සර්විස් – උපුටා ගැනීම Global Issues
2025 නොවැම්බර් 28 වන දින ශ්‍රී ලංකාවට ඇතුළු වූ ඩිට්වා නිවර්තන සුළි කුණාටුව, 2004 වසරේ සිදු වූ මාරාන්තික සුනාමි ව්‍යසනයෙන් පසු රට තුළ සිදුවූ දරුණුතම ස්වාභාවික ව්‍යසනය ලෙස සැලකේ. එමඟින් ඊසානදිග මෝසම සක්‍රීය කළ අතර, ධාරාණිපාත වර්ෂාපතනයක් සහ දැවැන්ත ගංවතුර තත්ත්වයක් නිර්මාණය විය. එසේම, දිස්ත්‍රික්ක හතක් පුරා දරුණු නායයෑම් 215ක් ද වාර්තා විය.
සුළි කුණාටුව රට තුළ විනාශකාරී පසුබිමක් ඉතිරි කළේය. මේ හේතුවෙන් පුද්ගලයන් 500කට ආසන්න පිරිසක් මිය ගිය අතර, මිලියනයකට අධික පිරිසක් අවතැන් වූහ. නිවාස, මාර්ග සහ දුම්රිය මාර්ග විනාශ වූ අතර, සම්ප්‍රේෂණ කුලුනු 4,000ක් ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් අක්‍රිය විය. සමස්ත ආර්ථික අලාභය ඇමරිකානු ඩොලර් බිලියන 6-7ක් ලෙස ගණන් බලා ඇති අතර, එය රටේ විදේශ සංචිත ඉක්මවා යන අගයකි.
ඉන්දියාව සහ පකිස්ථානය ඇතුළු ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සහන මෙහෙයුම්වල පෙරමුණ ගෙන ක්‍රියා කරති. වෙන්නප්පුව ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් නියමු නිලධාරිවරයා ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් හතර දෙනෙකු තුවාල ලැබූහ. ගංවතුර අවම කිරීම සඳහා ජල මාර්ග පුළුල් කරමින් සිටියදී උතුරු ප්‍රදේශයේ චුන්ඩිකුලම් හි දී ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයෝ පස් දෙනෙක් මිය ගියහ.
අතීත ව්‍යසනවලදී මෙන්ම මෙම ව්‍යසනයේදී ද ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් පෙන්වූ නිර්භීතභාවය සහ කැපවීම කෘතවේදී ශ්‍රී ලාංකිකයන්ගේ ඉහළ ඇගයීමට ලක් වේ.
කෙසේ වෙතත්, ඩිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් රජය කටයුතු කළ ආකාරය දැඩි විවේචනයට ලක්ව තිබේ. නොවැම්බර් 12 වන දින සිට ලබා දී තිබූ පූර්ව අනතුරු ඇඟවීම් කෙරෙහි අවධානය යොමු නොකිරීම, මන්දගාමී සහ දුර්වල ලෙස සම්බන්ධීකරණය කරන ලද ප්‍රතිචාර දැක්වීම සහ මහජනතාව සමඟ සන්නිවේදනය ප්‍රමාණවත් නොවීම ඊට ඇතුළත් ය.
ආපදා කළමනාකරණය සඳහා ප්‍රමාණවත් ආයෝජනයක් නොමැති වීම, ක්‍රියා පටිපාටි සක්‍රීය නොකිරීම, නිලධාරිවාදී නොසලකා හැරීම් සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයක් නොමැතිකම වැනි පද්ධතිමය ගැටලු ද, වළක්වා ගත හැකිව තිබූ මරණ සහ විනාශයන් සඳහා හේතු වී ඇතැයි චෝදනා එල්ල වේ.
ඩිට්වා සුළි කුණාටුව වැනි දේශගුණික ව්‍යසනයන් සඳහා හේතු ආපදා පෙර සූදානමෙන් ඔබ්බට විහිදෙයි. දෝෂ සහගත ප්‍රතිපත්ති සම්පාදනය, වැරදි කළමනාකරණය සහ දශක ගණනාවක් තිස්සේ පැවති නියාමනය නොකළ ආර්ථික සංවර්ධනය දිවයිනේ ස්වාභාවික ආරක්ෂක විධික්‍රම ඛාදනය කර ඇත. දේශගුණ විද්‍යාඥ ආචාර්ය තසුන් අමරසිංහ සඳහන් කරන පරිදි “රටේ වඩාත්ම ඵලදායී ස්වාභාවික ගංවතුර පාලන යාන්ත්‍රණය වන ශ්‍රී ලංකාවේ තෙත්බිම් ඩෝසර් කර, ගොඩකර, අනවසරයෙන් අත්පත් කරගෙන විකුණා දමා තිබේ. පාරිසරික විද්‍යාඥවරුන්, ජල විද්‍යාඥවරුන් සහ රාජ්‍ය ආයතන පවා අනතුරු ඇඟවීම් සිදු කර තිබියදීත්, මෙම සංවර්ධන කටයුතු බොහොමයක් සඳහා අනුමැතිය ලබා දී ඇත.”
යටත් විජිත යුගයේ අපනයන සංවර්ධනය හා බැඳුණු ඓතිහාසික වන විනාශය සහ වතු වගාව ද ශ්‍රී ලංකාවේ වර්තමාන අවදානම සඳහා හේතු වී තිබේ. 1881 දී 82%ක්ව පැවති වන ගහනය 1900 වන විට 70% දක්වා අඩු විය. බ්‍රිතාන්‍ය පාලනය අවසන් වූ 1948 වන විට එය 54% – 50% දක්වා අඩු වී තිබුණි. එය 1954 දී 44% දක්වාත්, 2019 වන විට 16.5% දක්වාත් තවදුරටත් පහත වැටුණි.
වන විනාශය ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් 10%-12% ක් පමණ සඳහා දායක වේ. අත්‍යවශ්‍ය කාබන් අවශෝෂකයක් ඉවත් කිරීමට අමතරව, එය ජල සම්පත්වලට හානි කරන අතර, මතුපිට ජලය ගලා යෑම සහ ඛාදනය ඉහළ නංවයි. එමඟින් ගංවතුර සහ නායයෑම් අවදානම ද වැඩි කරයි. පසට හානි කරන ඒක බෝග වගාව පසෙහි සාරවත් බව, කාබනික ද්‍රව්‍ය සහ ජෛව විවිධත්වය පුනර්ජනනය කරන සාම්ප්‍රදායික බහු-බෝග පද්ධති අඩපණ කිරීමට තවදුරටත් හේතු වේ.
ඩිට්වා සුළි කුණාටුවේ දැඩි බලපෑමට ලක්වූ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ, වන විනාශය සහ නියාමනය නොකළ ඉදිකිරීම් හේතුවෙන් කඳු බෑවුම් අස්ථාවර වී තිබුණි. ගංවතුර සහ නායයෑම්වලට ලක්විය හැකි අධි අවදානම් කලාප දිගු කලක් තිස්සේ හඳුනාගෙන තිබුණ ද, පදිංචිකරුවන් ඉවත් කර නොතිබූ අතර, ඉදිකිරීම් සහ නගර නිර්මාණය කිරීම් අඛණ්ඩව සිදු විය.
නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාවයි. 1977 “විවෘත ආර්ථික” ප්‍රතිසංස්කරණ සමඟ, මානව යහපැවැත්ම යනු ප්‍රමාණාත්මක වර්ධනය සහ ද්‍රව්‍යමය පරිභෝජනය බවට සමාන කරන ධනවාදී මතවාදයක් ව්‍යාප්ත විය. සංවර්ධන ප්‍රයත්නයන් කඩිනම් වූ අතර, ඒවා දුර්වල ලෙස අධීක්ෂණය කෙරුණි. බොහෝ විට නිසි පාරිසරික ඇගයීමකින් තොරව ඊට අනුමැතිය හිමි විය.
පෞද්ගලීකරණය සහ ආයතනික නියාමන ලිහිල් කිරීම මඟින් රාජ්‍ය අධීක්ෂණය දුර්වල කෙරුණි. මෑතකාලීන ආර්ථික අර්බුදය සහ හැකිලෙන අයවැය හේතුවෙන් පාරිසරික සහ සමාජ ආරක්ෂණයන් තවදුරටත් බිඳවැටිණි. ජලාපවහන ජාල, ජලාශ සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති නඩත්තු කිරීම ඊට ඇතුළත් ය. මෙම සාධක ඒකාබද්ධ වීමෙන් ශ්‍රී ලංකාව ද්විත්ව දේශගුණික තර්ජනයක වින්දිතයෙකු බවට පත් වී තිබේ. එනම් ක්‍රමයෙන් සිදුවන පාරිසරික බිඳ වැටීම සහ හදිසියේ ඇතිවන ව්‍යසනයන් ය.
ශ්‍රී ලංකාව: දේශගුණික වින්දිතයෙක්
ශ්‍රී ලංකාවේ කාබන් විමෝචනය සාපේක්ෂව කුඩා අගයක් ගන්නා නමුත් එය ඉහළ යමින් පවතී. කෙසේ වෙතත්, දිවයිනට දේශගුණික විපර්යාසවල බලපෑම අති විශාලය. මෑත දශක කිහිපය තුළ වාර්ෂික මධ්‍යන්‍ය වායු උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත (1961 සහ 1990 අතර වාර්ෂිකව 0.016 °C කින්). මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් වසරකට මීටර් 0.30 – 0.35ක් පමණ දරුණු වෙරළ ඛාදනයක් සිදුවන අතර, එය වෙරළ තීරයෙන් 55%කට ආසන්න ප්‍රමාණයකට බලපායි. මුහුදු මට්ටම ඉහළ යාම හමුවේ පහත් වෙරළබඩ තැනිත්ලාවන් සතු දැඩි අවදානම 2004 සුනාමිය මඟින් පෙන්නුම් කළේය.
ඩිට්වා සුළි කුණාටු ව්‍යසනය සම්පූර්ණයෙන්ම අලුත් හෝ පුදුමයට කරුණක් නොවේ. ආපදා හේතුවෙන් අවතැන්වීමේ ඉහළම සාපේක්ෂ අවදානමක් ඇති දකුණු ආසියානු රට ලෙස ජිනීවා නුවර පිහිටි අභ්‍යන්තර අවතැන්වීම් නිරීක්ෂණ මධ්‍යස්ථානය (IDMC) 2015 වසරේදී ශ්‍රී ලංකාව හඳුනා ගත්තේය: “සෑම වසරකම, සෑම වැසියන් මිලියනයකටම 15,000ක් අවතැන්වීමේ අවදානමක සිටිති.”
2017 වසරේදී රට තුළ ආපදා සිදුවීම් හතක් (ප්‍රධාන වශයෙන් ගංවතුර සහ නායයෑම්) සිදුවූ බවත්, එමඟින් 135,000ක පිරිසක් අලුතින් අවතැන් වූ බවත් IDMC ආයතනය සඳහන් කළේය. “පස නිසරු වීම, කරදිය ඇතුළු වීම, ජල හිඟය සහ වගා පාළුවීම වැනි සෙමින් සිදුවන බලපෑම්වල අවදානමක ද” ශ්‍රී ලංකාව පසුවන බව ඔවුහු පෙන්වා දුන්හ.
2018 වසරේදී ආන්තික කාලගුණික සිදුවීම්වලින් වැඩිම බලපෑමක් එල්ල වූ රටවල් අතරින් ශ්‍රී ලංකාව හයවන ස්ථානයට පත්විය (Germanwatch). 2019 දී එය දෙවන ස්ථානයට පත්විය (ගෝලීය දේශගුණික අවදානම් දර්ශකය). මෙම අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගත් විට, ඩිට්වා සුළි කුණාටුව පුදුමයට කරුණක් නොවිය යුතුය. උණුසුම් සාගර විසින් සුළි කුණාටු වඩාත් ශක්තිමත් කරන බවත්, උණුසුම් වාතය වැඩි තෙතමනයක් රඳවා තබා ගනිමින් අධික වර්ෂාපතනයක් ඇති කරන බවත් විද්‍යාඥයෝ නැවත නැවතත් අනතුරු අඟවා ඇත.
2025 දෙසැම්බර් 1 වන දින සිලෝන් ටුඩේ (Ceylon Today) කතුවැකිය ද මෙසේ නිරීක්ෂණය කළේය: “…අපගේ මෝසම් වැසි තවදුරටත් පුරෝකථනය කළ නොහැක. සුළි කුණාටු වේගයෙන් නිර්මාණය වී දැඩිව පහර දෙයි. එසේම, දිගු කාලයක් පවතී. වර්ෂාපතනය අක්‍රමවත්, තීව්‍ර සහ විනාශකාරී වී ඇත. මෙය අහම්බයක් නොවේ; එය රටාවකි.”
හදිසි ක්‍රියාමාර්ග නොගතහොත්, මීටත් වඩා ආන්තික කාලගුණික සිදුවීම් ශ්‍රී ලංකාවේ වාසය කිරීමට ඇති යෝග්‍යතාව සහ භෞතික පැවැත්මට තර්ජනයක් වනු ඇත.
ගෝලීය අර්බුදයක්
නියඟ, ලැව්ගිනි, සුළි කුණාටු සහ ගංවතුර වැනි ආන්තික කාලගුණික සිදුවීම් ගෝලීය සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙමින් තිබේ. 2050 වන විට බිලියන 1.2ක් දක්වා වූ පිරිසක් “දේශගුණික සරණාගතයින්” බවට පත්විය හැකිය. ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් කාලගුණ රටා අඩාල වන අතර, පරිසර පද්ධති අස්ථාවර වේ. මෙය පෘථිවියේ ජීවයට දරුණු අවදානමක් ඇති කරයි. 2025 නොවැම්බර් අග භාගයේදී ශ්‍රී ලංකාවට ඩිට්වා සුළි කුණාටුව ඇතුළු වනවාත් සමඟම, ඉන්දුනීසියාව සහ තායිලන්තය විනාශකාරී සෙන්යාර් නිවර්තන සුළි කුණාටුවේ බලපෑමට ලක් විය.
ගෝලීය බලශක්තියෙන් 80%ක් පමණ සපයන ගල් අඟුරු, තෙල් සහ ගෑස් දහනය කිරීමෙන්, ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් 75%කට වැඩි ප්‍රමාණයක් සහ කාබන් විමෝචනයෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් සිදු වේ. හරිතාගාර වායු විමෝචනයට අවම දායකත්වයක් ලබා දෙන ශ්‍රී ලංකාව වැනි ගෝලීය දකුණේ රටවල්, දේශගුණික විනාශයන්ට වැඩිපුරම ගොදුරු වන රටවල් අතර වේ.
එහෙත් ලෝක බැංකුව ඇතුළු ධනවත් රටවල් සහ බහුපාර්ශ්වික ආයතන, පොසිල ඉන්ධන ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා සහනාධාර ලබා දීම අඛණ්ඩව සිදු කරයි. 2025 දී බ්‍රසීලයේ බෙලෙම් (Belém) හි පැවති COP 30 ඇතුළුව ගෝලීය දේශගුණික ප්‍රතිපත්ති සම්පාදනය, අකාර්යක්ෂම සහ පොසිල ඉන්ධන අවශ්‍යතා මත ආධිපත්‍යය දරන බවට විවේචනයට ලක්ව ඇත.
දේශගුණය ස්ථාවර නොකළහොත්, මානව පාලනයෙන් ඔබ්බට ගිය දීර්ඝකාලීන බලපෑම් සමස්ත ග්‍රහලෝකයටම ඇති විය හැකිය. තාක්ෂණය සහ වෙළඳපොළ සහජයෙන්ම ගැටලුවක් නොවේ; ඒ වෙනුවට, ගැටලුව පවතින්නේ ඒවා මෙහෙයවන අරමුණු තුළ ය. අසීමිත වර්ධනය සහ පරිභෝජනය තුළින් යහපැවැත්ම ඉහළ යන බවට විශ්වාසය ප්‍රවර්ධනය කරන තාක්ෂණික-වෙළඳපොළ ලෝක දැක්ම, දැඩි ආර්ථික අසමානතාවයට සහ නිතර සිදුවන ආන්තික කාලගුණික සිදුවීම් සඳහා දායක වී ඇත.
ලාභය මත පදනම් වූ ගෝලීය ආර්ථිකයේ ඝාතීය ව්‍යාප්තිය සහ සදාචාරය, දයාව, ත්‍යාගශීලීභාවය හා ප්‍රඥාව තහවුරු කිරීමට අවශ්‍ය මානව විඥානයේ ඉතා මන්දගාමී පරිණාමය අතර පවතින ගැඹුරු නොගැලපීම දේශගුණික අර්බුදය මඟින් පිළිබිඹු කරයි.
ඩිට්වා සුළි කුණාටුව ආසන්නයේ තිබියදී එනම්, 2025 නොවැම්බර් 14 වන දින සම්මත කරන ලද ශ්‍රී ලංකාවේ 2025-26 අයවැය මඟින්, රට තුළ AI දත්ත මධ්‍යස්ථාන පිහිටුවන සමාගම් සඳහා සහනදායී ඉඩම් සහ විදුලිය ලබා දීමට පොරොන්දු විය. ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී මෙසේ පැවසීය: “අපි මේ තරම් අඩු මිලට ඉඩම් දෙන්නේ ඇයි කියලා ප්‍රශ්න කරන්න එපා; අපට මේ කැපකිරීම් කරන්න වෙනවා.”
එහෙත් ශ්‍රී ලංකාව යනු දැඩි ජල හිඟයකින් පීඩා විඳින රටකි. AI දත්ත මධ්‍යස්ථාන මඟින් විශාල ජලය සහ විදුලිය ප්‍රමාණයක් පරිභෝජනය කරන බවත්, එය හරිතාගාර වායු විමෝචනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බවත් ජාත්‍යන්තර පර්යේෂණ රැසක් විසින් පෙන්වා දෙයි.
පටු, තරඟකාරී තාක්ෂණික-වෙළඳපොළ ප්‍රවේශයේ අසාර්ථකත්වය මඟින් පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලංකාවට සහ ලෝකයට මෙම පැවැත්ම පිළිබඳ අර්බුදයේ ගැඹුරු මූලයන් ආමන්ත්‍රණය කිරීමට හැකි පාරිසරික සහ සාමූහික රාමුවක අවශ්‍යතාවයි.
පාරිසරික සහ මානව ආරක්ෂාව
මනුෂ්‍යත්වය යනු පෘථිවියේ කොටසක් මිස ඉන් වෙන් වූවක් නොවන බව පිළිගැනීම පාරිසරික විඥානය මඟින් ඉල්ලා සිටියි. අසීමිත වර්ධනය සහ තාක්ෂණික ආධිපත්‍යය අගය කරන ලෝක දැක්මකට වඩා, දේශගුණික විපර්යාස ආමන්ත්‍රණය කරන ප්‍රතිපත්ති මෙම අවබෝධය මත පදනම් විය යුතුය.
මිනිසා විසින් නිර්මාණය කරන ලද පද්ධතිවලට වඩා සොබාදහමට මූලිකත්වය හිමි වේ: ස්වාභාවික ලෝකය මනුෂ්‍යත්වය මත රඳා නොපවතී. එහෙත් පස, ජලය, වාතය, හිරු එළිය සහ පෘථිවියේ අත්‍යවශ්‍ය ජීව ආධාරක පද්ධති නොමැතිව මනුෂ්‍යත්වයට පැවතිය නොහැක.
අද වන විට දේශගුණික වින්දිතයෙකු වුවද, ශ්‍රී ලංකාව යනු ක්‍රි.පූ. 3 වන සියවසේ මහින්ද හිමියන්ගේ පැමිණීම දක්වා අතීතයට දිවෙන පෞරාණික පාරිසරික ශිෂ්ටාචාරයකට උරුමකම් කියන රටකි. මිහින්තලයේ දඩයමේ ගිය දේවානම්පියතිස්ස රජතුමා මුණගැසුණු අවස්ථාවේදී, පාරිසරික අන්තර් රඳා පැවැත්ම සහ සොබාදහම ආරක්ෂා කිරීමට පාලකයන්ට ඇති වගකීම පිළිබඳ පැරණිතම ඉගැන්වීමක් මහින්ද හිමියන් විසින් දේශනා කරන ලදී:
“මහ රජ, මේ අහසේ පියාසර කරන පක්ෂීන්ට ද, වනයේ සැරිසරන සතුන්ට ද ඔබ මෙන්ම මේ පොළොවේ ඕනෑම තැනක ජීවත් වීමට හා සැරිසැරීමට අයිතියක් ඇත. මේ භූමිය අයිති වන්නේ ජනතාවට සහ සියලු ජීවීන්ට ය; ඔබ එහි භාරකරුවා පමණි.”
රජතුමා සතුන් මැරීම සහ ගස් විනාශ කිරීම තහනම් කළ බව මිහින්තලයේ සෙල් ලිපියක සඳහන් වේ. මිහින්තලය වනජීවී අභයභූමිය ලොව පළමු අභයභූමිය ලෙස සැලකේ.
සහස්‍රයකට වැඩි කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ශ්‍රී ලංකාවේ පෞරාණික වියළි කලාපීය වාරි පද්ධතිය තිරසාර සංවර්ධනයේ විශිෂ්ට නිර්මාණයකි. එකිනෙකට සම්බන්ධ වූ ජලාශ, ඇළ මාර්ග සහ සොරොව් ජාලය මඟින් මෝසම් ජලය රැස් කර, කුඹුරු අස්වැද්දූ අතර, ගංවතුර පාලනය කිරීමටත්, ආරක්ෂක බාධකයක් ලෙස ක්‍රියා කිරීමටත් සමත් විය.
අතීතයේදී ගංවතුර ඇති වුවද, වර්තමානයේ සිදුවන ව්‍යසනවල පරිමාණය, බරපතලකම හෝ සංඛ්‍යාතය සමඟ සැසඳිය හැකි ව්‍යසනයන් ඓතිහාසික වාර්තාවල දක්නට නොලැබේ. ජලාශ ඉදිකළ පරාක්‍රමබාහු රජතුමා ඇතුළු පැරණි පාලකයෝ සහ ගොවීන් පරම්පරා ගණනාවක් පුරා විශිෂ්ට හික්මීමකින් සහ පාරිසරික ප්‍රඥාවකින් යුතුව තම පරිසරය කළමනාකරණය කළහ.
ඩිට්වා සුළි කුණාටුව අතරතුර පුළුල් විදුලි බිඳවැටීම් සහ සන්නිවේදන ජාල බිඳවැටීම් සිදු වූ විට, පැවැත්ම සඳහා එකිනෙකා මත රඳා සිටීමට මිනිසුන්ට සිදු වීමත් සමඟ සොබාදහමේ මූලිකත්වය විශේෂයෙන් පැහැදිලි විය. මෙම ව්‍යසනය සියලු ප්‍රජාවන් අතර ස්වයංසිද්ධ දයාව සහ සහයෝගීතාව ඇති කළේය. ඊට ස්ත්‍රී පුරුෂ, පොහොසත් දුප්පත්, බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් සහ හින්දු යන සියල්ලන් ඇතුළත් විය.
විපතට පත් වූවන් බේරා ගැනීම, නවාතැන් දීම, පෝෂණය කිරීම සහ මානසික සහාය ලබා දීම සඳහා දේශීය හා ජාත්‍යන්තර ප්‍රයත්නයන් ක්‍රියාත්මක විය. විධිමත් හදිසි ආපදා පද්ධතිවල පවතින අඩුපාඩු පුරවමින්, රැකවරණය සහ සහයෝගීතාව සඳහා වන ගැඹුරු මානව සහජ බුද්ධිය මෙම ක්‍රියාවන් මඟින් පෙන්නුම් කෙරුණි.
එහෙත් ස්වයංසිද්ධ සහයෝගීතාව පමණක් ප්‍රමාණවත් නොවේ. ශ්‍රී ලංකාවට තිරසාර සංවර්ධනය, පාරිසරික ආරක්ෂාව සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ ප්‍රතිපත්ති කඩිනමින් අවශ්‍ය වේ. ඉදිකිරීම් සඳහා විද්‍යාත්මක පදනමක් සහිත දැඩි නියාමනයක්, වනාන්තර සහ තෙත්බිම් ආරක්ෂා කිරීම, ජලාශ නිසි ලෙස නඩත්තු කිරීම සහ දේශගුණයට ඔරොත්තු දෙන යටිතල පහසුකම් ඊට ඇතුළත් ය.
ඉතිහාසය විෂය ඉවත් කිරීමට සැලසුම් කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ලිංගිකත්වය පිළිබඳ ආන්දෝලනාත්මක විෂය කොටස් හඳුන්වා දීම වැනි මතභේදාත්මක හා බෙදීම් ඇති කරන විෂයමාලා වෙනස් කිරීම් වෙනුවට, පාසල් තුළින් සමගිය සහ සහයෝගීතාව ගොඩනඟන පාරිසරික සාක්ෂරතාව ඉගැන්විය යුතුය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ජාත්‍යන්තර ණය හිමියන් – විශේෂයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 13ක් වටිනා ශ්‍රී ලංකාවේ විශාලතම ස්වෛරීත්ව බැඳුම්කර හිමියා වන බ්ලැක්රොක් (BlackRock) – රට විඳින දුක් වේදනා ගැන අවංකවම සැලකිලිමත් වන්නේ නම්, ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණයවලින් කොටසක් හෝ අවලංගු කර එහි යළි ගොඩනැගීමේ ප්‍රයත්නයන්ට සහාය විය නොහැකි ද?
ශ්‍රී ලංකාව සහ ලෝකය මුහුණ දෙන දේශගුණික හදිසි අවස්ථාව සහ පුළුල් පැවැත්මේ අර්බුදය විසඳීම සඳහා අවසාන වශයෙන් සදාචාරය, දයාව, ත්‍යාගශීලීභාවය සහ ප්‍රඥාව මඟින් මෙහෙයවනු ලබන මානව විඥානයේ පරිණාමයක් අවශ්‍ය වේ.
ආචාර්ය අසෝකා බණ්ඩාරගේ, “Colonialism in Sri Lanka: The Political Economy of the Kandyan Highlands, 1833-1886”, “Women, Population and Global Crisis: A Politico-Economic Analysis”, “The Separatist Conflict in Sri Lanka: Terrorism, Ethnicity, Political Economy”, “Sustainability and Well-Being: The Middle Path to Environment, Society and the Economy” සහ “Crisis in Sri Lanka and the World: Colonial and Neoliberal Origins, Ecological and Collective Alternatives” ඇතුළු ප්‍රකාශන රැසක කතුවරියයි. ඇය Interfaith Moral Action on Climate සහ Critical Asian Studies හි උපදේශක මණ්ඩලවල සේවය කරයි.
මෙය වෙළඳ අරමුණුවලින් තොරව, හුදෙක්ම ලාංකික ජනයා අතර බුද්ධිමය සංවාදය පෝෂණය කිරීමේ අරමුණින් යුතුව පරිවර්තනය කර පළ කරන ලද බව කරුණාවෙන් සලකන්න.









