රොහාන් සමරජීව
සමාජ මාධ්‍ය යනු “මහජන මතයේ” දර්ශකයක් ලෙස සැලකිය හැකිය. “මහජන මතය” පෙරළි කොමා තුළ යොදා ඇත්තේ ඇත්තේ දර්ශකයක් ලෙස එහි අසම්පූර්ණකම අවධාරණය කිරීමටය. සමාජ මාධ්‍යවල වැඩි ඉඩක් ඇත්තේ වඩාත් තියුණු හා ආන්තික හඬවල් සඳහාය. එහෙත්, එය නොසලකා හැරිය නොහැකි දර්ශකයකි.
ජනාධිපති වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියා පටිපාටියේ පැවති දෝෂ පෙන්වා දීම ජනප්‍රිය ක්‍රියාවක් නොවන බව මම දැන සිටියෙමි. එහෙත්, 2006දී සිදු වූ බවට චෝදනා එල්ල වී ඇති පහරදීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා රිමාන්ඩ් භාරයට පත් කර ඇති බවට වූ පුවතක් මා නැවත පළ කළ විට ප්‍රතිචාර වෙනස් මානයකට ළඟා විය. සමාජ මාධ්‍ය මොබ් කල්ලි එක් වී, පෙර මා සිටි උස් තැනකින් පහතට ඇද වැටී තිබීම ගැන ව්‍යාජ අප්රසාදයන් ප්‍රකාශ කරන්නට පටන් ගත්හ.
නීතියේ ආධිපත්‍යය
අවස්ථා දෙකේදීම, මගේ ක්‍රියාවන් අර්ථ දක්වනු ලැබුවේ රිමාන්ඩ් සිරකරුට සහාය දැක්වූ කාර්යයන් ලෙසයි. ඔවුන් තේරුම් ගන්නා පරිදි, චෝදනාවේ සාරය සම්බන්ධයෙන් ස්ථාවරයක් නොගෙන අසාධාරණ ක්‍රියා පටිපාටියකට විරුද්ධ විය නොහැකිය. “සුවිශේෂී තත්වයන්” වාර්තා කිරීමෙන් පසුව පමණක් මහේස්ත්රාත්වරයාට ඇප ලබා දිය හැකි චෝදනා මත සිකුරාදා දහවල් ජනාධිපති වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම දේශපාලනික උවමනාවන් මත කළ දෙයක් බව පෙනිණි. ඒ බව ප්‍රකාශ කිරීමෙන්, හිටපු ජනාධිපතිවරුන් වගවිය යුතු තත්වයට පත් කළ යුතුද යන්න හෝ 2023දී සිදු කරන ලද වියදම් යුක්ති සහගතද යන්න පිළිබඳ ස්ථාවරයක් ප්‍රකාශ නොවේ. සිදුවීමෙන් වසර 19කට පසු නිෂ්ඵල හේතු මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු රිමාන්ඩ් භාරයට පත් කිරීම ප්‍රශ්න කිරීම යනු ඔහුට චරිත සහතිකයක් ලිවීම නොවේ.
යමෙකු නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් කැපවන්නේ නම්, මා කරන්නාක් මෙන්, දේශපාලන බලධාරීන්ගේ මෙන්ම දේශපාලන විනිසුරුවන්ගේ පවා ක්‍රියා පටිපාටික වැරදි හෙළා දැකිය යුතුය. ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ජනාධිපතිවරයාගේ විශ්වාසවන්ත ආර්ථික උපදේශකවරයෙකු ලෙස සිටි සමයේදී මෙන්ම 1998-99 සමයේ මා විදුලි සංදේශ අධ්යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ කාලය තුළදී ද මට ඔහු සමඟ බොහෝ මතභේද තිබුණි. එහෙත්, ඒ මතභේද හේතුවෙන්, සරත් නන්ද සිල්වා අගවිනිසුරුවරයාව සිටි සමයේදී ජයසුන්දරට එරෙහිව දුන් අසාධාරණ තීන්දුව පිළිබඳ මා ප්‍රසිද්ධියේ කතා කිරීමෙන් සහ ලිවීමෙන් වැළකී සිටියේ නැත. ඔහු ඉදිරිපත් කළ ගැටලු සහගත ප්‍රතිපත්ති පිළිබඳ සෘජු අත්දැකීම් මට තිබිණි. එහෙත්, අගවිනිසුරුවරයෙකුගේ අත්තනෝමතික හා චපල තීන්දුවලින් ඔහුව ආරක්ෂා නොකර සිටීමට එය හේතුවක් වූයේ නැත.
නිමල් ලන්සාට අදාළ පහරදීම හෝ ඔහුට චෝදනා එල්ල වන වෙනත් කිසිදු අකටයුත්තක් සම්බන්ධයෙන් නිමල් ලන්සාගේ වරදකාරිත්වය හෝ නිර්දෝෂීභාවය පිළිබඳ කිසිදු සාක්ෂියක් මා සතුව නොමැත. එහෙත්, විමර්ශන පවත්වන සහ නඩු පවරන ආකාරය අතිශය දේශපාලනීකරණය වී තිබෙන අන්දම සැලකිල්ලට ගත් විට, සිදුවීමෙන් වසර 19කට පසු ලන්සා අත්අඩංගුවට ගැනීම සාමාන්‍ය තත්වයක් ලෙස පෙනෙන්නේ නැත.
මගේ මතකය පරිදි, මිනීමැරුම් සහ රාජද්‍රෝහීත්වය හැර වෙනත් අපරාධ චෝදනා සම්බන්ධයෙන් වසර 20කට පසු නඩු පැවරිය නොහැකිය. එකී සීමාවට ළඟා වීමට මාස කිහිපයකට පෙර ලන්සාගේ නඩුව විභාගයට ගැනීම, තවත් එවැනි අක්‍රිය නඩු ද ඒ හා සමානව පවරන සංදර්භයක් තුළ නම් යුක්ති සහගත යයි කිව හැකිය. එසේ නොමැති නම්, මෙය ද නඩු පවරන්නන්ගේ අභිමතය අනිසි ලෙස භාවිතා කිරීමක් බවට සාධාරණ තර්කයක් මතු කළ හැකිය.
මේ අතර, ඔහුව රිමාන්ඩ් කරන්නේ ඇයි? රිමාන්ඩ් කිරීමේ අරමුණ වන්නේ විත්තිකරු නඩු විභාගවලට සහභාගී වන බව සහ විමර්ශනයට බාධා නොකරන බව සහතික කිරීමයි. ඔවුන් තවමත් අවුරුදු 19කට පෙර සිදු වූ පහරදීමක් පිළිබඳව විමර්ශනය කරනවාද? නඩුව නැවත පණ ගැන්වූයේ සාක්ෂි නොමැතිවද? මෙය රිමාන්ඩ් කිරීම දඬුවමක් ලෙස භාවිතා කිරීමේ තවත් අවස්ථාවක්ද?
මානසිකත්වය පිළිබඳ ගැටලුව
අපේ නූතන බාහිර පෙනුම යට සැඟවී සිටින්නේ 17වන සියවසේ උඩරට ගැමියකු බව මට සැමවිටම හැඟේ. අපි නීතියේ ආධිපත්‍යය සහ අනෙකුත් යහපත් දේ අගය නොකරමු. රජු තම යටත්වැසියෙකුට දඬුවම් කිරීමට තීරණය කළහොත්, අපි එය අවිවාදයෙන්ම පිළිගනිමු. එය අප අකමැති පුද්ගලයෙකුට එරෙහිව නම්, අප ඔල්වරසන් දෙනු ඇත.
අපරාධ කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය ඉතා කණගාටුදායකය. ඔවුන් විසින් සැකකරුවන් වරදකරුවන් බව ඔප්පු කිරීමේ අනුපාතය සියයට 4-6 පමණ වේ. ඊට අමතරව, අධිකරණ අතිශයින් මන්දගාමීය. මෙය නඩු පවරන්නන් විසින් දඬුවම ලෙස රිමාන්ඩ් බන්ධනාගාරය භාවිතා කරන තත්වයකට හේතු වී තිබේ. හැකි සෑම විටම, ICCPR පනත හෝ පොදු දේපළවලට එරෙහි වැරදි පනත වැනි ඇප ලබා දීම සීමා කරන විධිවිධාන යටතේ ඔවුන් පුද්ගලයින්ට චෝදනා එල්ල කරන්නේ ඒ නිසාය. ‘ඇප දීම නීතියයි; රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම යනු ව්‍යතිරේඛයයි’ යන මූලධර්මය. උල්ලංඝනය කෙරෙමින් තිබේ.
ලංකාවේ බන්ධනාගාර අධික තදබදයකින් යුත් නරකාදි වැනි තැන්ය යන කරුණ පවා වරදකරුවන් නොවන බවට අනුමාන කරන පුරවැසියන් ඒවාට තල්ලු කර දැමීමෙන් වැළකීමට හේතුවක් නොවන බව පෙනේ. සිරකරුවන්ගෙන් සියයට 70කට ආසන්න ප්‍රමාණයක් පූර්ව නඩු විභාග රැඳවියන් වේ.
පුද්ගලයන් අධික ලෙස රිමාන්ඩ් භාරයේ තැබීමේ භාවිතාව සහ බොහෝ දෙනෙකු රිමාන්ඩ් තීරණවලට දක්වන සතුට මා තේරුම් ගන්නේ උඩරට ගැමියාගේ මානසිකත්වය හරහාය. නීතිය අනුගමනය කරමින් සහ නීතිඥයින්ගේ සහ ඇපකරුවන්ගේ සහාය ඇතිව, රිමාන්ඩ් භාරයේ සිටි අය ඇප මත නිදහස් වූ විට, එයට දක්වන ප්‍රතිචාරය ද නිදොස් කොට නිදහස් කිරීමට දක්වන ප්‍රතිචාරයට වඩා ඇත්තේ සුළු වෙනසකි. බොහෝ ජනයාගේ සහ ජනමාධ්‍යවල මනස හැඩගැසී තිබෙන්නේ රිමාන්ඩ් කිරීම දඬුවමක් ලෙස සලකන්නටය. ඒ අන්දමින්ම, ඇප මත නිදහස් වීම යනු නිදොස් කොට නිදහස් කිරීමක් ලෙස ද සැලකේ.
ඇප දීම නීතිය ලෙසත්, රිමාන්ඩ් කිරීම ව්‍යතිරේඛය ලෙසත් සලකන මූලධර්මයට විනිසුරුවරුන් අනුගත විය යුතු බව ඇතැමෙක් පවසති. තවත් සමහරු දේශපාලන බලපෑමෙන් තොර ස්වාධීන අභිචෝදක කාර්යාලයක් කෙරෙහි බලාපොරොත්තු තබාගෙන සිටිති. අපගේ උඩරට ගැමි මානසිකත්වය අනුව මේ දෙකම සිදුවීමට ඉඩක් නැත. වැඩි වැඩියෙන් මිනිසුන් ජනාකීර්ණ බන්ධනාගාරවලට ඇද දැමීමේ අමානුෂික හා මිල අධික පුරුද්දට විකල්පයක් ලෙස විද්‍යුත් නිරීක්ෂණ හඳුන්වාදීමට පක්ෂව කතා කිරීමට මා පටන් ගෙන ඇත්තේ ඒ නිසාය.