වැඩිහිටි ජනගහනය ඉහළ යාමේ අර්බුදයට මුහුණ දීමට අපි සූදානම් ද?
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හරි අඩක්ම වයස අවුරුදු 35ට වැඩි අය වෙති. රටේ ජනගහනය වයස අනුව හරි මැදින් බෙදූ විට ලැබෙන වයස් සීමාව හෙවත් මෙරට ‘මධ්‍යස්ථ වයස’ (median age) 2000 වසරේදී අවුරුදු 27ක් වූ අතර, 2012 වසරේදී එය අවුරුදු 31ක් දක්වා ඉහළ ගියේය. 2024 ජන සංගණනයට අනුව, අපේ රටේ ජනතාවගෙන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට ආසන්න පිරිසක් වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියෝ වෙති. කුමන තත්ත්වයක් යටතේ වුව, 2040 වසර වන විට රටේ ජනගහනයෙන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 60ට වැඩි වන මට්ටමට මෙම අනුපාතය ඉහළ යනු ඇත. ජපානය (මධ්‍යස්ථ වයස අවුරුදු 50.21) හෝ දකුණු කොරියාව (මධ්‍යස්ථ වයස අවුරුදු 46.8) වැනි රටවල් තරම් අපගේ තත්ත්වය තවමත් බරපතළ මට්ටමක නැත. එම රටවල ජනතාව මෙන්ම ශ්‍රී ලාංකිකයෝ ද දිගු කාලයක් ජීවත් වෙති. අද වන විට මෙරට කාන්තාවකගේ උපතේදී අපේක්ෂිත සාමාන්‍ය ආයු කාලය අවුරුදු 80ක් වන අතර, පිරිමියෙකුගේ අපේක්ෂිත සාමාන්‍ය ආයු කාලය අවුරුදු 76කි. එහෙත්, වයස්ගත ජනගහනයක අවශ්‍යතා සපුරා ලීම සඳහා ජපානය සහ දකුණු කොරියාව වැනි රටවලට වඩාත් හොඳ සූදානමක් හා ශක්තියක් තිබේ. එම රටවල් තම ජනතාව වියපත් වීමට පෙර ආර්ථික වශයෙන් ධනවත් විය. ඔවුහු තම ‘ජනවිකාස වාසිය’ (demographic dividend) නිසි ලෙස ප්‍රයෝජනයට ගත්හ. ජනවිකාස වාසිය යනු රටක වැඩ කළ හැකි තරුණ හා වැඩිහිටි ශ්‍රම බළකාය ඉහළම මට්ටමක පවතින කාලසීමාව තුළ ලබා ගත හැකි ආර්ථික වාසියයි. එහෙත්, ආර්ථික අවස්ථා හිරකල රාජ්‍ය කේන්ද්‍රීය ප්‍රතිපත්ති සහ තරුණ කැරලි කෝලාහල හමුවේ හිමි වූ එම වටිනා අවස්ථාව අපි නාස්ති කර ගත්තෙමු.Continue Reading











