විජය කුමාරතුංගට වෙඩි තැබූ බව කියන ලයනල් රණසිංහ පිළිබඳ මතකය

විජය කුමාරතුංග ඝාතනය කළ බවට සැක කරන ලයනල් රණසිංහ මට හමු වී තිබේ.
මා ඔහු මුලින් ම දුටුවේ කලුතර හා ගාලු දිස්ත්‍රික් මායිමේ යට්ටපාත පැවැත්වුණු ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන කඳවුරකදී ය. මා ද ඔහු ද එයට සහභාගි වූ හත් අට දෙනා අතර සිටියෙමු. එම අධ්‍යාපන කඳවුර සංවිධානය කළේ හා එය අවසන් පංතිය ද කරමින් එය විසුරුවා හරින සමාප්ති වැඩසටහන පැවැත්වූයේ එවකට ජවිපෙ කලුතර දිස්ත්‍රික් කමිටු සාමාජිකයකු වූ ටිල්වින් සිල්වා හෙවත් සුසිල් අයියා ය.
ලයනල් රණසිංහ සටන්කාමී චරිතයකි. භක්තිමත් පක්ෂ සාමාජිකයෙකි. අධ්‍යාපන කඳවුරේදී පවා ඔහු තුළින් ප්‍රකට වූයේ දැනුම හඹා යන්නකුට වඩා සටන්කාමියකුගේ ලක්ෂණයි. කෙසඟ උස් සිරුරක් හිමි තරුණයකු වූ ඔහු කඩිසර ජව සම්පන්න පුද්ගලයකු විය.
එම අධ්‍යාපන කඳවුරෙන් පසු අධ්‍යාපනය අත්හැර දැමූ මම ජවිපෙ පූර්ණකාලිකයකු වීමි. මුලින් ම මට පැවරුණේ හොරණ ප්‍රදේශයේ ශිෂ්‍ය අංශය සංවිධානය කිරීමයි. ඒ දිනවල මා හොරණ සැරිසරන විට මට ලයනල් රණසිංහ නිතර හමු විය. ඔහු නගරයේ ප්‍රධාන වීදියේ වික්ටෝරියා බාර් එක ඉදිරිපිට රටකජු ලෑල්ලක් පවත්වාගෙන ගියේ ය. පක්ෂයේ අය එකිනෙකාට පණිවුඩ තැබුවේ ඔහු ළඟ ය.
ඒ වන විට ජවිපෙ සන්නද්ධ අංශයක් ගොඩනගාගෙන තිබුණු බවත්, ලයනල් ද එහි ක්‍රියාකාරිකයකු බවත් දේශපාලන අංශයේ ක්‍රියාකාරිකයන් වූ අපි ටිකෙන් ටික දැනගත්තෙමු. පසු කලෙක ලයනල් කලුතර දිස්ත්‍රික්කයේ සන්නද්ධ අංශයේ ක්‍රියාකාරිකයෙකු විය. සන්නද්ධ ප්‍රහාර රැසකට තුවක්කුකරුවකු ලෙස සහභාගි වූ ඔහු පසුව කොළඹ දිස්ත්‍රික්කයට මාරු කරන ලදී. කලාතුරකින් දිනෙක ඔහු නවාතැන් ගත් නිවසකදී මට ඔහු හමු වී තිබේ. අප අතර සංවිධාන සම්බන්ධයක් තිබුණේ නැත.
ලයනල්ගේ නිවස පිහිටියේ හොරණ උදාගමක ය. ඔහුගේ මුළු පවුල ම බැතිමත් ජවිපෙ සාමාජිකයන් ලෙස සැලකිය හැකි ය. ජවිපෙ දුෂ්කර සමයේ එම නිවස ජවිපෙ සාමාජිකයන්ට බත් වේලක්, තේ කෝප්පයක් හා රාත්‍රිය නිදාගැනීමට නවාතැනක් පමණක් නොව පක්ෂ කමිටු රැස්වීම් ආදියට ද ස්ථානයකි. ලයනල්ගේ මව ඇගේ දරුවන්ට සේ ම පක්ෂයේ සෙසු ක්‍රියාකාරිකයන්ට ද ආදරය කළා ය.
ලයනල්ගේ වැඩිමල් සොයුරකු හොරණ කුළුපන ප්‍රදේශයේ පදිංචිව සිටියේ ය. විවාහකයකු වූ ඔහු ජීවිතය ගැට ගසා ගත්තේ ලීයෙන් වෙස් මුහුණු කැපීමෙනි. එම දිළිඳු නිවස ද පක්ෂයේ ඕනෑම කටයුත්තකට විවෘත තැනක් විය.
ලයනල්ගේ නැගණියක ද පක්ෂයේ පූර්ණකාලීනව කාන්තා අංශයේ වැඩ කළා ය. ඇය පසු කලෙක පක්ෂයේ ම දිස්ත්‍රික් කමිටු නායකයකු සමග විවාපත් වූ බව දැනගන්නට ලැබිණි.
ලයනල් අත්අඩංගුවට පත් වූ පසු ඔහු තමන් සම්බන්ධ සන්නද්ධ කටයුතු සම්බන්ධයෙන් හෙළිදරව් කළ බව වාර්තා වේ. එහෙත්, ඔහු වෙනත් කිසිවකු පාවා දුන් බවක්න්නේ වාර්තා වන්නේ නැත. හමුදාව හෝ පොලිසිය හෝ විසින් ඔහු මරා දමන්නට ඇත. ඒ සමග ම ඔහු සම්බන්ධ එකී සන්නද්ධ ප්‍රහාරවල සාක්ෂි ද විනාශ විය.
ලයනල් රණසිංහ කුලී මිනීමරුවකු නොවේ. ඔහු ජවිපෙ භක්තිමත් ක්‍රියාධරයෙකි. ඔහු විසින් ක්‍රියාත්මක කරනු ලැබූ බව කියන කිසිදු ප්‍රහාරයක් ඔහුගේ පෞද්ගලික තීරණ නොවේ. එහෙත්, ඔහු ඒ කිසිවකට වරදකරුවකු කරනු ලැබුවේ නැත. එහෙයින් ලංකාවේ නීතිය ඉදිරියේ ලයනල් රණසිංහ අදත් නිර්දෝෂී පුද්ගලයෙකි.
පසු කලෙක ඔහු පිළිබඳ සඳහන් වූ කිසියම් විමර්ශන කොමිෂමක් ඉදිරියේ ලයනල්ගේ මව “යකෙකු වුණත් ඒ මගේ පුතා. මගේ පුතා මරා දාන්න ඔබලාට අයිතියක් නැහැ,” යි පැවසුවා ය.
අජිත් පැරකුම් ජයසිංහ
අරුත්බර, රසවත් තොරතුරු නිරතුරු දැනගන්න අපේ සමාජ මාධ්‍ය පිටු එක්ක එක් වන්න.
මිනී මරුවෙකුට මම අණ පිළිපැද්දා විතරයි කියා බේරෙන්න බැහැ. ඒ නිසා නිර්දෝශී වෙන්නෙත් නැහැ. මිනීමරු තීරණ ක්‍රියාත්මක කිරීමත් මිනීමරු වැඩක්.
විප්ලවීය දේශපාලනයෙදි, යුද්ධවලදි සතුරන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සිදු වෙන විදිය තමයි මේ. ඒවා මිනීමැරුම් වුණාට ඒ සංදර්භය තුළදි හැඳින්වෙන්නෙ ප්‍රහාර කියලායි. ඒකට පිටින් මානව හිමිකම් සංදර්භයකදි ඒවා ඝාතන බවට පත් වෙනවා. රජය විසින් මරණ දඬුවම නියම කළත් ඒකත් ඝාතනයක් තමයි. එතනදි එක්සෙකියුෂනර්ලාට වුණත් මේ කාරණය අදාළ වෙනවා.
මානව හිමිකම් කියන්නෙ කිසියම් පරමාදර්ශී තත්වයක්. ඒ පරමාදර්ශී තත්වය වෙනුවෙන් අරගලය දිගට ම පවත්වාගෙන යන්නට ඕනැ. හැබැයි, ලෝකයේ වෙනස්කම් ඇති වෙන්නේ මානව හිමිකම් එක්ක ඇති වන ගැටුම් ඔස්සේ තමයි. උදාහරණයක් විදියට ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් සුසමාදර්ශීය වෙනසක් සිදු විය හැකි වුණේ කොයි පැත්තකින් හෝ කරනු ලබන බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් හරහායි. මානව හිමිකම් පැත්තෙන් නම් ප්‍රවර්ධනය කළ හැකිව තිබුණේ සම්මුතියකට පැමිණීමයි. එය සිදු නොවිය හැකි තත්වයක් තුළ යුද්ධය අනිවාර්ය වුණා.
පැරාව ජවිපෙ දේශපාලනය දෙසට නම් මා ගත්තේ, ඒ කියන්නේ කොක්ක ගැහුවේ, කවුද? ටිල්වින් සිල්වා ද?
මට ඇත්තටම කවුරුවත් කොක්ක ගැහුවෙ නැහැ. මං ම හොයාගෙන ගිහින් ජවිපෙට සම්බන්ධ වුණා. මට විප්ලවය ගැන ඒ කාලෙ තිබුණු විශ්වාසයත්, තරුණ කාලෙ ත්‍රාසජනක අත්දැකීම් ලබන්න තිබුණු ආසාවත් ඒකට හේතු වෙන්න ඇති. මම පූර්ණකාලිකයකු වෙනකොටත් ටිල්වින් කලුතර දිස්ත්‍රික් කමිටුවේ සාමාජිකයෙක්. පස්සෙ දිස්ත්‍රික් ලේකම් විදියට වැඩ බලද්දි තමයි වාද්දුව කෑම්ප් එකට පහර දෙන්නට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුණේ.
I remember, JVP declared that this person is not a member of the JVP. How did it happen? What was the reason behind? It was so pathetic to see that only his mom has declared “He is my son even if the society regards as a devil”. Let me question ourselves, “Who were the architect of this devil?”