අයිඑස්, ඕස්ට්‍රේලියාව, නිශාම්දීන් සහ කවාජා සිද්ධිය

ශ්‍රී ලංකාවේ ඇතැම් මුස්ලිම් තරුණයන් අයිඑස් ඉස්ලාමීය ත්‍රස්තවාදය සමග සම්බන්ධ බව දැන් මුළු ලොව ම දනී. විදේශ රටවල ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධ අය පිළිබඳ දැන සිටි බව ද අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකාවේ නීති නැති බව ද අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. මෙකී කාරණා මැද පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ සිදු වූ ශ්‍රී ලාංකික තරුණයකු සම්බන්ධ සිද්ධියක් සිහිපත් විය.

ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල්, හිටපු විදේශ ඇමැතිනි ජුලියා බිෂොප් සහ ලිබරල් පක්‍ෂ නායකයකු වූ බ්‍රොන්වින් බිෂොප් ඝාතනය කිරීමට ද සිඩ්නි ඔපරා හවුස්, දුම්රිය ස්ථාන ආදියට පහර දීමට ද සැලසුම් කළ බවට සැක පිට ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත මර්දන අංශ විසින් 2018 අගෝස්තුවේදී එවකට ඇමති ෆයිසර් මුස්තාෆාගේ සමීප ඥාති පුත්‍රයකු බව කියන මොහොමඩ් කමර් නිලාම් නිශාම්දීන් නමැත්තකු අත්අඩංගුවට ගන්නා ලදී.

(Article continued after the advertisement)
Media and Social Entrepreneur

එවකට 25 හැවිරිදි මෙම තරුණයා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි සිසුවකු විය. ඔහු එම ආයතනයේ ම රැකියාවක් ද කළ බව වාර්තා විය. ශ්‍රී ලංකාවේ ඉහළම පෙළේ පෞද්ගලික පාසලකින් හා ජාත්‍යන්තර පාසලකින් අධ්‍යාපනය ලද මොහු ලංකා බැංකුවේ නැසීගිය හිටපු සභාපතිවරයකුගේ මුණුබුරෙකු බව ද වාර්තා විය.

මෙම තරුණයා මසක් පමණ හුදකලාව සිරගත කර තබාගැනීමෙන් පසුව නිදහස් කරන ලදී. එහෙත්, ඔහු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත මර්දන පොලිසිය දැඩි ලෙස විමර්ශන කර පැවසුවේ ඔහු අයිඑස් සංවිධානයට සම්බන්ධ බවයි. එසේ වුව ද, ඔහුට එරෙහිව චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි සොයාගැනීමට පොලිසිය අසමත් විය. ඔහුට එරෙහිව ඉදිරිපත් වූ ප්‍රබල ම සාක්ෂිය වූ වැදගත් සටහන් සහිත සටහන් පොතේ අත් අකුරු ඔහුගේ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොතිබිණි. එසේම, ඔහුගේ ලැප්ටොප් හා ජංගම දුරකථනවල අන්තවාදී දෘෂ්ටිවාදයන් පිළිබඳ සාක්ෂි සොයාගත නොහැකි විය.

පහත දැක්වෙන්නේ එම අවස්ථාවේදී නිශාම්දීන්ගේ නිදහස වෙනුවෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වුණ උද්ඝෝෂණයකදී ගන්නා ලද ඡායාරූප කීපයකි. (ඡායාරූප කලම්බු ටුඩේ)

අදාළ සටහන් පොතේ සටහන් තබා නිශාම්දීන් වරදකරු බවට පත් කිරීමට ක්‍රියා කළ බවට සැක පිට නිශාම්දීන්ගේ සේවා ස්ථානය වූ නිව් සවුත්වේල්ස් විශ්වවිද්‍යාලයේ ම වැඩ කළ තවත් පුද්ගලයකු වූ 39 හැවිරිදි අර්සලාන් කවාජා අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයකු වන උස්මාන් කවාජාගේ සොයුරෙකි. කවාජා නිශාම්දීන් සමග ඊර්ෂ්‍යාවෙන් පසු වූ බවට සැක කෙරේ. එයට එක් හේතුවක් වන්නේ කාන්තාවක් සම්බන්ධ ආදර පලහිලව්වකි.

මුලින් ඇප පිට නිදහස් කරන ලද කවාජා පසුව නැවත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ ඔහු සාක්කිකරුවකුට කතා කිරීම නිසා ය.

නිශාම්දීන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි අතර නිව් සවුත් වේල්ස් පොලිසිය ඔහුගෙන් සමාව ඉල්ලී ය.

Sinhala Tamil English Translations and Content Writing