අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk

නේපාල අරගලයේ ජවනිකා අන්තර්ජාලය පුරා දක්නට ලැබෙනවා. ඒවා බොහෝ දුරට ශ්‍රී ලංකාවේ 2022 අරගලයේ ජවනිකාවලට සමානයි. බංග්ලාදේශය, නේපාලය වැනි රටවල් ශ්‍රී ලංකාව ලංකාවේ අරගලයෙන් බොහෝ පාඩම් ඉගෙන තිබෙන බව පෙනෙනවා.

අරගලයෙහි ප්‍රධාන සටන් පාඨය දූෂණයට විරුද්ධව මතුවෙන එකක් උනත් ඒ අරගලය ක්ෂණිකව මතුවෙන්නට හේතු වුණේ නේපාල රජය විසින් සමාජ මාධ්‍ය තහනම් කිරීමට ගත් පියවරයි . එමගින් විශාල ප්‍රකෝප කිරීමක් සිදුවී තිබෙන බව දක්නට ලැබෙනවා.

පාලකයන් දූෂිතය යන්න ලොව පුරාම මුල්බැසගත් අදහසක්. එහි කිසියම් සත්‍යතාවකුත් තිබෙනවා. බලය යනු කුමක්ද යන ප්‍රශ්නයත් එක්ක මේ කාරණේ සම්බන්ධයි. බලය දූෂණය ඇති කරන බවත්, අධික බලය විසින් අධික දූෂණය ඇති කරන බවත් කියවෙනවා

ලංකාව වැනි රටවලදී බලය හැමතිස්සේම අවභාවිතාව සහ දුෂණය පැත්තට නැඹුරුයි. ලංකාව වගේ රටවල බටහිර පන්නයේ ප්‍රජාතන්ත්‍රවාදයක් ඒ අන්දමින්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාව අඩුයි. ඒ වුණාට ලෝකයේ පාලන ප්‍රමිති නිර්මාණය වෙලා තිබෙන්නේ බටහිර යහපාලන දැක්මට අනුවයි. ලංකාව වගේ රටවල සමාජය තවමත් බොහෝ දුරටත් රජ කාලයේ අදහස්වලට සමාන අදහස් දරන සමාජයක්. ඔවුන් පාලකයා පිළිබඳ සිතන ආකාරයේ බරපතල පරස්පර විරෝධී ස්වභාවයක් තිබෙනවා. එක පැත්තකින් ඔවුන් පාලකයාගෙන් රජෙකුගේ භූමිකාව බලාපොරොත්තු වන අතරම අනික් පැත්තෙන්ම පාලකයාට වෛර කිරීමකුත් කරනවා. පාලනය පවත්වාගෙන යා හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදයත් මර්දනයත් අතර සංකීර්ණ තුලනයකින්. ඒක හැමෝටම කරන්නට බැහැ. සාමාන්‍ය කාලවලදී වගේ නෙමෙයි අර්බුද කාලවලදී තත්ත්වය තවත් භයානකයි.

මෙම සන්දර්භය තුළ, පාලනය දූෂණය සමග සම්බන්ධ වීම ඓන්ද්‍රිය ලක්ෂණයක්. දූෂණයෙන් මුළුමනින්ම තොරව පාලනය කිරීම කළ හැකි දෙයක්ද යන්න කවුරුවත් අත්හදා බලා නැහැ. ජාතික ජන බලවේග ආණ්ඩුව දූෂණයෙන් තොරයි කියන එකත් ප්‍රබන්ධයක්. ඔවුන් සිය මන්ත්‍රීවරුන්ගේ වැටුප මංකොල්ලකෑමම බරපතළ දූෂණයක්. ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය කාර්ය මණ්ඩලයේ තොරතුරු ලබා දෙන්නට පවා ඔවුන්ට බැරි ඇයි? දුෂණය ඒ මට්ටම දක්වාම පැතිරී තිබීම එයට හේතුවයි. පාලනයකදී එය ස්වභාවිකයි.

වාමාංශික සහ මාක්ස්වාදී කතිකාව විසින් පන්ති වෛරය මත පදනම්ව පාලකයන්ට එරෙහිව දැඩි වෛරී අදහස් ප්‍රකාශ කිරීමක් ඉතිහාසයක් මුළුල්ලේ කරගෙන ගිහින් තිබෙනවා. පාලකයන්ට එරෙහි වෛරය කොයිතරම් සමාජයේ මුල් බැහැගෙන තිබෙනවාද කියනවා නම් පාලකයා යනු වංචනිකයෙක්, දූෂිතයෙක්, මැරයෙක්, කුඩුකාරයෙක්, බඩුකාරයෙක් වැනි අර්ථ නිරූපණයක් සමාජයේ මුල් බැසගෙන තිබෙනවා. එහෙම නොවන අයට පවා ඒ අර්ථකථනයෙන් ගැලවෙන්නට පුළුවන්කමක් නැහැ.

ලංකාවේ 2022 අරගලය සිදුවුණේ මෙම මතවාදයේ ඉහළම තැනදියි. රට බංකොලොත් වී තිබීම පාලකයන්ට එරෙහි වෛරයේ ගින්නට පිදුරු වුණා. රනිල් වික්‍රමසිංහ පාලන බලය අරගෙන ඒ කැරැල්ල මර්දනය කළා. ඒ සමගම, එතෙක් නායකත්වයකින් තොරව ක්‍රියාත්මක වන ඒ ප්‍රචණ්ඩ බලවේගය දිනාගන්නට ජවිපෙ සමත් වුණා. එය එක්තරා විදියකට එම අරාජිකවාදී පාලනය යම් විනයක් තුළට ගැනීමක්.

මෙහිදී ජවිපෙට මුහුණ දෙන්න සිද්ධ වුණේ සංකීර්ණ තත්ත්වයකටයි. මේ දේශපාලනයේ අරුත තේරුම් අරගත්, පාලකයන් ලෙස පංතියක් හෝ පැලැන්තියක් ලෙස සිතන පිරිස ජවිපෙ තුළ ඉතාම අඩුයි. තම බලවේගයට ගැලපෙන විදියට ජවිපෙ නායකයන්ටත් හැසිරෙන්නට සිදුවුණා. ඔවුන්ගේ කතා පැවැත්වීම් ආදිය සිදුවුණේ ඒ අනුවයි. ජවිපෙ බලවේගයට අමතරව අලුතෙන් එකතු වූ, මාලිමාව යනුවෙන් නම් ලද, ඉහත කී ප්‍රචණ්ඩ වගේම අධික උන්නතිකාමී, නොඉවසිලිමත් බලවේගය ද චූන් කරන්නට ජවිපෙට සිදුවුණා. මේ අතර මා නිරීක්ෂණය කළ වැදගත් කාරණයක් වන්නේ 1989 කැරැල්ලේ ක්‍රියාකාරිකයන් වී සිට පසුව විවිධ තැන්වල දේශපාලනිකව හා ආදේශපාලනිකව ස්ථානගත වෙමින් සිටි බලවේගය ජාතික ජන බලවේගය සමඟ නැවත එකතුවීමයි. ජවිපෙ ආණ්ඩුව වර්තමානයේ දී තල්ලු කරන ප්‍රධාන බලවේගයක් බවට පත්වී සිටින ඔවුන් දැඩි වෛරී සහගත, එමෙන්ම දේශපාලනික වශයෙන් ඉතා අඩුවෙන්ම යාවත්කාලීන වූ බලවේගයකි. ප්‍රභූ දේශපාලකයන්ගෙන් පලිගැනීම සඳහා වූ දූෂණ චෝදනා, මත්කුඩු චෝදනා ආදියෙන් වැඩියෙන්ම අමන්දානන්දයට පත් වී සිටින්නේ ඔවුනුයි.

2024 ජනාධිපතිවරණයේදී ලංකාවේ ධනේශ්වර දේශපාලන පක්‍ෂ එකතු වුණා නම් ඔවුන්ට ජයග්‍රහණය කිරීමට හැකියාව තිබුණා. එහෙත්, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් ඉවත් නොවීම හේතු කරගෙන ධනේශ්වර දේශපාලන පක්ෂ අතර සමගියක් ගොඩනගාගන්න නොහැකි වුණා. එතනදි රනිල් වික්‍රමසිංහ ගත් තීරණය අතිශය වැදගත්. ඔහු තීරණය කළේ ‘එක්කෝ මේ මොහොතේ මං පාලනය කරනවා; නැත්නම් අනුරට දෙනවා’ කියායි. අනුර යනු මෙතැනදී තනි පුද්ගලයෙකු නොවේ. ඔහු ඉහත සඳහන් කළ බලවේගයේ නායකයායි. තත්ත්වයන් කළමනාකරණය කිරීමේ හැකියාව තිබුණේ රනිල් හා අනුර යන දෙදෙනාටයි. සජිත් ප්‍රේමදාසට ඒ සඳහා හැකියාවක් නැතුවා පමණක් නොව, ඔහු මෙහි බැරෑරුම්කම තේරුම් ගත් බවකුත් පෙනෙන්නට තිබුණේ නැහැ.

තත්වයේ බැරෑරුම්කම හොඳින්ම වැටහෙන්නේ නේපාල අරගලයත් සමගයි. ලංකාවේ පාලකයන්ද කොයි තරම් අවදානම් තත්ත්වයක සිටිනවාද කියන එක නේපාල අරගලයේ ප්‍රචණ්ඩ ස්වරූපයෙන් පැහැදිලිව දකින්නට ලැබෙනවා. 2024 ජනාධිපතිවරණයේදී අරගල බලවේගය පරාජයට පත්වූවා නම් ඔවුන් තුළ ඇතිවන ඉච්ඡා භංගත්වය දේශපාලන බල ව්‍යාපෘතිවලට පහසුවෙන් පාවිච්චි කරන්නට පුළුවන්කම තිබෙනවා. රනිල් ක්‍රමසිංහ බුද්ධිමත් ලෙස කටයුතු කරමින් තත්වය කළමනාකරණය කිරීමේ යම් හැකියාවක් ඇති නායකයෙකුට රාජ්‍ය පාලනය භාරදීමට කටයුතු කර තිබෙනවා. තත්වය කළමනාකරණය කර ගැනීම දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට භාරයි. එය පහසු වැඩක් නොවේ. එයට ඔහුට පුළුල් සහයෝගයක් අවශ්‍යයි. ඔහුට තිබෙන ලොකුම අභියෝගයක් වන්නේ ඔහුගේම පක්ෂයයි.

අපේ වගේ රටවල්වල සමාජයේ බෙදෙන ආකාරය පොදු ජනතාව, නිලධාරි පැලැන්තිය, පාලක පැලැන්තිය සහ සිවිල් සමාජය ලෙස දළ ආකාරයෙන් දැක්විය හැකියි. පොදු ජනතාව බොහෝ විට වගකීමකින් කටයුතු කරන්නේ නැහැ. ඔවුන් නොඉවසිලිමත් වගේම අධික ලෙස උන්නතිකාමීයි. නිලධාරී පැලැන්තිය සහ සිවිල් සමාජය බොහෝ විට පොදු ජනතාව සමඟින් එකතු වෙනවා. පාලක පැලැන්තියේ තරගකාරීත්වය යටින් දිවෙන සමගියක් මෙතනදී වැදගත් වෙනවා. මතුපිට දේශපාලනයට එහා ගිය, දෘෂ්ටිවාදයන්ගෙන් අන්ධ නොවූ, ප්‍රායෝගික දේශපාලන ක්‍රියාකාරීත්වයක් හා ගැඹුරු විග්‍රහයක් අවශ්‍ය වෙනවා.

වර්තමානයේදී, පාලනය කියන්නේ ගෝලීය සමාජ මාධ්‍ය සමාගම් කිහිපයක අරාජිකවාදී ඇල්ගෝරිදමයන්ට එරෙහි අරගලයක් වෙන්නට පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *