Negambo prison

රොහාන් සමරජීව (Read in English)

මෙය සටහන ලියනු ලැබුවේ ස්නායු වෛද්‍ය විශේෂඥ මහේෂි විජේරත්න සහ ඇගේ දියණියගේ රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු රිමාන්ඩ් කිරීමේ පිළිවෙත් පිළිබඳ මතු වූ ගැටලු පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් මෙහෙයවන වෙබ්නාර් කතිකාවෙන් කෙටි කලකට පසුවය. මේ වන විට හිටපු ජනාධිපති ජනාධිපති වික්‍රමසිංහ ද රිමාන්ඩ් තිරීම සමග ප්‍රශ්නය තීව්‍ර වී ඇති හෙයින් කඩිනමින් එය සම්පූර්ණ කළ පළ කරමි.

රිමාන්ඩ් සිරකරුවන් නිසා ඇතිවන තදබදය

ලෝක බන්ධනාගාර සංක්ෂිප්තය හෙවත් World Prison Brief අනුව, 2025දී ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල රඳවා ගත හැකි මුළු සිරකරුවන් සංඛ්‍යාව 13,241ක් වන මුත්, බන්ධනාගාරවල පුද්ගලයින් 32,747 දෙනෙකු අමානුෂික තත්වයන් යටතේ රඳවා තබා ඇත. නරකම තත්වය නම්, මෙම සිරකරුවන්ගෙන් තුනෙන් දෙකක්ම චෝදනාවලට වරදකරුවන් වී නොතිබීමයි. ඔවුන් නඩු විභාගයට පෙර රැඳවියන් හෙවත් රිමාන්ඩ් සිරකරුවන් ය. ලෝකයේ නඩු විභාගයට පෙර රඳවා තබා ගැනීමේ ඉහළම අනුපාතවලින් එකක් ශ්‍රී ලංකාව සතුව ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2020දී කරන ලද අධ්‍යයනයකට අනුව, බන්ධනාගාරවල ආහාර, සනීපාරක්ෂාව සහ ආරක්ෂාව ප්‍රමාණවත් නොවේ. අධික තදබදය නිසා සිරකරුවන්ට වැසිකිළි තුළ පවා නිදා ගැනීමට හෝ  මාරුවෙන් මාරුවට නිදා ගැනීමට සිදු වේ. හේතුව, ඔවුන්ට වැතිරීමට තරම්වත් ප්‍රමාණවත් ඉඩක් නොමැති වීමයි. මත්ද්‍රව්‍ය භාවිතය සහ ප්‍රචණ්ඩත්වය බහුලව දක්නට ලැබෙන අතර, එය රැඳවියන් අනතුරට ලක් කරයි. බන්ධනාගාර දරාගත නොහැකි තරම් උණුසුම් වන අතර මීයන්, පරවියන් සහ ඇඳ මකුණන් විශාල වශයෙන් පැතිර ඇත.

බොහෝ ඉහළ පෙළේ රිමාන්ඩ් සිරකරුවන් බන්ධනාගාර රෝහල වෙත මාරු කරන්නේ මේ හේතුවෙනි. මෙය බන්ධනාගාර රෝහල හා සම්බන්ධ අල්ලස් චෝදනාවලට පවා හේතු විය හැකිය. (හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනජිත් හේමන්ත රණසිංහ දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින්නේ එම චෝදනාව යටතේය).

අපගේ විනිසුරුවරුන් කරන නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් අධික ලෙස සිරගත කිරීම නැවැත්වීමට යමක් කළ හැකි නම්, පද්ධතියට ඇති වන පීඩනය සමනය කළ හැකිය. දූෂණය නිර්මාණය කිරීමට හේතු අවම කළ හැකිය. එසේ නොමැති නම්, උත්සාහ කළ හැකි උසස් තාක්ෂණික විසඳුම් ද තිබේ.

ඉලෙක්ට්‍රොනික් ආවේක්ෂණය

නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින්ට ඉලෙක්ට්‍රොනික වළලුකර පළඳනා පැළඳීමට නියෝග කිරීම පිළිබඳ පුවතක් මෑතකදී පළ විය. ඒ, බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සනාරෝටය. ඔහු තම අනුප්‍රාප්තිකයා බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කිරීම හා ඝාතනය කිරීමේ සැලසුම් පිළිබඳව දැනුවත්ව සිටීම සම්බන්ධයෙන් නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටින අයෙකි. හොලිවුඩ් චිත්‍රපට නරඹන අය මෙම වළලුකර පළඳනා කතාවලට සම්බන්ධ වන ආකාරය දැක තිබිය හැකිය.

ඉලෙක්ට්‍රොනික අධීක්ෂණය (EM) යනු පුද්ගලයෙකුගේ චලනය නිරීක්ෂණය කිරීම සඳහා උපකරණයක් ඔහුගේ/ඇයගේ වළලුකරට හෝ මැණික් කටුවට සවි කිරීමයි; ඔහු/ඇය තම නිවස වැනි නම් කරන ලද ප්‍රදේශය තුළ රැඳී නොසිටින්නේ නම් උපකරණය මගින් බලධාරීන්ට එය දැනගත හැකිය. එමගින් රිමාන්ඩ් භාරයේ සිටින පුද්ගලයන්ට ආහාර සැපයීමේ සහ ආරක්ෂා කිරීමේ වගකීම්වලින්රජයට නිදහස් විය හැකිය. රජය කළ යුත්තේ දුරස්ථව ඔවුන් නිරීක්ෂණය කිරීම සහ සැකකරුවන් රැඳවුම් කොන්දේසි උල්ලංඝනය කරන විට ප්‍රතිචාර දැක්වීම පමණි. නීති උල්ලංඝනය කරන වැරදිකරුවන් සහ රිමාන්ඩ් භාරයේ සිටින අය පුද්ගලයන් බන්ධනාගාරගත කළ හැකිය.

මෙය ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ස්කොට්ලන්තය, ප්‍රංශය, බ්‍රසීලය සහ තායිලන්තය ඇතුළු බොහෝ රටවල ක්‍රියාත්මක වේ. වියට්නාමය නුදුරේදීම එය ක්‍රියාත්මක කරනු ඇත.

බ්‍රසීලය 2010 වසරේ සිට වරදකරුවන් වූ අපරාධකරුවන් අධීක්ෂණය සඳහා EM භාවිතා කරයි. 2011 සිට, නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් දුරස්ථව නිරීක්ෂණය කිරීම සඳහා ද එය භාවිතා කර ඇත. 2019 වන විට, ඒ වෙනුවෙන් භාවිතා කරන ක්‍රියාකාරී උපාංග 60,347ක් තිබූ අතර එය රටේ බන්ධනාගාර ජනගහනයෙන් සියයට නවයකට ආසන්න සංඛ්‍යාවක් විය. කෝවිඩ්-19 අධි වසංගතය අතරතුර EM භාවිතය වැඩි විය. වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා එය භාවිතා කිරීම එයට හේතුවයි. වෛරසයට එරෙහිව සටන් කිරීමේදී එය සාපේක්ෂව සාර්ථක විය. වසංගතය අතරතුර මරණ අනුපාතය රටේ සියයට 2.56ක් වෙද්දී, බන්ධනාගාරවල එය සියයට 0.41ක් වැනි සාපේක්ෂව අඩු මට්ටමක තිබිණි.

තියට අනුව නිරීක්ෂණය කරන ලද පුද්ගලයා සැමවිටම වළලුකර පළඳනාව පැළඳගෙන සිටිය යුතුය. එය ආරෝපණය කර තබා ගැනීම ද එම පුද්ගලයාගේම වගකීමකි. එසේ නොමැති නම්, නිරීක්ෂණ මධ්‍යස්ථානය එය නිරීක්ෂණය කර, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් එම ස්ථානයට යොමු කරනු ඇත. වළලුකර පළඳනා පැළඳ සිටින අය නිවසේ රැඳී සිටිය යුතුය. නැතිනම්, නිශ්චිත ස්ථාන වෙත නොගොස් සිටීම අවශ්‍ය වන අතර නියම කරන ලද වේලාවන්හිදී නිවසට ආපසු පැමිණිය යුතුය. කොන්දේසි උල්ලංඝනය කළහොත්, පුද්ගලයා සිරගත කළ හැකිය.

බ්‍රසීලයේ වළලුකර පළඳනා කළමනාකරණය කරනු ලබන්නේ ස්පේස්කොම් සමාගම විසිනි. ඒ සඳහා ඔවුහු GPS සහ ජංගම දුරකථන සන්නිවේදන කුලුනු භාවිතා කරති. එහි සිම් කාඩ්පත් දෙකක් ඇත. එකක් අන්තර්ජාලයට සම්බන්ධ වන අතර අනෙක භූ ස්ථාන දත්ත ආවේක්ෂණ මධ්‍යස්ථානය වෙත යවයි.

පිරිවැය

2024දී බ්‍රසීලයේ ඉලෙක්ට්‍රොනික පළඳනාවක මිල බ්‍රසීලියානු රියාල් 200ක් (රුපියල් 10,800ක්) පමණ විය. EM හරහා සිරකරුවෙකු නිරීක්ෂණය කිරීමේ පිරිවැය භෞතික සිරගත කිරීමේ පිරිවැයට වඩා සියයට 70කින් අඩු බව කියනු ලැබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2024 වසරේ සංශෝධිත පුනරාවර්තන වියදම් ඇස්තමේන්තුව ශ්‍රී ලංකාවේ මුළු බන්ධනාගාර ජනගහනයෙන් බෙදීමෙන් ශ්‍රී ලංකාවේ සිරකරුවෙකු නඩත්තු කිරීම සඳහා වන පිරිවැය ගණනය කිරීම ඇස්තමේන්තු කර ඇත. මුළු පුනරාවර්තන වියදම රුපියල් බිලියන 15.6 කි. ඒ අනුව, සිරකරුවෙකු සඳහා වාර්ෂික පිරිවැය රුපියල් 477,710 කි. මෙය ආහාර සහ කාර්ය මණ්ඩල වියදම් වැනි වියදම් සඳහා වන මෙහෙයුම් පුනරාවර්තන වියදම් සඳහා පමණි.

රට පුරා පොලිස් ස්ථාන EM මගින් ජනනය කරන අනතුරු ඇඟවීම්වලට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට හැකි වන පරිදි යාවත්කාලීන කළ යුතුය. ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා ඇති පිරිස් අඩු කිරීම හේතුවෙන් මේ සඳහා අමතර වියදම් අවශ්‍ය වන්නේ නැත.

අධික ලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද පූර්ව නඩු විභාග රැඳවියන් නිසා ඇතිවන බන්ධනාගාර තදබදය පිළිබඳ ගැටලුවට ඉලෙක්ට්‍රොනික වළලුකර පළඳනා මගින් ශක්‍ය හා ලාභදායී විසඳුමක් සැපයිය හැකිය. මෙම පුද්ගලයින් රිමාන්ඩ් භාරයට පත් කිරීමේ අරමුණු වන්නේ ඔවුන්ගේ නඩු විභාග පවත්වන විට ඔවුන් අධිකරණයේ පෙනී සිටීම සහතික කිරීම සහ විමර්ශනවලට බාධා කිරීම වැළැක්වීමයි. දැනට පවතින, කාර්යක්ෂමතාව ඔප්පු කරන ලද තාක්ෂණය භාවිතයෙන් මෙම අරමුණු දෙකම සාක්ෂාත් කරගත හැකිය. මෙම විසඳුම අනුගමනය නොකරන්නේ නම්, එයට හේතුව වන්නේ, විමර්ශකයින්ගේ සහ නඩු පවරන්නන්ගේ අකාර්යක්ෂමතාව හේතුවෙන් රජය ලබා දෙන දඬුවම රිමාන්ඩ් භාරයට පත් කිරීම බවට පත්කරගෙන ඇති බවට ඇතැමෙකු කරන ප්‍රකාශය සනාථ වනු ඇත.

මෙම ලිපිය ලේඛකයාගේ ඇණවුම මත අප විසින් පරිවර්තනය කරන ලද්දකි. ඔබටත් ඉංග්‍රීසි, සිංහල, දෙමළ පරිවර්තන, අන්තර්ගත රචනා අවශ්‍ය නම් අමතන්න. 077 1734470

Creative Content Consultants
Call 077 1734470 / 077 1229191

Leave a Reply

Your email address will not be published. Required fields are marked *