May Day cartoon

අජිත් පැරකුම් ජයසිංහ

අද ජුලි 9. අදින් අවුරුදු තුනකට කලින් 2022 ජුලි 9දා මේ රටේ අති විශාල මහජන නැගිටීමක් සිදුවුණා. මට අනුව නම්, දැවැන්ත මොබ් එකක් විසින් රටේ ඡන්දයෙන් පත් වුණ පාලකයා පළවා හැරියා.

ලංකා ඉතිහාසයේ එවැනි සිදුවීමක් වුණ පළමු අවස්ථාව තමයි ඒ. 2000 මුල සිටම රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ නොකර සිටීමේ විපාකයක් විදියට 2022 වන විට රජය බංකොලොත් වුණා. විදේශ ණය පැහැර හැරියා. දීර්ඝ කාලයක් තිස්සේ වැඩි මිලට ආනයනය කළ ඉන්ධන හා වැඩි මිලට නිෂ්පාදනය කළ විදුලිය අඩු මිලට විකුණමින් සිටි රජයට දවසට පැය 13ක විදුලි කප්පාදුවක් පනවන්නට සිදු වුණා. රට පුරා උද්ඝෝෂණ පැනනැගුණා. පාලකයන්ට වගවෙන්නට බල කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමට ගෝටාගෝහෝම් නමින් අරගලයක් පැනනැගුණා.

එකී අරගලයේ උච්චතම අවස්ථාව තමයි 2022 ජුලි 9 උදා වුණේ. එදා සිදු වුණ බොහෝ දේ පසුපස ජුලි 9දා කුමන්ත්‍රණකාරී ලෙස බලය අල්ලා ගත් ලෙනින් වික්‍රමසිංහ මෙන්ම ඒ වන විට ලංකාව නිල නොවන අන්දමින් පාලනය කරමින් සිටි එක්සත් ජනපද තානාපති ජුලී චැං ඇතුළු පිරිස් සිටි බව දැන් පැහැදිලියි. එක අතකට වික්‍රමසිංහ පාර්ශ්වය හා චැං පාර්ශ්වය අතර සටනකුත් මේ තුළ තිබුණා. ඒත්, එකී බලවේග දෙකම ජුලි 9 සිදුවීම් මෙහෙයෙව්වා. තම තමන්ගේ අරමුණු කරා මේ අරාජිකත්වය යොමු කරගන්නට ඔවුන් උත්සාහ කළා.

මේ අතර, අරගලයට දේශපාලන නායකත්වයක් තිබුණෙ නැහැ. පෙරටුගාමීන්ටත්, ජවිපෙටත් පා තබා ගැනීමේ යම් ඉඩක් තිබුණා. ඒත්, චැංගේ ග්‍රහණයේ සිටි පාදිලි, පූජක, සුළුතර (ජාතික, කුල, ලිංගික ආදී) හා අරාජිකවාදී අන්තවාදී බලවේග මේ පක්ෂ දෙකටවත් එයට නායකත්වය දෙන්නට ඉඩ දුන්නේ නැහැ. උන් දීපු නායකත්ව රෙද්දකුත් නැහැ. චැං තමයි බඩුව.

චැංට ඕනැ වුණේ අරාජිකවාදය දිගට ඇදගෙන යන්න. ඒ නිසා තමයි ඇය ගිහින් අරගලයේ අවශ්‍යතාව පරිදි කතානායක මහින්ද යාපාට රාජ්‍ය නායකත්වය භාරගන්නැයි කිව්වෙ. ඉන් පස්සෙ එයත් අස්වෙලා, ඊළඟ එක්කෙනත් අස්වෙලා, බ්ලා බ්ලා බ්ලා ආදී වශයෙන් අර වසන්ත මුදලිගේ ඒ දවස්වල කිව්ව වගේ වෙන අතරෙ චැං මොනවා හරි කරන්න ඉඩ තිබුණා. කෙළ වෙලාම යන්නත් ඉඩ තිබුණා.

හැබැයි, වික්‍රමසිංහ චැංට වඩා ස්මාට් විදියට වැඩේ කළමනාකරණය කරගත්තා. ඒ කළමනාකරණය පටන් ගත්තෙ පාර්ලිමේන්තුව අල්ලන්න ගිය ලාල්, හඳුන්, හරිනි ආදී ජවිපෙ නායකයන් විසින් අවුස්සන ලද, පසුව ඔවුන් විසින් අතහරින ලද අරාජිකවාදී බලවේගයට හමුදාවෙ පොලු බලකායක් බස්සලා ලයිට් නිවලා ඇට තැලෙන්න ඇදල ඇරීමෙනුයි. ඒකෙ ඉතිරි කොටස ලබන සතියේ ගෝල්ෆේස් කූඩාරංවලට හම්බ වුණා.

ජවිපෙ එදා පාර්ලිමේන්තුව අල්ලන වැඩේට නායකත්වය දීලා පසුව පාවා දුන්නාට, එතැන් සිට වෙන පෙරමුණකින් වැඩේ අරගෙන ගිහින් 2024දි ජනාධිපතිවරණය දෙවෙනි මනාපයෙන් හා මහ මැතිවරණය තුනෙන් දෙකේ බලයකින් ජයගනිමින් අරමුණ සම්පූර්ණ කරගත්තා.

අරගලේ හිටපු ජවිපෙ නායකයන් දැන් ඇමතිවරුන් වෙලා. අනෙක් අය නන්නත්තාර වෙලා. ජුලී චැං ලංකාවෙ ඉන්නවද, ගියාද මන්දා.

රනිල් 2022 සිට ඔහුට ලැබුණු සම්පත් භාවිතා කරමින් ලස්සනට රට ට්‍රැක් එකට දැම්මා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතුළත් වෙමින්, මුදල් අච්චු ගැසීම නවත්වා, පොළී අනුපාතික හා උද්ධමනය පහත හෙළමින්, මූල්‍ය, බලශක්ති, නීති ක්ෂේත්‍රවල ඉතා වැදගත් ප්‍රතිසංස්කරණ රැසක් ඔහු කළා. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය හා ආයෝජකයන් ආකර්ශනය කරගැනීම සඳහා කටයුතු ආරම්භ කර තිබියදී තමයි ට්‍රැක පැනපු මේ රටේ ජනතාව, තමන්ට ගැලපෙන පිස්සන් රැළක් බලයට ගෙනාවෙ.

ඒ රැළ අතරින් අනුර කියන්නෙ රනිල්ගේ ලිබරල් දක්ෂිණාංශික අනුප්‍රාප්තිකයා බවට පත්විය හැකි කෙනෙක්. හැබැයි, වහලා ඉන්නෙ තමන්ට නොගැලපෙන කුරුල්ලන් ඉන්න අත්තක. ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ.

වාමාංශික මතවාදවලින් ඔලු කුරුවල් වෙච්ච, මනස නොවැඩුණු, අපරිණත පිරිසක් එක්ක අනුරට ලංකාවෙ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කරන්නට පුළුවන් වෙයිද?

අනුරට තියෙන වාසිය තමයි, මේ මැටි මෝල්පිඬු වැනි බලවේගය ඕනැ විදියකට අඹාගන්නට පුළුවන්කම. එහෙම නැතිනම්, බලයට එන්නට කලින් කියපු දේවල් මේ තරම් ඉක්මනින් අමතක කර දමා වෙන දේවල් කරන්නට පුළුවන් වෙන්නෙ නැහැනෙ. මේ අය විසින් සදාකාලිකව ඔද්දල් කරන ලද මනස් කුහර ඇති මේ රටේ මධ්‍යම පන්තිය ප්‍රමුඛ දේශපාලනිකව බලවත් පංතිය පාලනය කරගන්නට පුළුවන් වුණොත් අනුරට ඉදිරියට යන්නට පුළුවන් වෙයි.

එහෙම ගියොත්, ජවිපෙත් දකුණ වෙයි. දකුණට ඇඩ්‍රස් නැති වෙයි. ‘දිනන දකුණ’ අද කොළඹ සම්මන්ත්‍රණයක් පවත්වනවා. දිනන දකුණ දියවන කුණක් වෙන්න ඉඩ තියෙනවා ජවිපෙ නියම දකුණ වුණොත්.

දේශපාලනය කියන්නෙ බල අරගලයක්නෙ. රටට පෙර බලය මට. ඒක තමයි මූලධර්මය. එහෙම කරන්න එපා මෙයා රට ගැන හිතන්නකෝ අයියේ පොඩ්ඩක් හැදෙන්නකෝ අයියේ කිව්වට ජවිපෙ ඇහුවෙ නැහැනෙ. අමු පච, කප්ප, බේගල් ඇද බාලා ජවිපෙ බලය ගත්තා. අන්තිමට වමේ ඉඳලා දකුණට බල්ටියකුත් ගැහුවා.

දකුණට වමට බල්ටි ගහන්න බැහැනෙ. වමේ දකුණට ඉඩක් නැහැ. වම අපි භාර දෙමු පෙරටුගාමීන්ට. හැබැයි, නැවත නැගිටින්නට ඉඩ නොදී කෞතුකාගාර මට්ටමෙන් පවත්වාගෙන යන තත්වයටයි පත් කරන්නට ඕනැ. දකුණ දැන් බෙදිලා. ජවිපෙත් අලුත් ක්‍රීඩකයෙකු ලෙස ඇතුළත් වෙලා.

ජවිපෙ උත්සාහ කරන්නෙ රාජපක්ෂවාදී බලවේගයේ තැනට ස්ථානගත වෙන්න. ඒක ඔවුන්ට හොඳ පතෝල ස්ථාවරයක්. දකුණ වුණාට පොඩි වාමාංශික රාජ්‍ය මූලික ජාතික ආර්ථිකවාදී තෙම්පරාදුවක් ඒකෙ තියෙනවනෙ. ඒ ගැන මං කරපු වීඩියෝවක් මෙතන තියෙනවා. ඒක් බලලාම ඉතිරි ටිකට යමුකො.

එතකොට රාජපක්ෂවාදයේ ලේ උරුමකරුවන් වන නාමල් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, එතන කේන්ද්‍ර කරගෙන එහෙට මෙහෙට වෙමින් සිටින පොහොට්ටුකාරයන්ටත් මොකක්ද වෙන්නෙ? ජවිපෙ තරග කරන ස්ථානයම අල්ලගන්න උරුට්ටු අල්ලනවද? නැතිනම් අලුත් තැනක් හදාගන්නවාද?

මෙතනදි පොහොට්ටුවට තියෙන වාසිය තමයි ජාතිකවාදය. ජාතිකවාදය අහිමි නිසා ජවිපෙ සමාන වෙන්නෙ හැත්තෑගණන්වල සමගි පෙරමුණු ආණ්ඩුවට හෝ ඒකෙ හිටපු සමසමාජ කොමියුනිස්ට් පක්ෂවල තත්වයට. ජවිපෙට ජාතිකවාදය නැවත දිනාගන්නට අමාරුයි. කොච්චර පන්සල් ගියත් වැඩක් නැහැ, අනුරගෙත් ජවිපෙ අනෙක් එවුන්ගෙත් ඇඟේ සිංහල බෞද්ධ ගොවිගම පිරිමි අධිපතිවාදය නැහැ. ඒකෙ උරුමය තියෙන්නෙ නාමල්ට.

ඔය අතරෙ රනිල්, සජිත් ප්‍රමුඛ යූඇන්පී බලවේගයත් තියෙනවනෙ. ඒක තමයි මං දකින නියම දකුණ. ඒ කියන්නෙ ලිබරල්, නිදහස් දකුණ. මං හිතන්නෙ ‘දිනන දකුණෙ’ ලව් එක තියෙන්නෙත් එතන. ‘දිනන දකුණ’ කියන්නෙ බුද්ධිමය චින්තන පර්ෂදයක් වගේ එකක්නෙ. ඒ අය නොදෙන දේ තමයි ඇත්තටම ඒ නියම දකුණට නැත්තෙ. ‘දිනන දකුණ’ දෙන්නට යන බුද්ධිය නියම දකුණට නැත්තෙ නැහැ. තියෙනවා. නැත්තෙ මොකක්ද? අන්න ඒක තමයි ප්‍රශ්නෙ.

නැත්තෙ නායකත්වය. සජිත් ප්‍රමාණවත් නැහැ. රනිල් බලවේගයක් ගැන විශ්වාසයක් නැති නිසා එහෙම බලමුළුගැන්වීමක් කරන්නෙ නැහැ. පුළුවන් වුණොත් නැවතත් කුමන්ත්‍රණයක් නම් කරයි. ඒ නිසා මේ දෙන්නම හරියන්නෙ නැහැ. දැන් ෆීල්ඩ් එකේ ඉන්න අය අතරෙ කිසිම නායකයෙක් නැහැ. දිලිත් තමයි නියම දකුණට පොඩ්ඩක් හරි ගැලපෙන්නෙ. ඒ වුණාට මෑන් ට්‍රයි කරන්නෙ නාමල්ගෙ අවකාශයට. හරියන මගුලක් නොවන බව ඔහුට තේරෙන්නෙ නැහැ.

දැනට නම් දකුණෙ අනුරට විකල්පව ගොඩනැගෙන නායකත්වයන් එකයි තියෙන්නෙ. කැමති වුණත්, අකැමැති වුණත් එතන තමයි විභවයක් තියෙන්නෙ. ඒ තමයි නාමල්. හැබැයි ඉතින් හිරේ ගිහින් එහෙම එනකල් බලන් ඉන්නත් වෙයි සමහර විට. එතකල් මේ රට මේ තියෙන නිසල මුහුද ලෙසටම පවතින්නෙ නැති වෙයි. නුදුරේදි මහ කුණාටු ඇතිවෙනවා. අන්න ඒකයි ප්‍රශ්නෙ.

එතකොට අපි මොකක්ද කරන්නෙ? කකා බිබී පන්දු කෙළමින් සිටිමුද? නැතිනම්, ගේමට ගේමෙන් බල දේශපාලනයට එන්ටර් වෙමුද? ඇත්ත කියමින් අනුරටම ඉඩ දෙමුද? නැතිනම් අවසාන වරට ලාංකික මධ්‍යම පන්තිය රවටා වෛරය කුළුගන්වා විකෘති ‘අනුර දකුණ’ සෝදා හරිමුද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *