Painting by Ajith Perakum Jayasinghe for his short story

අජිත් පැරකුම් ජයසිංහ

ඔබට හොඳින් ජීවත් විය හැකිය. හොඳ යනු කුමක්දැයි නිර්වචනය කරගැනීම සඳහා ඔබටම දැක්මක් ගොඩනගා ගැනීම හොඳින් ජීවත් වීමේ පදනමයි. එහිදී සමාජය හොඳ යයි කියන විදියටම ජීවත් වෙන්නට යාමෙන් ඔබ අමාරුවේ වැටෙන අතර සමාජයට ද එක අදහසක් නැත. මේ අතර, සමාජය ඕනැ බම්බුවක් ගහගත්තාවේ මට ඕනැ විදියට මං ඉන්නවා කියා ජීවත් වෙන්නට යන එකද ගැටලු ඇති කරයි. යම් තුලනයක් අවශ්‍යය. තුලනය ද නිර්වචනය කරගැනීමේ හැකියාව තමන්ට තිබිය යුතුය.

Arunodakaruwo novel by Ajith Perakum Jayasinghe
2022 මැයි 9 අරගලය දවස්වල වෙච්ච මරණයක්. ආනන්ද බඹරැන්ද මන්ත්‍රීවරයා මරාදැමුවේ කවුරුද? ආරණ්‍යා බඹරැන්දට ඝාතකයා සොයාගන්නට පුළුවන් වෙයිද? මාක් ට්වේන් කවුරුද? #dawnbreakersට මොකක්ද වුණේ? කියවා දැනගන්න.

බොහෝ අය ජීවත් වන්නට යන්නේ තමන්ගේ ජීවිතය ගැන තමන් හා වෙනත් අය එකතු වී නිර්මාණය කරනු ලබන ප්‍රබන්ධයකට අනුවය. හිත හොඳ මිනිසුන් වෙන්නට, රත්තරං මිනිසුන් වෙන්නට නම් ප්‍රබන්ධකරණය අත්‍යවශ්‍යය. තමන් තමන්වම ප්‍රබන්ධ කරගත යුතු අතර, අනුන් ලවා ද තමන් ප්‍රබන්ධ කරගත යුතුය.

අපි මරු සිරා හෝ පොඩි විජේ ගනිමු. ඔවුන්ගේ චරිත මතුපිටින් විග්‍රහ කළ වාමාංශික නැඹුරුවක් සහිත ඊනියා ජනතාවාදී අමරනාත් ජයතිලකලා, ටයිටස් තොටවත්තලා අමුම අමු ප්‍රබන්ධ කලා කෘති නිර්මානය කළහ. කවිකොලකාරයන්ගේ බොළඳ විග්‍රහ රැල්ලට අනුව හැඩගැසුණු සමාජයට සමාජ සත්තා යථාර්ථවාදී පතාක යෝදයෝ බඩු සප්ලයි කළහ.

දැන් සිදුවන්නේ සමාජ මාධ්‍ය බොළඳ විග්‍රහ රැල්ලට අනුව හැසිරෙන සමාජයට ඕනැ විදියට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය බඩු සප්ලයි කිරීමයි. ඒ හා සමග දේශපාලනය ද අනුගත වේ. රැල්ල යන්නේ කොයි අතට ද දේශපාලකයන් මෙන්ම ජනමාධ්‍ය ද එහි රොද බඳිනු දක්නට ලැබේ.

ප්‍රබන්ධයට අනුව ජීවත් වෙන්නට අමාරුය. කළ හැකි වන්නේ මිය යාමයි. මිය යාමෙන් පසු ප්‍රබන්ධය තවත් තීව්‍ර විය හැකිය. වීරයෙකුම විය හැකිය. කෘර අපරාධකාරයන් වූ මරු සිරා, පොඩි විජේ වැනි අයගේ චරිතවල පොඩි කෑල්ලක් අධි සංවේදීකරණය කර වීර කතා නිර්මාණය කළ හැකිය. එහෙත්, එයින් මරු සිරාට හෝ පොඩි විජේට වැඩක් නැත. ඔවුන් මියගොස්ය. ඒ කතා පැවතීම ද නරක නැත. අපේ සමාජ පැවැත්ම සඳහා කතන්දර අත්‍යවශ්‍යය.

කතන්දර අවබෝධ කරගත යුත්තේ කතන්දර ලෙසයි. කතන්දරවලට සහභාගී වන්න. එහෙත්, කතන්දර වෙන්නට උත්සාහ නොකරන්න. සාමාන්‍ය විදියට ජීවත් වෙන්න. ජීවත් වුණොත්, ඔබට කතන්දර නිර්මාණය කළ හැකිය. කතන්දරය වෙනුවෙන් මිය යාමට වුව සුදුසු අවස්ථාවක් ඇත. එහෙත්, කතන්දර වෙනුවෙන් ඔබ ජීවිතය නොදෙන්න. එයින් ඔබට ලැබෙන දෙයක් නැත.

මොන අඩුපාඩු තිබුණත්, ඒ.ටී. ආරියරත්න එහෙම ජීවත් වී සමාජයට විශාල බලපෑමක් කළ අයෙකි. ඔහු නිර්මාණය කළ සර්වෝදය නම් රාජ්‍ය නොවන සංවිධානය තුළ මොන තරම් ගැටලු තිබුණත්, අඩු තරමේ සිය ගණනක් එහි දිගු කාලයක් තිස්සේ රැකියා හෝ කරති.

පාලිත තෙවරප්පෙරුම ජනප්‍රියය. ඔහු ප්‍රාදේශීය සභා සභාපති කාලයේ මතුගමට ආදාහනාගාරයක් හදන්නට මුල් වුණේය. ආදාහනාගාර ඇත්තේ මතුගම පමණක් නොවේ. ඔහු පහළ පන්තික ජනතාව අතර සිටි නායකයෙකි. ඔහු ජනතාවට දුන් ඉහළම දෙය වන්නේ ‘චන්ඩි අයියාව දන්නා කෙනෙකු’ වීමේ අවස්ථාවයි. චන්ඩි අයියා පාරේදී දුටු විට ඇඟ මිරිකා ලෙන්ගතුකමින් කතා කිරීමයි.

ඔහු යම් යම් සමාජ සේවාවන් ද කළ අතර ඒවායේ ප්‍රමාණයට වඩා ඒවා ප්‍රබන්ධ විය. උදාහරණයක් ලෙස, කොවිඩ් කාලේ කෑම බෙදීම ඒ කාලේ රජය කළ සේවාවන් සමග මොනම ආකාරයකටවත් සන්සන්දනය කළ නොහැකි තරම් පරිමාණයෙන් කුඩා දෙයක් වුවත්, ප්‍රබන්ධයෙන් අති ඉහළය.

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නීති හා ප්‍රතිපත්ති සම්පාදනයට මැදිහත් වූ ආකාර මම නොදනිමි. මහජන ගැටලුවලට දුන් සාධාරණ විසඳුම් ගැන ද නොදනිමි. රාජ්‍ය ත්‍රස්තවාදය හෝ සියදිවි නසාගන්නා බවට තර්ජන හෝ පාවිච්චි කර පටිපාටිවලට පිටින් යම් යම් දේ කර දුන් අවස්ථා ඇත.

ඔහුගේ ප්‍රබන්ධය ඔහුගේ ජීවිතයට වඩා විශාලය. එය නිර්මාණය කරගැනීමට ඔහු විශාල පිරිවැයක් දැරුවේය. සියලු මනුස්සකම් කරන විට කැමරා රැගෙන යාමට අමතක නොකළේය. ප්‍රබන්ධයේ ඉතිරි ටික මාධ්‍ය හා සමාජය විසින් නිර්මාණය කර ඇත. එය ඇතැම් විට දිගට පවතිනු ඇත. එහෙත් ඔහු නැත.

මෙම සටහනෙහි අරමුණ වන්නේ, තමන් තමන්ම ප්‍රබන්ධකරණය කරගන්නට යාම තේරුමක් නැති බවයි. එසේම, අනුන් ඔබව ප්‍රබන්ධකරණය කිරීම ඔබට වැළැක්විය නොහැකිය. සමාජ මාධ්‍ය යුගයේ මෙය අතිශය වැදගත්ය. මුළු ජීවිතයම රියැලිටි වැඩසටහනක් කරගෙන කැමරා වෙනුවෙන් ජීවත් වන පුද්ගලයෝ සිටිති. එසේම, අනුන් විසින් කරනු ලබන ප්‍රබන්ධ නිසා සමාජයට හඳුනාගත නොහැකි පුද්ගලයෝ ද සිටිති.

නොසැලී සිටීම එවැනි පසුබිමකදී කළ හැකි එකම දෙයයි. මා කරන්නේ එයයි. මට එරෙහිව මා දන්නා අයත්, මා කිසි දිනෙක හමු වී නැති මා පිළිබඳ කිසිවක් නොදන්නා අයත් බොහෝ ප්‍රබන්ධ නිර්මාණය කර ඇත. එමගින් මා අතිශය දුෂ්ට මිනිසකු ලෙස සමාජයට ඉදිරිපත් කර තිබේ. ඒවා වේදනාකාරී අත්දැකීම් ගෙන එයි. එහෙත්, නොසැලී සිටීම හැර වෙන විකල්පයක් නැත. අනුන්ගේ ප්‍රබන්ධ තුළ මා රූපාන්තරණය වන්නේ කුමටද?

කවරයේ ඡායාරූපය මවිසින් ලියන ලද සූදුරු අබා කෙටිකතා සංග්‍රහයේ ‘චීලා මෙට් විත් ඇන් ඇක්සිඩන්ට්’ කතාවට අඳින ලද චිත්‍රයකි. කතාව මෙතැනින්.