CEB

අජිත් පැරකුම් ජයසිංහ

රනිල් – කාංචන ලංවිම ප්‍රතිව්‍යූහගත කරන්න ගියේ දැනගෙන..❗
ඒක ලංකාව සම්බන්ධයෙන් මහා සැලැස්මේම කොටසක්.
දැන් මේ මෝඩයින් තැනින් තැන අවිධිමත්ව එම සැලැස්මේ කොටස් කරන්න යාමෙන් තිබුනු පුකත් නැතිවෙලා ලංවිම විතරක් නොවෙයි අනිවාර්යයෙන්ම ලංකාවත් කොටස් වලට කැඩිලා එක එකාගේ නූල් සූත්තරවලට නැටවෙන රූකඩ ආණ්ඩුවක් හා අපේක්ෂාභංග වූ ජනතාවක් ඉතුරුවේවි…
කුවේණිගේ ශාපය සම්පූර්ණ වෙන්නයි යන්නේ❗

– අජිත් මුණසිංහ

මේක තමයි දැන් සිදුවෙන දේශපාලනය හා අප මේ විකෘතියට සහයෝගය නොදක්වන්නට හේතුව. ජවිපෙ කළ යුතුව තිබුණෙ ඔවුන් කියපු දේවල් මිස මේවා නෙමෙයි. මොන තරම් වැරදි කළත්, ගෝඨාභයගෙ ආණ්ඩුව ජවිපෙට වඩා යථාර්ථවාදී වුණා. ඒකට හොඳම උදාහරණය තමයි ලයිට් රේල්වේ එක නැවැත්වීම. ඔවුන් බලයට ආ හැටියේ ආනයන සීමා කළා. දේශීය ආර්ථිකයක් වෙනුවෙන් විවිධ විකාරවලට මුල පිරුවා. අපනයන මූලික ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කළා. ආනයන නොකර අපනයන කරන්න බැහැනෙ. පෞද්ගලීකරණය නතර කළා. ඒ විදියට ගත්තාම ලංකාවට වේගවත් සංවර්ධනයක් අත්පත් කරගන්නට හැකියාවක් නැහැ. එහෙම රටකට ලයිට් රේල්වේත් වැඩක් නැහැ. ඒ වෙනුවෙන් එතරම් විශාල ණයක් ගන්න එක තේරුමකුත් නැහැ. ඒ නිසා ඔවුන් ලයිට් රේල්වේ නැවැත්තුවා. දැන් ඒ තීරණය වෙනුවෙන් පෙනී ඉන්නට පොහොට්ටුවට කොන්ද පණ නැති වුණාට ඒකෙ පසුබිම එහෙමයි.

රනිල් හැමතිස්සෙම ධනේශ්වර පාරිභෝජනවාදය හා වේගවත් ආර්ථික සංවර්ධනයක් උත්සාහ කළ කෙනෙක්. ඒ සඳහා ලංකාව විශේෂයෙන් ඉන්දියාව සමගත්, සමස්ත ගෝලීය ආර්ථිකයම සමගත් සම්බන්ධ වීම, ආනයන නිදහස් කිරීම, අපනයන දිරිගැන්වීම, පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම, ඒ සඳහා ආරම්භයක් විදියට රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය, ඉන්දීය ආර්ථිකය සමග ඒකාබද්ධ වීම හා ඉන්දීය ආයෝජනවලට ලංකාවේ අංශ විවෘත කිරීම, නිදහස් වෙළඳ ගිවිසුම් ආදී දැවැන්ත වැඩසටහනක් එහි තිබුණා.

ගෝඨාභය නවත්තපු වාහන ආනයන වෙළඳපොළ නැවත විවෘත කිරීම කියන්නෙත් ඒ වැඩසටහනේම කොටසක්. එය ලංකාවේ පාරිභෝජනවාදය ප්‍රවර්ධනය කිරීමේ තීරණාත්මක පියවරක්. එමගින් කෙතරම් විෂමතා සමාජයේ ඇතිවෙනවාද කියන එකට හොඳ උදාහරණයක් තමයි, ඉහළ මධ්‍යම පන්තිය පිස්සුවෙන් වගේ විද්‍යුත් වාහන මිලදී ගනිද්දි ජීවනෝපායන් සඳහා යොදාගන්නා ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, වෑන්, බස් ආදිය එතරම් අලෙවි නොවීම.

රජය විශාල වශයෙන් බදු එක්රැස් කරද්දි, පොදු ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය දවසින් දවසම පිරිහෙනවා. ලංගම බස් හැමදාම ඇක්සිඩන්ට්. රෝහල්වල බෙහෙත් නැහැ. අධ්‍යාපනයෙ වෙච්ච දෙයක් නැහැ. ටියුෂන් සූරාකෑම හා ටියුෂන් විසින් පාසල් මෙහෙයවීම එහෙමමයි. ලදරං වෑන් හැප්පිලා පාසල් ළමයි මියයනවා. ඒ මදිවට බල්ලො මරලා හරි සල්ලි හොයන පාතාල පාරිභෝජනවාදී සංස්කෘතිය නිසා දිනපතා මිනීමැරුම්.

මෙතනදි තමයි අජිත් මුණසිංහගේ විග්‍රහය ඉතා වැදගත් වෙන්නෙ. ලංකාව සංවර්ධනය කරන්නට මහා සැලැස්මක් නැතිව, නන්දලාල් වීරසිංහ වගේ ආර්ථික විද්‍යාඥයන්ගෙන් විතරක් උපදෙස් අරගෙන, දේශපාලන ආර්ථික විද්‍යාව ගැන මොනම අවබෝධයක්වත් නැතිව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වහලුන් වගේ මහා සැලැස්මේ කෑලි කෑලි අහඹු ලෙස තෝරාගෙන ගැලවිජ්ජාවට කරන්නට යාම අතිශය අවදානම් බව ජවිපෙ නායකයන්ට අවබෝධයක් නැහැ.

ඔවුන් කළ යුතුව තිබුණෙ ගෝඨාභය රාජපක්ෂ වගේ රනිල්ගේ වැඩසටහන ආපසු හරවන එක. හේතුව, ඒක කෙටි දුර ධාවන තරගයක් වගේ එකක්. හිතා බල බල කරන්න බැහැ. ජවිපෙට අවස්ථාව තිබුණා, ජනවරම පාවිච්චි කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන නැවත සාකච්ඡා කරන්න. ණය ප්‍රතිව්‍යූහගතකරණය කල් යන්නට ඉඩ තිබුණා. ඒ වුණාට, දැක්මක් තිබුණා නම්, ඒක රටේ ජනතාවට පැහැදිලි කරලා දීලා, ඉවසීමෙන් යුතුව, බංකොලොත්භාවයෙනුත් මිදෙමින් තමන්ගෙ පාලනයට ගැලපෙන ආර්ථික වැඩසටහනක් සකස් කරගන්නට තිබුණා. ඒ අවස්ථා සියල්ල දැන් මිස් වෙලා ඉවරයි. ඒ වෙනුවට, සුනිල් හඳුන්නෙත්තිලා, චතුරංග අබේසිංහලා වගේ බොළඳ දරුවන්ට ආර්ථිකයේ මර්මස්ථාන භාර දෙමින් බිග් කෙච්චන් එකක් නිර්මාණය කළා. ඔවුන් කොච්චර මුග්ධයන්ද කියනවා නම්, ලංකාවේ ඉතිහාසයක් මුළුල්ලෙ වාර්ෂික අපනයන ආදායම වූ ඩොලර් බිලියන 15ක ආසන්න මුදල අවුරුදු දෙක තුනකින්ම දෙගුණ කරන බවට කයිවාරුත් ගැහුවා.

දැන් මේ කරන විකෘතිවලින් ඇත්තටම රටට කිසිම වැඩක් වෙන්නෙ නැහැ. මේවට අපි නම් විරුද්ධ වෙන්නෙත් නැහැ. හැබැයි, මේවයින් කිසිම වැඩක් නැහැ. හේතුව, මේවා කිසිම දැක්මක් ඇතුළෙ සිදුවෙන දේවල් නෙමෙයි.

ජවිපෙ හෝ මාලිමාවෙ ආර්ථික ප්‍රතිපත්තිය කියන්නෙ රාජපක්ෂලාගේ ආර්ථික ජාතිකවාදයේත්, රනිල්ගේ සමාජ වෙළඳපොළ ආර්ථිකයේත් සංවාසයෙන් හැදිච්ච වඳ කොටලුවෙක්.

මාලිමා ආණ්ඩුවට කළ හැකි ප්‍රගතිශීලීම කාර්යය තමයි ජවිපෙ විනාශ කිරීම. ඒ සඳහා ඔවුන්ට කාලය ලබාදිය යුතුයි. ඒ අතරෙ ලංකාවෙ සංවර්ධනය නැවත ණය ප්‍රතිව්‍යූහගත කිරීමකට නොයන තරමට බේරගන්නට පුළුවන් නම් ලොකු දෙයක්. මේ අවුරුදු පහ මේ ආණ්ඩුව යන්නට ඕනැ. ඔවුන් මේක දාලා යනවා නම් මිස වෙන කිසිවෙකු මේක භාර නොගත යුතුයි. එහෙම නැතිනම් මේ වසංගතේ අවසන් වෙන්නෙ නැහැ. මේ අවුරුදු පහේ සාපයෙන් රටට ගැලවෙන්න තව අවුරුදු විසිපහක්වත් යයි. ඒ නිසා, ඉතිහාසය තුළ හයිබර්නේට් වෙන්න හෙවත් දීර්ඝ සිසිර නිද්‍රාවකට යන්නට හිත හදාගන්න. අපි නම් ඒකට කැමතියි. ලංකාවේ ජනවිකාස ප්‍රවණතා අනුව ඒක නරක නැති වෙන්නටත් පුළුවන්. රනිල් යෝජනා කරන පන්නයේ වේගවත් සංවර්ධනයක් ලංකාවේ පරිසරයට, ජන ජීවිතයට දරාගන්නට පුළුවන්ද කියන එක ගැන මට නම් සැකයි. හැබැයි, ජනතාව ඉල්ලන්නෙ එහෙම දෙයක්. අපි නාකි මයිනොනෙ. අපට ඒ නැති වුණාට කමක් නැහැ. පාරිභෝජනවාදී සිහින සැබෑ කරගන්නට කැමති තරුණ ජනයා ඉන්න එපා යන්න.

යන්න එපා, ඉන්න කියල අපි දවසක නැවත කියන්නට පුළුවන් කාලයක් 2029න් පස්සෙ උදා කරගනිමු. එතෙක් ඉවසමු.

යන අයට උපදෙස්, IELTS, ඩොකියුමන්ට්ස්, උපාය මාර්ග
එහෙම ඕනැ නම් අපට කතා කරන්න. Creative Content Consultants

Sworn Translations by Creative Content Consultants

Leave a Reply

Your email address will not be published. Required fields are marked *