අජිත් පැරකුම් ජයසිංහ
ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් පිහිටුවා ඇති මාලිමා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග දෙස බලන විට එක් දෙයක් පැහැදිලියි. ඔවුන් කරගෙන යන දේවල්වලට විරුද්ධ වීමට තරම් අපට නම් හේතු අඩුයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිව සිටි කාලයේ, ඉතා දුෂ්කරතා මැද ඇති කළ ආර්ථික ප්‍රතිසංස්කරණ බොහොමයක් අනුර දිසානායකගේ නායකත්වයෙන් යුත් මේ ආණ්ඩුව විසින් ඉතා පහසුවෙන් ඉදිරියට ගෙන යන බව පෙනෙනවා.
නිදසුනක් ලෙස, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය (SOE reform) ගැන කතා කරමු. වසර ගණනාවක් තිස්සේ දේශපාලනික වශයෙන් අතිශය සංවේදී මාතෘකාවක් වූ මෙය, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට විශාල විරෝධයක් සහ අභියෝග රැසක් මධ්‍යයේ ක්‍රියාත්මක කිරීමට සිදු වුණා. නමුත්, මාලිමා ආණ්ඩුව පැමිණි විගස, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) වැනි ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු කිසිදු සැලකිය යුතු විරෝධයකින් තොරව, ඉතා පහසුවෙන් ඉදිරියට ගෙන යනවා. සමාජ මාධ්‍යවල ඔවුන් කලින් කී දේ මතු කර දක්වමින් හිනාවීම හැර වෙනත් පැහැදිලි විරෝධයක් වෘත්තීය සමිති හෝ සිවිල් සමාජය පැත්තෙන් මතු වී නිහැ.
නමුත්, මේ ප්‍රායෝගික ක්‍රියාමාර්ග පිටුපස පැහැදිලි ආර්ථික මූලෝපායක් හෝ ධනේශ්වර දැක්මක් නොමැති වීම බරපතල ගැටලුවක්. මාලිමා ආණ්ඩුව මේ ප්‍රතිසංස්කරණ කරන්නේ, ඒවායේ අවසාන ඉලක්කය කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි දැක්මක් ඇතිව නොවන බවක් පෙනෙනවා. උදාහරණයක් ලෙස, රාජ්‍ය ව්‍යවසාය විකිණීම හෝ ප්‍රතිව්‍යූහගත කිරීමෙන් අපේක්ෂිත ආර්ථික වර්ධනය කුමක්ද? එය කුමන ආකාරයේ සමාජ ආර්ථික ව්‍යුහයක් බිහි කිරීමට හේතු වේද? මේ ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු ඔවුන්ගෙන් ලැබෙන්නේ නැහැ. ඔවුන් කරන්නේ, හුදෙක් ප්‍රායෝගික අවශ්‍යතාවන් මත පදනම් වූ ක්‍රියාමාර්ග ගැනීම පමණයි.
රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව නම් ලංවිම ප්‍රතිව්‍යූහගත කළේ පෞද්ගලික ආයෝජන කැඳවාගන්නටයි. විශේෂයෙන්ම විදේශ ආයෝජන කැඳවා ගන්නටයි. ඉන්දියාවේ අදානි වැනි සමාගම් ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ ආයෝජනය කරන්නට සූදානමින් සිටියා. ජාතික ජන බලවේග ආණ්ඩුව කරන්නට යන්නේ කුමක්ද යන්න තවමත් පැහැදිලි නැහැ. රාජ්‍ය අංශය තව තවත් ශක්තිමත් කිරීමේ ඔවුන්ගේ දැක්ම හා ආශාව වෙනස් වී නැහැ.
කෙසේ වෙතත්, ජාතික ජන බලවේග අද දවසේ ගන්නා ක්‍රියාමාර්ග අනාගතයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ධනේශ්වර මාවතකට යොමු කිරීමට අවශ්‍ය හොඳ තල්ලුවක් විය හැකියි. රාජ්‍ය වියදම් අඩු කිරීම, කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ වෙළඳපොළට අවස්ථා විවෘත කිරීම වැනි ක්‍රියාවලීන්, දීර්ඝ කාලීනව ශක්තිමත් ආර්ථිකයකට අවශ්‍ය පදනම ගොඩනඟනවා.
ඊටත් වඩා වැදගත් වන්නේ, ජනතා විමුක්ති පෙරමුණ පටු ආර්ථික ජාතිකවාදී අදහස්වලින් මුදාගෙන, ඔවුන්ගේ ආධාරකරුවන් සහ සාමාජිකයන් නව ආර්ථික යථාර්ථයකට පුනරුත්ථාපනය වීමයි. ඔවුන්ගේ මතවාදී හැව ඉවත් වීම, ශ්‍රී ලංකාවට අනාගතයේ දී වඩාත් යථාර්ථවාදී සහ විවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීමට ඇති අවස්ථා පුළුල් කරනු ඇත.
අනාගතයේදී ඔවුන් නැවත විපක්ෂයට තල්ලු වුණත්, ඔවුන්ට කලින් සියල්ලටම විරුද්ධ වීමට නොහැකි තත්වයක් නිර්මාණය වීම ලංකාවේ කඩාකප්පල්කාරී වාමාංශික මහජන ප්‍රවණතාව අහෝසි කර විශාල වෙනසක් ඇති කිරීමට ඉවහල් වේවි. ශතකයක් පමණ තිස්සේ ගොඩනංවන ලද වාමාංශික මහජන මතය ආපසු හැරවීම දුෂ්කර වුණත්, කඩාකප්පල්කාරීත්වයට නායකත්වය දීමට ශක්තිමත් පක්ෂයක් නැති වීම මහජන මතය වෙනස් කිරීමට හොඳ අවස්ථාවක් වෙනවා.