unpaid labour

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2021-05-20

වැටුප් නොගෙවන ශ්‍රමය ගැන කතාබහක් නිර්මාණය වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ස්ත්‍රී පුරුස සමාජ සමනාත්මතාව හා සාධාරණත්වය ප්‍රවර්ධනය කරන සංවිධාන හා පුද්ගලයන් මේ පිළිබඳ කතාකරන්නට පටන්ගෙන තිබෙනවා. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරියගේ පාර්ලිමේන්තු කතාවකදීත් මේ පිළිබඳ සඳහන් වුණා. සමහර විට මෙම සංකල්පය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හැන්සාඩ්ගත වූ පළමු අවස්ථාව එය විය හැකියි.

වැටුප් නොලබන ශ්‍රමය යන සංකල්පයෙන් විස්තර වන්නේ විශේෂයෙන්ම පවුල් සාමාජිකයන් පවුල වෙනුවෙන් කරනු ලබන කටයුතුයි. මේවා බොහෝ විට ගෙදරදොර වැඩ හෝ සත්කාර කටයුතු වෙනවා. එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය පවසන පරිදි, සත්කාර කටයුතු යනු, කවුරුත් ඍජුවම සම්බන්ධ වන, පෞද්ගලික හා බොහෝවිට භාවාත්මක සම්බන්ධතාවක්. දරුවකුට කෑම කැවීම, දුබල, මහළු පුද්ගලයකු නෑවීම හෝ පවුල තුළ සම්බන්ධතා පවත්වාගැනීම, දුක්ගැනවිලිවලට විසඳුම් ලබාදීම හා ගැටුම් විසඳීම වැනි කටයුතු වෙනුවෙන් යොදනු ලබන මානසික වෙහෙස ඒ සමග සම්බන්ධයි. ගෙදරදොර වැඩ අතර ඉවුම් පිහුම්, ගේ දොර පිරිසිදු කිරීම, රෙදි සේදීම, වේලීම, මැදීම, ඇසිරීම වැනි වෙහෙසකර කටයුතු රැසක් තිබෙනවා. ආහාර සහ වෙනත් අවශ්‍යතා මිලදී ගැනීමට කඩේයාම, දර වැනි ඉන්ධන සොයාගැනීම, පවුලේ අයට ප්‍රවාහන පහසුකම් සැපයීම, ගෙවතු වගා ආදී තවත් වැඩ ද තිබෙනවා. නිවාස ඉදිකිරීම, නඩත්තු කිරීම, අලුත්වැඩියා කිරීම, වාහන නඩත්තුව වැනි කටයුතු ද පවුල වෙනුවෙන් කළ යුතුයි. දරුවන්ගේ පාසල්වල ශ්‍රමදාන, රැස්වීම් ආදිය වෙනුවෙන් ද ලංකාවේ නම් සැලකිය යුතු ශ්‍රමයක් වැය කරන්නට සිදුවෙනවා.

මෙම වැඩ සඳහා විවිධ මට්ටම්වල ශාරීරික හා මානසික ශ්‍රමය අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් මේ ආකාරයේ වැඩ වෙනුවෙන් වැටුප් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ‘වැටුප් නොගෙවන සත්කාර සේවා හෝ ගෙදරදොර වැඩ’ ලෙස ඒවා හැඳින්වෙනවා. මේවා පවුලක යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍යයි.

කාන්තා අයිතිවාසිකම් ව්‍යාපාරවල අවධානය වැටුප් නොගෙවන ශ්‍රමය කෙරෙහි යොමුවන්නට ප්‍රධාන හේතුව වන්නේ මෙවැනි වැටුප් නොගෙවන කාර්යයන්හි වැඩිපුර නියැලෙන්නේ කාන්තාවන්ය යන අදහසයි.

එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය සඳහන් කරන පරිදි ගෝලීය මට්ටමෙන්, වැඩිහිටි කාන්තාවන් ද ඇතුළුව කාන්තාවන් සමස්තයක් ලෙස, වැටුප් නොලබන ගෘහස්ථ වැඩ හා සත්කාර කටයුතු වෙනුවෙන් වෙන් කරනු ලබන කාලය, එවැනි කටයුතු වෙනුවෙන් පිරිමින් වෙන්කරන කාලය තුන් ගුණයක් වෙනවා. කෝවිඩ්-19 සමග පවුල් තුළ සත්කාර කටයුතුවල බර වැඩියෙන්ම දරන්නට සිදුවී තිබෙන්නේ කාන්තාවන්ටයි.

ශ්‍රී ලංකාවේ ගෘහස්ථ හා සත්කාර කටයුතුවලදී පිරිමින් විසින් කරනු ලබන මැදිහත්වීමට වඩා කාන්තාවන්ගේ මැදිහත්වීම 27.6% කින් ඉහළ බව 2017දී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ශ්‍රී ලංකා කාල භාවිතා සමීක්ෂණය මගින් හෙළිදරව් කරන ලදී.

මෙම කාර්යයන් සම්බන්ධයෙන් පවුල් ජීවිතයේදී අවතක්සේරු කිරීමක් තිබෙනවා. ඒවා ඉතා පහසු වැඩ යයි අදහසක් තිබෙනවා. බොහෝ විට, පිරිමින් කරන මෙවැනි වැඩ වඩා වැදගත් යයි ඔවුන් සලකනවා. එසේම, ඉවුම් පිහුම්, සත්කාර කටයුතු ආදිය කාන්තාවන් විසින් සිදුකළ යුතු, ඔවුන්ට වඩා හොඳින් කළ හැකි හා ඔවුන්ට යෝග්‍ය කටයුතු බවට ඒකාකෘතික අදහසක් ද සමාජයේ තිබෙනවා.

ගෙදරදොර වැඩ කටයුතුවල නියැලෙන, රැකියා සඳහා පිටත නොයන කාන්තාවන් නිකම් සිටින අය ලෙස හැඳින්වීම පිළිබඳ ලංකාවේ සමාජයේ සාකච්ඡාවට ලක්වන්නට පටන් ගත්තේ අද ඊයේ නොවෙයි. විවාහය විසින් කාන්තාවන්ට වැටුප් ලබන ශ්‍රමිකයන් වීමට තිබෙන අවස්ථාව 26%කින් අවම කරන බව හා එයට සාපේක්ෂව පිරිමියකුට වැටුප් ලබන ශ්‍රමිකයකු වීමට තිබෙන අවස්ථාව 2.5%කින් වැඩි වී තිබෙන බව ලෝක බැංකුව පවසනවා.

අවම වැටුප අනුව වැටුප් නොගෙවන සත්කාර කටයුතුවල වටිනාකම ගණනය කළ විට, එය ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9%ක් වන බවත්, එහි මූල්‍ය වටිනාකම එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 11ක් බවත් ජාත්‍යන්තර කම්කරු සංවිධානය 2018දී වාර්තා කළා.

“ලොව පුරා, කාන්තාවන් හැම දිනකම වැටුප් නොලබන සත්කාර කටයුතු වෙනුවෙන් පැය බිලියන 16.4ක් වැය කරනවා. මෙය මිනිසුන් බිලියන 2ක් වැටුප් නොමැතිව දිනකට පැය 8 බැගින් වැඩකරනවා වගෙයි. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 10ට වැඩි කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගෙන් 87.3%ක් ගෘහ කටයුතු හා සත්කාර කටයුතුවල යෙදෙනවා. මෙම කටයුතුවල යෙදෙන්නේ පිරිමින් හා පිරිමි ළමයින් අතරින් 59.7%ක් පමණයි,” යි ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය පවසනවා.

පවුල් තුළ සත්කාර කටයුතු අසමාන අන්දමින් බෙදී යාමෙන් අදහස් වන්නේ නව යොවුන් වියේ ගැහැණු ළමයින් ද සත්කාර කටයුතුවලින් විශාල ප්‍රමාණයකට උරදෙන බවයි. ගෙදර වැඩ නිසා ඔවුන් අධ්‍යාපනය අත්හැර දැමීමේ අවදානමක් ද තිබෙනවා.

ගෙදරදොර කටයුතු, සත්කාර කටයුතු කියන්නේ කාන්තා වැඩක් නොවන බව හා පවුලේ වැඩක් බව අවබෝධ කරගත් පවුලක් නිර්මාණය කරගැනීමත් විප්ලවීය වැඩක්.

මේ ලිපියත් කියවන්න:

කාන්තා දේශපාලනය නැවත මුල සිට ද?

Creative Content Consultants

2 thoughts on “වැටුප් නොගෙවන ශ්‍රමය

  1. Geheniya minihage lingika awasyathaa sapuranniyaka lesa nosalakana samaajayak bihiwana thuru , samabara kutumbayak udaa nowanu etha .
    Esenam , eveni pasubimak athikaranne keseada ?
    Thaaraawanta piyaembimata purudu karannak lesa uganwana lindika adyapaneta wadaa , oya siyalla athulathkota paasalen kutumya pilibanda sanshiptha adyayana awastha athikaloth yeheki noweida !

Leave a Reply to Sarath warnakulasuriya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: