බැනුම් අහන්නේ, මැරෙන්නේ රියදුරා වුණාට වගකිව යුත්තේ කොන්දොස්තරය

පසුගිය සතියේ අප ගමන් කළ වෑන් රියේ පසුපස ටයර් හොඳටම ගෙවී තිබිණි. රියදුරු රාජා සමග කතාකරන අතර ඔහු කීවේ එය මේ මාසයටම ඔහු ගිය එකම හයරය බවයි. ලීසිං වාරිකය ගෙවීම සඳහා ඔහු කරන්නේ පාර්ලිමේන්තුව ආසන්නයේ පාර අයිනේ තබාගෙන බිත්තර විකිණීමයි.

ගෙවුණු ටයර් සහිත වාහන ඇල්ලීමට පොලිස්පතිවරයා පොලිස් ස්ථානවලට උපදෙස් දී තිබේ. ලංකාවේ මේ වන විට හයර් මෙන්ම ටයර් හිඟයක් ද තිබේ.

පස්සරදී මගීන් රැසකට මරු කැඳවා තවත් රැසකට තුවාල සිදුකළ බස් අනතුර සම්බන්ධයෙන් එහි රියදුරු, විරුද්ධ පැත්තෙන් පැමිණි ට්‍රක් රියේ රියදුරු, පාරට පෙරළී තිබුණු ගල ඉවත් කිරීමට අසමත් වූ මාර්ග සංවර්ධන අධිකාරිය මෙන්ම හයියෙන් යන රියදුරන් දිරිගන්වන බස් මගීන් ද වගකිව යුතුය.

පසුගියදා බදුල්ලේදී අපට හමු වූ බදුල්ල බස් සංගමයෙ ලේකම්වරයා පැවසුවේ අනතුරට පත් කොළඹ බසයට කලින් පස්සරින් පිටත්වන බදුල්ල බසයට බොහෝ මගීන් නගින්නෙ නැති බවයි. ඉක්මනින් යන්නට වේගයෙන් යන බස් එක එනකල් මගීහු බලා සිටිති. ඔවුන් නීති විරෝධී රියදුරන් දිරිගන්වන බව අප කියූ විට ඇතැමෙකු කීවේ අනෙකුත් බස් කොට කොටා යමින් කාලය කාදමන බවයි. අධිවේගය මෙන්ම කොට කොටා යාම ද නීති විරෝධීය. අධිවේගයට දිරිදෙන මගීන් කොට කොටා යාමට විරුද්ධ වන්නේ ද නැත.

අධිවේගයට හෝ කොට කොටා යාමට එරෙහිව බස් සේවකයන්ට කතා කරන්නට බොහෝදෙනෙකු බිය වෙති. ඔවුන් කියන්නේ බස් සේවකයන් මැරවරයන් බවයි. එහෙත්, එය සත්‍යයක් නොවේ. මගේ බිරිඳ බස් රථවල යන විට මහ හඬින් වාදනය කරන ශබ්ද විකාශනවල හඩ අඩුකරන්නැයි විනීතව බස් සේවකයන්ගෙන් ඉල්ලාසිටියි. ඔවුන් බොහෝදෙනෙක් එයට අවනත වෙති.

බස් මගියකු ලෙස අපරීක්ෂාකාරී රිය පැදවීමට එරෙහිව මා කතා කර ඇත. එය නතර නොකළහොත් මා පොලිසියට පැමිණිලි කරන බව කී විට ඔවුහු එයට සවන් දුන්හ. එහෙත්, අපගේ සාමාන්‍ය මාර්ගවලින් පිටත දුරබැහැර බස්රථවල යන විට මැරවරයන් ලෙස හැසිරෙන බස්රථ රියදුරන් ද හමුවී තිබේ.

බස් සේවා ගැන හොඳින් දන්නා අප මිත්‍රයකු වර්තමානයේ බස් ධාවනය ගැන මෙසේ විස්තර කළේය. මාර්ග බලපත්‍ර හිමි අයට ඒවා ලක්ෂ ගණන්වලට විකිණීම හෝ බදුදීම කළ හැකිය. බස් හිමියන් කරන්නේ බසයේ අලුත්වැඩියා, ටයර් දැමීම් ආදිය කර බසය දෛනික කුලියට බස් සේවකයකුට පැවරීමයි. කුලියට ගන්නා පුද්ගලයා ඉන්ධන වියදම ද දරාගෙන හවසට බස් අයිතිකාරයාට එම දෛනික කුලිය අතමිට මෙළවිය යුතුය. බසයට ඒ ඒ දිනයේ ලැබෙන කාලසටහන අනුව මෙම දෛනික කුලිය ද වෙනස් වේ. එය ඉතා සංකීර්ණ බිස්නස් එකකි. බොහෝ විට බසය කුලියට ගන්නා අය බසයේ කොන්දොස්තර ලෙස සේවය කරයි. ඔහු දිනකට රු. 1,500ක පමණ වැටුපකට රියදුරකු සේවයේ යොදවා ගනියි. දුරගමන් සේවාවල රියදුරන්ගේ වැටුප ඊට වඩා මඳක් වැඩිය. රියදුරන්ට කෑම, බීම හා සරු දිනවල නම් හවසට අරක්කු හා අමතර රු. 500ක් පමණ ද අතමිට මොළවනු ලැබේ. බසය කුලියට ගන්නා කොන්දොස්තර අනිවාර්යයෙන්ම රියදුරාගේ වැටුප හා කුලිය ගෙවිය යුතුය. තෙල් ගැසිය යුතුය. ඉතිරිය ඔහුගේ ලාභයයි. සාමාන්‍යයෙන් දවසකට රු. තුන් හාර දාහක ආදායමක් ඔවුන්ට ලැබේ.

එක අතකින් දුරකථන ඇමතුම් ගනිමින් තනි අතින් රිය පදවමින් මගමරුවන් වෙමින් බස් රියදුරන් තමන්ගේ ජීවිත ද අවදානමට හෙළාගන්නේ කන්න බොන්න දී රු. 1,500ක පමණ දෛනික වැටුපකට බව ඔබ දන්නවාද?

බස් කෙරුවාවේ බැනුම් අසන්නේ බස් රියදුරන් වුණාට ඔවුන් මෙහෙයවමින් ගේම දෙන වැඩකාරයා කොන්දොස්තර බව ඔබ දන්නවාද?

මේ බස් සේවකයන් ගැන අයිතිකාරයන්ට දැනුම්දීමෙන් කිසිම වැඩක් නැත්තේ ඇයිද යන්න දැන් ඔබට තේරෙනවාද?

ලංකාවේ පොදු ප්‍රවාහනයේ ගැටලුවලට විසඳුම් සෙවීමට නම් මේ යථාර්ථය අවබෝධ කරගත යුතුය.