Public Transport Cartoon

ආණ්ඩුවේ ප්‍රවාහනය හා බස්තියන් පයින් යාම

සාර්ථක ගමනාගමන සේවාවක පළමු පියවර ලෙස මගීන්ට හොඳ මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට පසුබිම සකසමින් ප්‍රවාහන සේවාව නගාසිටුවීම ඇරඹිය යුතු බව ද , ඉතා කුඩා ආරම්භයකින් ලොකු වෙනසක් කිරීමට හැකි බව ද ජනාධිපතිවරයා පවසයි. බස් රථය සෝදා පිරිසිදු කර මගීන්ට අසුන්ගෙන යාමට සැලසීම වැනි අමතර වියදම් නැති ක්‍රියා වලින් ප්‍රවාහන සේවාවේ ගුණාත්මක භාවය වැඩි කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අගෝස්තු 18දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ප්‍රවාහන සේවාවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව පැවැත්වූ සාකච්ඡාවේදී ය.

Translations by Creative Content Consultants

බස් රථය සෝදා පිරිසිදු කර පවත්වාගෙන යනවාට අමතරව, බොහෝ පෞද්ගලික බස් රථ මේ වන විට සවුන්ඩ් සෙටප්, රූපවාහිනී වැනි තවත් පහසුකම් රැසක් සපයයි. වැසිකිළි මෙන් ම වයිෆයි පහසුකම් තිබෙන පෞද්ගලික බස් රථ ද තිබේ. අපිරිසිදු බස් වැඩිපුර ම තිබෙන්නේ රජයට අයත් ශ්‍රී ලංගමෙහි ය.

බස් ධාවනය පිළිබඳ පවතින සත්‍ය ගැටලු පිළිබඳ ජනාධිපතිවරයාට පෙන්වා දීමේ එඩිතරකමක් ඇමතිවරුන්ට හෝ නිලධාරීන්ට තිබුණු බවක් නොපෙනේ. ජනාධිපතිවරයා බොහෝ දේ දන්නා අයෙකු ලෙස, අලුත් යයි සිතන අදහස් ඉදිරිපත් කළ ද ඒවා යල්පැන ගිය ඒවා ය. පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු ගැන උඩින් යන දේශපාලනඥයන් හෝ නිල රථවල යන නිලධාරීන් හෝ දන්නේ නැත. බස් හා දුම්රිය මගීන් විසින් මෙම ගැටලු දිගින් දිගට ම පෙන්වා දී තිබේ.

මෝටර් රථයෙන් පැමිණ එය නතර කොට තබා බස් රථයෙන් සේවා ස්ථානයට ගමන් කිරීමේ ක්‍රමය (Park & drive) කඩිනමින් ක්‍රියාත්මක කර මාර්ග තදබදය විසඳීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. මෙය වරක් ක්‍රියාත්මක කර අසාර්ථක වූ නිසා නවත්වන ලද්දකි. කටුබැද්ද ප්‍රදේශයේ වාහන ගාලක් පිහිටුවා එතැන් සිට සුඛෝපභෝගී බස් සේවාවක් යොදන ලද මුත්, අංගනයේ නවත්වා තබන්නට හෝ සංක්‍රාන්ති බස්වල යන්නට හෝ කවුරුවත් සිටියේ නැත. මේවා අසාර්ථක වන්නට හේතු රැසක් තිබිණි. එම හේතු අදත් පවතී. ඒ ගැන අධ්‍යයනය නොකර නැවත වතාවක් මෙය

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා යථාර්ථවාදී අදහස් කීපයක් ද ඉදිරිපත් කළේ ය. ගමනා ගමන මණ්ඩලය බස් ධාවනය සේවාවක් ලෙස පවත්වාගෙන ගියද පාඩු නොලබන ආයතනයක් විය යුතු බව ඔහු පැවසී ය. එය එසේ වන්නට නම්, පළමුව, ප්‍රවාහන ඇමති තම චක්ගෝලයන්ට ලංගමේ හා දුම්රියේ වැඩකට නැති රස්සා දීම නැවැත්විය යුතු ය. ලංගමට අවශ්‍ය රියදුරන්, කොන්දොස්තරවරුන් සහ කාර්මිකයන් ය.

දුම්රිය සහ බස් රථ ඒකාබද්ධ සේවා සහ බස් රථ ඒකාබද්ධ ධාවන කාලසටහන නොපමාව පටන් ගත යුතු බව ජනාධිපතිවරයා පැවසී ය. මෙය දැන් කලක සිට කියන දෙයකි. දැන් ඉතින් කිව්වා ඇති ය. ක්‍රියාත්මක කළ යුතු ය. මෙයට ලංගම සේවකයන් විරුද්ධ වන්නේ ව්‍යාජ හේතු මත ය. මේ වන විට, පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් සෑහෙන දුරට හොඳ නියාමනයක් ක්‍රියාත්මක වෙයි. ඒ නිසා ලංගම හා පෞද්ගලික බස් සේවා ඒකාබද්ධ කළ පළියට ලංගම විනාශ වන්නේ නැත.

ජනතාවට වඩා හොඳ සේවාවක් සැලසිය හැකි පරිදි දුම්රිය මැදිරි අළුත්වැඩියා කිරීමට ද තීරණය කෙරිණි. පරණ මැදිරි අලුත්වැඩියා කිරීම දැනටමත් සිදු කෙරේ. අලුත් මැදිරි හා දුම්රිය එන්ජින් ගෙන්විය යුතු ය.

කොළඹ කොටුව සහ තවත් දුම්රිය ස්ථාන හතරක් ආදර්ශ දුම්රිය ස්ථාන ලෙස කඩිනමින් නවීකරණය කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කී ය. පසුගිය ආණ්ඩුව සමයේ ස්වයංක්‍රීට ටිකට් කවුන්ටර හඳුන්වා දීමට යෝජනා විය. දුම්රිය ස්ථානවල මගීන්ට වැසිකිළි පහසුකම් හෝ හරියාකාරව නැත. ටිකට් විකුණන ගුලේ සිට දුම්රිය දෙපාර්තමේන්තුවේ බොහෝ දේ වෙනස් කළ යුතු ය. සියල්ලට පෙර, දුම්රිය සංඛ්‍යාව වැඩි කළ යුතු ය. ඒ සඳහා දුම්රිය ආනයනය කළ යුතු ය.

කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කර අධිවේගී මාර්ග ජාලය සමග මාකුඹුරෙන් ඒකාබද්ධ කිරීමේ වැඩසටහන හැකි තරම් ඉක්මණින් ආරම්භ කළ යුතු ය.

කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයටම පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය කඩිනමින් හඳුන්වාදීමට තීරණය කෙරිණ. මේ කාඩ් බිස්නස් හොඳ කොමිස් ජාවාරම් ය. කාඩ්වලට වඩා අත්‍යවශ්‍ය බොහෝ දේ ක්ෂේත්‍රයේ තිබේ.

පොදු ප්‍රවාහනය සම්බන්ධ ගැටලු සංඛ්‍යාව අති විශාල ය. ක්ෂේත්‍රයේ වෙනස්කම් කරන්නට ඇත්තෙන් ම සූදානම් බව පෙන්වනවා නම් මගීන් පමණක් නොව, බස් රථ මෙහෙයුම්කරුවන් ද එයට පූර්ණ සහාය දක්වනවා ඇත.

දේශපාලක කයිවාරු අසා දැන් අපට ඇති ය. හිටපු ඇමති මහින්ද අමරවීර ඊනියා අර්ධ සුඛෝපභෝගී සේවා නතර කරන බවට කයිවාරු ගැසුවේ ය. දැන් දශකයකට අධික කාලයක් තිස්සේ මේ ව්‍යාජ අර්ධ සුඛෝපභෝගී නිල් බෝඩ් ලෑලි බස්වත් වෙනස් කිරීමේ හැකියාව ආණ්ඩුවලට නොතිබිණි.

Translations