Arjuna Ranathunga

ශ්‍රී ලංකා ක්‍රිකටුත් ආණ්ඩුව වගේ

අජිත් පැරකුම් ජයසිංහ

අර්ජුන රණතුංගට ලංකාවේ ක්‍රිකට් ගොඩගත හැකි බව ඔහු පවසයි. එයින් අදහස් කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම දිනන ටීම් එකක් බවට පත්කිරීම විය යුතුය.

Translations by Creative Content Consultants

මෙය හරියට ලංකාව ගොඩනගනවා වැනි වැඩකි. එය තමන්ට කළ හැකි බව කී පුද්ගලයන් කිසිවකුට එය කරන්නට බැරි විය. හේතුව අන් කිසිවක් නොව, තනි පුද්ගලයතුට එය කළ නොහැකිය. ලංකාව නම් භූ දේශපාලනික හා සමාජ පද්ධතිය ගොඩගැනීමට පණගැන්විය යුතු යන්ත්‍රය අතිවිශාල එකකි. ජනාධිපති එහි ස්ටාටර් මෝටරය වැනිය. එය වැඩ කළ පළියට එන්ජිම දුවන්නේ නැත. ලංකාවේ අර්බුදය ද ක්‍රිකට් අර්බුදය ඇසුරෙන් සාකච්ඡා කළ හැකිය.

ක්‍රිකට් ද ලංකාව වැනිම වූ තනි පුද්ගලයකුට ගොඩදැමිය නොහැකි පද්ධතියකි. ක්‍රිකට් යනු දැවැන්ත වෙළඳපොළකි. එය වෙළඳපොළකටත් වඩා දැවැන්ත ජාවාරමකි.

පාසල් ක්‍රිකට් භාර ගුරුවරයකු ලෙස අවුරුදු කීපයක් සේවය කරද්දී මේ ක්‍රිකට් ලෝකයට කුස්සිය පැත්තේ ජනේලෙකින් ඔලුව දමා බැලීමේ අවස්ථාව මට ලැබිණි. මා පහත සටහන තබන්නේ මා එම අවුරුදු කීපය තුළ, ඉන් පෙර හා පසු කරන ලද නිරීක්ෂණ ඇසුරෙනි. මා නොදන්නා දේ මෙයට එකතු කරන්න.

  1. ශ්‍රී ලංකා ක්‍රිකට්: ලංකාවේ ක්‍රිකට්වලට තිබෙන ලොකුම ප්‍රශ්නය මෙයයි. හරියට ලංකාවට තිබෙන ප්‍රශ්නය ආණ්ඩුව වන්නා සේය. එහෙත්, මෙය නොමැතිව ක්‍රිකට් පවත්වාගෙන යන්නටත් බැරිය. මේකත් පාර්ලිමේන්තුව වැනිය. පාර්ලිමේන්තුවට එන්නට පුළුවන් හොරුන්ට, වංචාකාරයන්ට හා තක්කඩින්ටය. මේකටත් එහෙමය. ක්‍රිකට් පාලක මණ්ඩලයට පත්වන අයට ක්‍රිකට් ක්‍රීඩාව බේරාගත හැකි නම්, ආණ්ඩුවලට ලංකාව බේරාගන්නට ද පුළුවන.
  2. ක්‍රිකට් උපකරණ: මේවා මිල අධිකය. කල්පැවැත්ම ඉතා කෙටිකාලීනය. වටිනාකමින් අඩුය. එහෙත්, ක්‍රිකට් ගහන්නට පාවිච්චි කරන නිසා නොවටිනා වටිනාකමක් එකතු වී තිබේ. ඒක ප්‍රශ්නයක් නැත. එහෙත්, මේ අධික මිල ලංකාවේ සාමාන්‍ය ජනයාට දරාගත නොහැකිය. ලංකාවේ ක්‍රිකට් උපකරණ නිෂ්පාදනය කරන්නේ නැති තරම්ය. නිෂ්පාදනය කරන අයට අතදෙන්නට කෙනෙකු නැත. ආනයනය කරන්නට සිදුවේ. විශේෂයෙන්ම අඩු ආදායම් පවුල්වල දරුවන්ට හා ඔවුන් යන පාසල්වලට ක්‍රිකට් ගහන්නට බැරිවන්නට ප්‍රධාන හේතුව උපකරණවල අධික මිලයි. පාසල්වලට මැටිමක් පවා මිලදී ගැනීම අති දුෂ්කරය. රු. 50,000ක් පමණ වන මැටිමක් අවුරුද්දකට, දෙකකට වඩා පාවිච්චි කරන්නටත් බැරිය.
  3. පාසල් ක්‍රිකට්: පාසල් ක්‍රිකට් මෙම ක්‍රීඩාවේ පදනමයි. එහෙත්, පාසල්වල ක්‍රිකට් ගසන්නට නම් ආදි ශිෂ්‍ය සංගම්වලට අසීමිත බලයක් ලබාදිය යුතුය. ක්‍රිකට් ගහන්නට සල්ලි ලැබෙන්නේ එවිටය. ආර්ථික වශයෙන් ශක්තිමත් ආදි ශිෂ්‍ය සංගම් නැති පාසල්වලට ක්‍රිකට් ගසන්නට මුදල් නැත.
  4. පාසල් ක්‍රිකට් සම්මේලනය: මෙය වනාහි පාසල් ක්‍රිකට් තරගාවලි පවත්වාගෙන යන සම්බන්ධීකරණ ව්‍යූහයයි. එහි නිලධාරීන් විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ය. ඔවුන් ඇත්තෙන්ම කරන්නේ තරග සැලැස්ම සැකසීම පමණි. ඉඳහිට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලැබෙන සල්ලිවලින් බෝලයක් දෙකක් පාසල්වලට දෙයි. පාසල්වලින් ලියාපදිංචි ගාස්තුවක් අයකරන අතර එය ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. සමහරවිට ආයතනවලින් අනුග්‍රහ ලබාගෙන එම ආයතනවල වෙළඳ ලකුණු පාසල් ක්‍රීඩකයන් තමන්ගේ අතින් වියදම් කර මිලදී ගන්නා ඇඳුම්වලට අල්ලා මසාගන්නැයි කැත බලපෑම් කරති.
  5. පාසල් ක්‍රිකට්: පාසල්වල ක්‍රිකට් ගහන ළමයින්ට දැන් ඉස්සර තිබුණ පිළිගැනීම නැත. පාසල් ක්‍රිකට් බලන්නට පාසල් ළමුන්වත් එන්නේ නැත. ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වන නිසා බොහෝ ගුරුවරුන් ක්‍රිකට්වලට කැමති නැත. දක්ෂ දරුවන් ක්‍රිකට් ගසන්නේ නැති තරම්ය. ක්‍රීඩාවට දක්ෂ දරුවෝද බොහෝ විට වෙනත් ක්‍රීඩාවක් කරති.
  6. අම්පයර්ලා හා ස්කෝරර්ලා: ඔවුන් බොහෝවිට රජයේ වෙනත් රස්සා කරන ගමන් ලෙඩ නිවාඩු, අනියම් නිවාඩු ආදිය දමා පැමිණ මැච් අම්පයර් කර අමතර ගානක් සොයා ගනිති. පාසල් ක්‍රිකට් ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. පාසල් ක්‍රිකට් සම්මේලනයේ සිටින නිලධාරීන් ද බොහොමයක් දෙනා අම්පයර්ලාය. එතැනින් පටන් ගන්නා අම්පයර් කෙරුවාව පියවරෙන් පියවර ඉදිරියට යා හැකිය. එහෙත්, බොහෝ අම්පයර්ලාගේ ද කොලිටිය බාලය. ස්කෝරර්ලා ද ඒ හා සමානය. අම්පයර්ලා කෝච්ලා ද වෙති.
  7. කෝච්ලා: කෝච්ලා වැඩිදෙනෙක් කිසිදු සුදුසුකමක් නැති අයයි. ඇතැමෙක් කෝච් පරීක්ෂණ සමත් වී තිබේ. ක්‍රිකට් සෙල්ලම් කර නැති කෝච්ලා ද සිටිති. ඉන්න කෝච්ලාට ද කෝච් පුහුණුවක් ලැබෙන්නේ නැති තරම්ය. බොහෝ අය නමට කෝච්ලාය. ක්‍රීඩා විද්‍යාවක්, මනෝ විද්‍යාවක් දන්නේ එහෙමත් කෝච් කෙනෙකුය. මොන සූත්තරය හෝ කර මැච් දිනාගන්නට දඟලති. තම්බපු බෝලවලින් පාසල් ක්‍රිකට් ගසා තරගාවලි දිනූ කෝච්ලා ද සිටිති. කෝච්ලාට ගෙවීම් අවිධිමත්ය. රස්සාවකැයි කිව නොහැකි රස්සාවකි.
  8. ඇකඩමි: ප්‍රධාන ඇකඩමි හැරුණු විට, සෙසු ඇකඩමි වනාහි කෝච්ලාගේ බිස්නස් එකකි. මුදල් අයකර පුහුණුවීම් ලබා දෙති. ලොකු ඉල්ලුමක් නැත. ළමයින්, තරුණයන් අසාවට යති. වෙන වැදගත් වැඩක් සෙට් වූ විට අතහැර දමති. ඔවුහු විවිධ උප්පරවැට්ටි පාවිච්චි කර තම ක්‍රීඩකයන් මැච් ගස්සති. ඉන්දියාව වැනි රටවල ඈත පළාත්වල කණ්ඩායම් සමග තරග කිරීමට ටුවර් සංවිධානය කර යන එන අතර හොරබඩු ජාවාරම් ආදිය කර කීයක් හෝ සොයාගන්නා කෝච්ලා ද සිටිති
  9. ක්ලබ්: ප්‍රධාන ක්ලබ් හැරුණු විට, සෙසු ක්ලබ් ඒවායේ නිලධාරීන්ගේ සමාගම් වැනිය. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් අරමුදල් ලැබේ. ක්ලබ්වල ඕනෑම දෙයක් විය හැකිය. ක්‍රිකට් ගැසීමත් යම් දුරකට කරයි. ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඡන්ද බලය හිමි ක්ලබ්වලට දළදා මාළිගාවේ දියවඩන නිලමේ ඡන්දයේ ඡන්ද බලය වැනි වටිනාකමක් තිබේ. ක්ලබ් ද දේශපාලන පක්ෂ වැනිය. ඇතැම් විට ක්ලබ් පිටින් අලෙවි වන අවස්ථා ද තිබේ. අමුතුම ජාතියකි.
  10. පිට්ටනි: හිඟය. පහසුකම් අවමය. එසේ නැතිනම් නැත. හෙවණක්, මුත්‍රා කිරීමට තැනක් පවා නැත. ආරක්ෂාවක් නැත. ඒ වටා ජීවත් වන ජනයාගේ දේපළ පමණක් නොව ජීවිත ද අනතුරට පත්කරයි. ඇතැම් ඒවා මිල අධිකය. ඒවායේ මැච් ගැසීමට බොහෝ පාසල්වලට හා ක්ලබ්වලට මුදල් නැත.
  11. ටර්ෆ්: තණතිලිවල ක්‍රිකට් ගහන්නේ ඉහළ පන්තියේ අය පමණි. ක්‍රිකට් කොච්චර ලොකු බිස්නස් එකක් වුණත්, තණතිලි අලුතෙන් හැදෙන්නේ නැති තරම්ය. පහළ පන්තියේ අයට මැටිංය. මැටිංවල ක්‍රිකට් ගසා ජාත්‍යන්තර තලයට තියා ජාතික තලයටවත් යන්නට පරණ පිනක් කඩාවැටෙන්නට ඕනෑය.
  12. සල්ලි: ක්‍රිකට් කියන්නේ බොහෝ අය සිතන තරම් ධන ආකරයක් නොවේ. ක්‍රිකට්වලින් සල්ලි හම්බ කරගත් ක්‍රීඩකයන් සංඛ්‍යාව අල්පය. ක්‍රිකට් ගසන්නට පුළුවන් ටික කාලයක් පමණක් නිසා ඔවුන් පවා හම්බ කරගත් ධනය මුළු ජීවිතයටම සෑහෙන්නේ නැත. බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයෝ දිළින්දෝය. උන් ද කීයක් හරි හොයාගන්නට දන්න සෙල්ලං දමති. මැච් පාවාදීමට සෙට්වුණොත් ඒක වුණත් කරති. ඉස්සර මෙන් දැන් පෞද්ගලික සමාගම් ආදිය ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට් ගැසීම වෙනුවෙන් රස්සා දෙන්නේ නැත. අත දුන්නොත් ඉතින් හමුදාව හෝ ක්ලබ් විතරය. ක්‍රිකට් කළමනාකරුවන්ට එය ධන උල්පතක් වුවද, ක්‍රීඩකයන්ට එය හිඟන රස්සාවකි. ක්‍රිකට්වල රැඳෙන එක ලේසි වැඩක් නොවේ. බොහෝ අයට හරිහමන් කසාදයක්වත් බැඳගැනීමට නොලැබෙන වැඩකි.
  13. ප්‍රේක්ෂකයා: ලංකාවේ සැබෑ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අල්පය. ඉන්නේ රූපවාහිනී ප්‍රේක්ෂකයන්ය. 13න් පහළ මැච් නම් ගහන්නේ අම්මලාය. එතනින් එහා පාසල් ක්‍රිකට් බලන්නට ඒවා ගහන ළමයින්ගේ මහ එවුන්වත් එන්නේ කලාතුරකින්ය. ක්ලබ් ක්‍රිකට් බලන්නට එන්නේ මුල්ලකට වී සූස්තියක් ඇදීම වැනි දෙයකට එන එවුන්ය. බිග්මැච් හා ජාත්‍යන්තර තරග පැවැත්වෙන විට පිටියට රැස්වන්නේ මැච් බලන එවුන් නොවේ. වෙන වෙන ෆන් ගන්නා එවුන්ය. ක්‍රිකට් නොබලන මං වගේ එවුන් පවා පාඩුවේ පැත්තකට වී ඉන්නේ නැත. ක්‍රීඩකයන්ට බණිනවාය. කිණ්ඩිය දානවාය. උපදෙස් දෙනවාය. ක්‍රිකට් ඔස්තාර්ලා වෙන්න හදනවාය.

ලංකාවේ දැනට පවතින ක්‍රිකට් බිස්නස් එක ලෙල්ලමේ මාළු විකුණනවා වැනි එකකි. එය අඩු තරමේ ඩඩ්ලි සිරිසේනගේ හාල් බිස්නස් එක මට්ටමටවත් දියුණු වන්නේ නැතිව ලංකාවේ වෘත්තික මට්ටමේ ක්‍රිකට් බිහිවන්නේ නැත.

දැන් තියෙන්නේ ඔන්න ඔහොම ක්‍රිකට් ලංකාවකි. එහි ද ලංකාවේ රජය හා සමාජය මෙන්ම කේශාන්තයේ පටන් පාදාන්තය දක්වා තිබෙන්නේ දූෂණ, වංචා හා අළුගුත්තේරුකම්ය. ඉස්සර තිබුණු ක්‍රිකට් දැන් නැත. දැන් ඇත්තේ ක්‍රිකට් නම් කාඩි හොද්දකි. කාටවත් මේක ගොඩදාන්නට බැරිය. ඔහොම යනකොට එහෙන් මෙහෙන් මොක්කු මොක්කු හරි සෙට් වී හොඳ ටීම් එකක් හැදී පොට්ට චාන්ස් වදින්නට ද පුළුවන. මොක වුණත්, ලංකාවේ ක්‍රිකට් ද දේශපාලනය මෙන්ම අස්ථාවරය. ආත්මයක් නැත. ෆුට්බෝල්, වොලිබෝල් ආදිය ගැහුවොත් ගහන එවුන්ගේ ඇඟටවත් හොඳය.

Translations