Ajith Perakum Jayasinghe in cartoon

අජිත් පැරකුම් ජයසිංහ

මේ වෙලාවෙ මං ජනාධිපතිනම් අද උදේ අපේ ගෙදර කතාබහ මෙන්න මේ වගේ.

බිරිඳ: තාම කොම්පියුටරේ ළඟ වාඩිවෙලා ෆේස්බුක් යන්නෙ මූණ හෝදගෙන ඔෆිස් යන්නෙ නැද්ද?

මම: මට බැහැ ඒයි. අද යන්නෙ නැහැ කියන්න.

බිරිඳ: එහෙම කියල බෑනෙ. ඔයා මේ රටේ ජනාධිපතිනෙ. මේ වෙලාවෙ රටට ඔයා අවශ්‍යයි.

මම: ඉතින් මං ඔෆිස් ගියා කියල මොනව කරන්නද?

බිරිඳ: ඇයි අද කොවිඩ් කමිටුව රැස්වෙනව නේද?

මම: ඉතින් මොකෝ? ඕක රැස්වුණයි කියල මොකක් කරන්නද? ඩොකාල රට වහන්න කියනවා අපි වහනවා.

බිරිඳ: ජයසුන්දරයි, ලස්මනුයි එක්කත් මීටිමක් තියෙනවා නේද?

මම: උන්ට කියන්න කොහෙන් හරි සල්ලි හොයාගෙන ණය ටික බේරන්නය කියලා. බැරිනං ඕනැ කුදයක් ගහගන්න කියන්න. මට සල්ලි හොයන්න ක්‍රමයක් නැහැ. යකෝ මං බංගලියන්ටත් කිච වෙනවා. මේ මගුල ඉවර වෙච්ච දාකහරි අපි අපේ රටට ගියාම ඕකුන් කෝචොක් එක දායි. ෂිකේ!

බිරිඳ: ණය ගෙවාගන්න එක තමයි දැන් ප්‍රශ්නෙ වෙලා තියෙනවාය කියන්නෙ.

මම: දොස්තරයලගෙන් සල්ලි ඉල්ලගන්න බැරියැ. උන්නෙ රට වහන්න කියල මැරෙන්න හදන්නෙ. ඔන්න ඔය තියෙන ඕවිටි කෑල්ලක් හරි විකුණලා ණය ගෙවන්නය කියන්න.

බිරිඳ: හරි හරි. දැන් ලෑස්ති වෙන්නකෝ.

මම: මට බෑ ඒයි! වද දෙන්න එපා. මට බෑ. ෆේස්බුක්වල මං ගැන කියල තියෙන ඒවා දැකල මට සසර එපා වෙලා තියෙන්නෙ.

බිරිඳ: මං ඔයාට කිව්වනෙ ඕව ඔයාට කරන්න බැහැ කියලා. කොහෙද, ඔයත් අහුවුණානෙ එක එකාගෙ ගැටවලට.

(ඩීංං! සලබලාං! සලබලාං! මේසය උඩ තිබුණු උදේ තේ බීපු කෝප්පෙ සද්දෙ)

මම: මොන හු–ක් කියනවද හු–යෙ. මගෙ මේ රැවුල පත්තු වෙලා තෝ එනව සුරුට්ටු පත්තු කරන්න. ඒ වෙලාවෙ ඒක කළේ නැතිනං උන් විතරද මාත් හිරේ. නඩු කීයක් තිබුණද? නිකං හු– කතා කියන්නැතුව ඉන්නව ඕයි! පපුවත් රිදෙනවා.

බිරිඳ: හරි හරි! සමාවෙන්න! සමාවෙන්න! මං නිකං කිව්වෙ.

මම: නිකං තමයි හු–! උඹලගෙ කට හින්ද තමයි මට බැරිවෙන්නෙ. යකෝ බලපන් රටේ සල්ලි නැහැ. ඒ මදිවට වසංගතේ. තවුසෙ දන්නෙ නැතිවුණාට හම්බ කරන් කන මිනිස්සුන්ට හෙන අමාරුලු. බඩු ගණන්ලු. මිනිස්සු අම්මෙ මෝ නැතුව බනිනවා. අරූ රට ගිහින් එහෙ හැ_නෙනවා එන්නෙ නැතුව. මෙහෙ අනෙකා උගෙ පුතා රජ කරවන්න දඟලනවා. මට එපා වෙල යකෝ තියෙන්නෙ. මං වහ බොනවා.

(ට්ර්රෑරෑෂ්! සල බල! ටක ටක! පට පට! මේසය උඩ තිබුණු පෑන් රඳවනයේ හඬ)

බිරිඳ: හරි හරි කෑගහන්න එපා. මෙතන ඉන්න වැඩකාරයො ඕව සවේන්ද්‍රගෙ කණේ තියයි.

මම: අනේ උන්ගෙ අම්මලට හැ—- කියපන්.

බිරිඳ: හරි හරි! දැන් මූණ හෝදන් ලෑස්ති වෙන්න. ඔය රැවුල කපාගන්න. දැන් දවස් කීයක්ද? ඔයා ඔහොම ඉන්න කෙනෙක් නෙමෙයිනෙ. අද රැස්වීමෙ කෑල්ලක් මීඩියාවලට දෙන්නත් ඕනැනෙ.

මම: මං සූම්වලින් එනවයි කියන්න.

බිරිඳ: එහෙම හොඳද?

මම: ඔව්! පස්සෙ කියමු ඩේට ඉවරයි කියල. නැතිනං කරන්ට් නෑ කියමු. උන් රැස්වීම කරගනියි. සවේන්ද්‍රට කියන්න මට උණ කියලා. උණ කිව්වාම කට්ටිය දැන් බයයි කොවිඩ්ය කියලා.

බිරිඳ: එහෙම කරන්න එපා අජිත්. මේක අපේ රටනෙ.

මම: අපේ රට මේකයැ ඕයි! මේකත් රටක්ද?

බිරිඳ: දැන් ඉතින් කොහොම හරි බැඳගත්ත බෙරේ ගහන්න එපායැ. ඔයා ඔෆිස් ගිහින් කලින් එන්න. මං ඔලුව ටිකක් අතගාන්නං.

මම: අනේ නිකං ඉන්නව ඕයි. කලින් දවසකුත් මට පොරොන්දු වුණා සියපාරක් ඔලුව අතගානවාය කියලා. ඒකවත් තාම නැහැ.

බිරිඳ: නෑ නෑ. අද නං සත්තයි!

මම: පැය බාගයක් අතගාන්න ඕනැ, හරිද? නිදි කිරන්න බැහැ.

බිරිඳ: හරි හරි! අන්න මං බත්මුලට බිත්තරේකුත් බැන්දා!

මම: නෑ—හ්!

බිරිඳ: නෑ නෙමෙයි ඔව්!

මම: එහෙම කියන්න එපායැ. සවේන්ද්‍රට කියන්න මං ටක්ගාල එනව කියල.

අත්ථානං උපමං කත්වා කියල බුදු බණේ තියෙනවනෙ. ඒ නිසා මේ වෙලාවෙ පාලකයන්ගෙ සපත්තුවට බැහැලා හිතන්න. එතකොට තේරෙයි ඔවුන් කරන්නෙ කොච්චර අමාරු වැඩක්ද කියලා. ඔවුන්ට කරදර නොකර රට පාලනය කරන්න දෙන්න.

(උපහාසයට මිස අපහාසයට නොවේ)

මේ ලිපියත් කියවන්න:

ලංකාවෙ රජය හඳට යන්න ගිහින් වැරදුණා නම්

Creative Content Consultants

1 thought on “මේ වෙලාවෙ මං ජනාධිපති නම් අපේ ගෙදර

Leave a Reply to Sarath warnakulasuriya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: