Anura Kumara Disanayaka

‘හොරු අල්ලමු තේමාව’ වෙනුවට ‘පළිගනිමු’ ඉදිරියට

අජිත් පැරකුම් ජයසිංහ

තවමත් ඍජු බදු රජයේ බදු ආදායමෙන් 10%ක්වත් නැහැ. රජ්‍ය සේවකයන් ලක්ෂ 14කට, විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවන්නෙ රජය. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය, දිළිඳු සහනාධාර, යටිතල පහසුකම් නඩත්තුව හා සංවර්ධනය කරන්නෙත් රජයේ ආදායම්වලින්. ඔය ටික කරන්නත් ණය ගන්න වෙනවා. බදුවලින් ‘වැඩක්’ කියල දෙයක් වෙන්න නම්, අනිවාර්යයෙන්ම මේ ක්‍රමය වෙනස් කරන්නම වෙනවා.

ක්‍රමය වෙනස් කරනවාය කියන්නෙ බලය හිමි පැළැන්තිය වෙනස් කිරීම නෙමෙයි. ජවිපෙ යෝජනා කරන්නෙ ප්‍රධාන ධාරාවෙ ප්‍රභූන් අතින් මධ්‍යම පන්තික ප්‍රභූන් වෙත බලය හුවමාරු කිරීම.

රනිල් කරමින් ඉන්න ධනේශ්වර විප්ලවය තුළ සිදුවෙන්නෙ රජය ආදායම් උපදවන, වියදම් කරන ක්‍රමය වෙනස් වෙන එක. ඒ කියන්නෙ, රජය ආදායම් වර්ධනය කරගන්නවා. වියදම් අඩුකරනවා. ඒ සඳහා රාජ්‍ය අංශය හකුළනවා. පෞද්ගලික අංශය දිරිගන්වනවා. රජය ව්‍යාපාරවලින් අයින් වෙනවා. පෞද්ගලික ව්‍යාපාර නියාමනයට සීමාවෙනවා. වෙළඳපොළ වැඩියෙන් නිදහස් කරනවා. එදිනෙදා වියදම් සඳහා ණය ගැනීම සීමාකරමින් විදේශ ණය සංවර්ධනයට යොමු කරනවා.

රජය හකුළන කොට රජයෙන් යැපුණු මධ්‍යම පන්තියට අමාරු වෙනවා. ඒ වගේම, ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න, උද්ධමනය පාලනය කරගන්න, දිළිඳු ජනයා තවදුරටත් පීඩාවට පත්වීම වළක්වන්නට, ක්‍රමය තිරසර කරගන්නට ගනු ලබන පියවර නිසා ව්‍යාපාරිකයන්ටත් මේ මොහොතේ ගැටලු ඇතිවෙනවා. දුරදිග නොබලන ඒ වගේ අය තමයි මේ වෙලාවෙ ජාතික ජන බලවේගය හරහා පැරණි ක්‍රමය රැකගැනීමට උත්සාහ කරන්නෙ. ඔවුන් ප්‍රවර්ධනය කරන්නෙ ඔවුන්ට රිදවූ පාලකයන්ගෙන් පළිගනිමු කියන එකයි.

ඒත්, මේ මොහොතේ මුහුණදෙන දුෂ්කරතාවන් නිසා තමයි අපට ක්‍රමය වෙනස් කරගෙන සංවර්ධනය තිරසර කරගන්නට හැකිවෙන්නෙ. ඒ වෙනුවට වේදනාවට ක්ෂණික සහනය සඳහා පැනඩෝල් ගත්තට ලෙඩේට ස්ථිර විසඳුම් ලැබෙන්නෙ නැහැ.

ඔවුන් බලයට ඇවිත් මොකක් කරයිද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය හා කොන්දේසි ප්‍රතික්ෂේප කරයිද? බදු නැවතත් කප්පාදු කරයිද? පොළී අනුපාතික වහාම පහළ හෙළයිද? මේ කිසිවක් ඔවුන් කියන්නෙ නැහැ. පළිගනිමු කියන එක තමයි අනුර කුමාර දිසානායක අනුරාධපුර රැස්වීමෙදි ප්‍රවර්ධනය කළ අදහස වුණේ.

වර්තමානයේදී ජාතික ජන බලවේගය වටා ඒකරාශී වී සිටින මධ්‍යම පන්තික බලවේගයම තමයි 2019දි තනි සිංහල පදනමින් ගෝඨාභය ගෙනැවිත් රට මේ තත්වයට ඇද දමන වැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවාගත්තෙ. ඒ කියන්නෙ, බදු කප්පාදුව, කොවිඩ් නිසා රට වැසීම, කාබනික පිස්සුව වගේ දේවල්. ඒ කාලෙ මේවා ජනප්‍රිය පියවර වුණ බවත් අමතක කරන්න එපා.

ඔබට පුළුවන් තවත් වටයකින් ඒ හා සමාන රැවටීමකට ලක්වෙන්න. මේ පාර පළිගනිමු තේමාවෙන්. හොරු අල්ලමු කියන එකත් දැන් යටපත් වීගෙනයි යමින් තියෙන්නෙ.