Mahinda Rajapaksa and Sarath Nanda Silva

හොරුන් තොර ලෝකයක් කොයින්දෝ-

අජිත් පැරකුම් ජයසිංහ


හොරුන් නොවන පිරිසක් පාලකයන් ලෙස පත්කරගැනීම කියන මිථ්‍යාව පසුපස යන අයටයි මේ කියන්නෙ. මුළු ලංකාවම හොරු. හොරකමේ තරාතිරම විතරයි වෙනස්. මාත් ජවිපෙ දේශපාලනය කරපු තහනම් කාලෙ ජවිපෙ විවෘතවම මංකොල්ලකෑවා. හිරු කණ්ඩායමට වැඩකරද්දි මං රජයේ සේවයෙන් පුළුවන් තරම් නිවාඩු අරගත්තා විතරක් නෙමෙයි නෝපේත් ගිහින් අර සංවිධානෙට වැඩකළා. ඒවත් හොරකම් තමයි. කෙනෙකුට කියන්නට පුළුවන් ඒවා කළේ පෞද්ගලික වාසි වෙනුවෙන් නෙමෙයි කියලා. නැහැ. ඒවායින් මං වගේ මෝඩයන් පෞද්ගලික වාසි නොගත්තට ගත්ත අය ගත්තා. ඊනියා විප්ලවවාදීන්ගේ හොරවැඩ ඕනැ තරම් කියන්න පුළුවන්. ඒවා තරමින් පුංචියි. චේතනාවෙන් එකයි.

ලංකාවේ දේශපාලනය හොරකම එක්ක ඇතුළතින්ම සම්බන්ධයි. මේ වෙලාවෙ ජවිපෙට ආණ්ඩුව ඉක්මණින් ගෙදර යවන්නට බැරි වෙන්නෙ වෙන මොකවත් නිසා නෙමෙයි, 2015-19 කාලෙ රාජපක්ෂලා කළා වගේ අඛණ්ඩ කැම්පේන් මාලාවක් කරන්නට සල්ලි නැති නිසා. මහජනතාව ඕකට සල්ලි දෙන්නෙ නැහැ. මහජනතාව කියන්නෙ පල් හොරු. කොහේ හරි රටකින් ෆන්ඩ් කළොත් තමයි ඉතින්. ඒවට තව කල් තියෙනවා. ඒවත් ඉතින් හොරකම් තමයි අවසානයේදී.

රනිල්ලා මහබැංකු ගේම ගහන්න ඇත්තෙ දේශපාලනයට සල්ලි හොයන්න. ඒකත් වැරදුණා. මහින්දලාගේ සල්ලි එක්ක රනිල්ලාට හැරෙන්නවත් බැරිවුණා. 2019 පරාජයට එක හේතුවක් ඒක. මහින්දලා හොරකම් කරපු සල්ලි ආපහු ගන්න බැරිවුණේ ඇයි? රනිල්ගේ ඩීල් කියලා සරලව හිතන්න එපා. ඒ ආණ්ඩුවේ බලවත්ම කවයේ ඉහළ තැන්වල ජවිපෙ නායකයන් පවා හිටියා. හොරු අල්ලන එකට අවශ්‍ය ශක්තිය ඒ ආණ්ඩුවට නැති බව පෙනෙනකොට කට්ටිය මාරුවුණා. රනිල්ගේ ඩීල් නිසා ඒක බැරිවුණා කියන එක තමයි හැමෝටම ආවරණය.
දූෂණයෙන් තොරවීම කියන එක මේ වෙලාවෙ නම් ලංකාවේ දේශපාලනයට අති විශාල වැදගත්කමක් නැහැ. ඊට වඩා වැදගත් රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීම වගේ දේවල්. ලංකාවට විදේශ ආයෝජන ගෙනඒම වගේ කාරණාවලදි තවමත් රාජපක්ෂලාට පුළුවන් උන්ගෙ හංගපු සල්ලි අරගෙන එන්න. කේපී ලංකාවට ගෙනාවට කොටින්ගේ දේපල ලංකාවට ගෙනාවෙ නැහැනෙ. ඒවා මොන විදියට හරි ලංකාවට එනවා නම් මේ වෙලාවෙ රටට වාසිදායකයි. ජවිපෙට පුළුවන්ද මුන් ටික එලවලා ඒවා මේ රටට ගේන්න? ඒකට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීම හා දැනුම ජවිපෙට තියෙනවද? එහෙම නැතිනම්, රාජපක්ෂලා කේපී හරහා කොටින්ට දුන්න ෂොට් එක වගේ වැඩක් කරන්නට ජවිපෙට පුළුවන්ද?

මම ජාතික ජන බලවේගය නොකියා ජවිපෙ කියලා කියන්නෙ මට ජාජබ වැදගත් නැති නිසා. බලය ගන්නවා නම් ගන්නට ඕනැ ජවිපෙ. වැඩකරන්නට ඕනැ 1989 කරන්න හිතාගෙන හිටපු විදියට. ඒක තමයි ජවිපෙ කියන්නෙ. සෙම නෑ, සෙවල නෑ.

එක්කො හොරුන්ව කළමනාකරණය කරගන්නට ඕනැ. ඒක කරනවා නම් ඉතින් මේ ආණ්ඩුව නෙමෙයි නම් රනිල් තමයි. එහෙම නැතිනම්, විප්ලවීය විදියට හොරුන්ගේ දේපල ආපසු ලබාගන්නට ඕනැ. ඒකට විප්ලවවාදීනුත් ලොකු අවදානමක් ගන්න ඕනැ.
මේ කියන මම නම්, බටහිර රටවල වීසා ගැන හිතන්නෙ නැහැ. ඒ වුණාට මට නම් හිරේ යන්න අමාරුයි දැන්. මට පැදුරුවල නිදාගන්න අලුතෙන් පුරුදුවෙන්න වෙනවා. ඇයි මදුරුවන් කන එක. ඒකත් අමාරුයි මට. ඒවා දරාගත්තත්, අවුරුදු 15ක විතර ඉඳලා එකට හිටි ඉන්ටනෙට් එක නැතුව ජීවත් වෙන එක හරිම අමාරු වෙයි. ඒ නිසා මම නම් අලුත් දේශපාලනික අවදානම් ගන්නට සූදානම් නැහැ. එන ඕනැ ආණ්ඩුවකට යටත් වෙලා සපෝට් කරලා ඉන්නවා.

2007දී අපේ දුව ඉපදෙන්නට කලින් කාලෙ හිටිය මම නම්, මේ වගේ විප්ලවීය අවස්ථාවලදී අවදානම් අරගන්නට පැනලා ඉදිරිපත් වන කෙනෙක්. ඒවා දන්නෝ දනිති. දැන් මචං එහෙම බෑනෙ පවුල්වෙලා මං.