Thilak Weerasinghe

සංචාරක කර්මාන්තයේ හිඟන්නාගේ පාත්තරයට වැහුණ රාජපක්ෂ පවුල

මේ වන විට, යුක්රේන සංචාරක පිරිසක් ශ්‍රී ලංකාවේ තැන් තැන්වල සංචාරය කරන බව ප්‍රවෘත්තිවල ඉතා වැදගත්කමක් දෙමින් සඳහන් කරනවා. ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන සංචාරකයන් අතරින් සුළු පිරිසක් කොවිඩ්-19 රෝගීන් බව හඳුනාගෙන තිබෙනවා. ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ ජෛව බුබුලු ක්‍රමයකට බව ආණ්ඩුව කියනවා. කෙසේ වෙතත්, ඔවුන් යාල වනෝද්‍යානයේ සෆාරි රැගෙන ගිය ජීප් රථ රියදුරන්ට දින 14ක නිරෝධායනයකට ලක්වන්නට සිදුවීම ඔවුන් කම්පනයට ලක්කර තිබෙනවා. ඉතා සුළු ගාස්තුවක් වෙනුවෙන් කරන ලද රැකියාව හේතුවෙන් ඔවුන්ට නිරෝධායනය වීමට සිදුවන බව ඔවුන්ට කල්තබා දන්වා නැති බවයි ඔවුන් කියන්නේ. කෙසේ වෙතත්, හමුදාව මැදිහත් වී ඔවුන් නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මෙම සංචාරක පිරිස ශ්‍රී ලංකාවට සම්බන්ධීකරණය කළ බව කියන්නේ යුක්රේනය හා ශ්‍රී ලංකාව අතර කුප්‍රකට මිග් ගනුදෙනුවේ වගඋත්තරකරුවකු වන, රාජපක්ෂ පවුලේ ඥාතියකු හා ව්‍යාපාරික හවුල්කරුවකු බව පෙනෙන උදයංග වීරතුංගයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මව, උදයංග වීරතුංගගේ මවගේ වැඩිමහල් සොහොයුරියයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඔහු රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කළා. මෙම සංචාරය මෙහෙයවන බව පෙනෙන්නේ නාමල් රාජපක්ෂගේ බිරිඳගේ පියා වන තිලක් වීරසිංහයි. ඔහු ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂවරයෙක්.

මෙම සංචාරක පිරිස සම්බන්ධීකරණය කළ සංචාරක ඒජන්ත සමාගම, ඔවුන් රැඳී සිටින හෝටල්, යන එන බස් ආදිය පවා රාජපක්ෂ පවුලේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ට අයත් ඒවායි. එහෙත්, මෙම ව්‍යාපෘතිය ප්‍රචාරය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ගොඩදැමීමට කරන ලද ජාතික කර්තව්‍යයයක් ලෙසයි. ඒ වෙනුවෙන් සංචාරක ප්‍රවර්ධන අධිකාරියක් තිබුණත්, කිසිදු වගකීමක් නොමැති, මතභේදාත්මක පුද්ගලයකු වන උදයංග වීරතුංග තමයි රජයට ඉහළින් සිට මෙම කාර්යය මෙහෙයවන්නේ.

මේ අතර මෙම ගජමිතුරු සමාගම් දේශපාලන බලය පාවිච්චි කරමින් සංචාරක කර්මාන්තය තුළ ඒකාධිකාරයන් ගොඩනගාගැනීමට මෙම අවස්ථාව භාවිතා කරන බවක් ද පෙනෙනවා.

ඒ සම්බන්ධයෙන් මේ වන විට සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවා විරෝධය දක්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම සඳහා අවශ්‍ය පර්යේෂණ, අත්හදාබැලීම් ආදිය සිදුකරනවා නම් කළ යුතු වගකිව යුතු රාජ්‍ය ආයතන තිබෙනවා. එහෙත්, මේ වන විට රාජපක්ෂ පවුල තිබෙන්නේ ඒ සියල්ලටම ඉහළින් බව මෙම සිද්ධියෙන් පෙනෙනවා.

කොවිඩ් රෝග ව්‍යාප්තිය හා මෙය පසුපස තිබෙන ගජමිතුරු ධනවාදී වැඩසටහන නිසා යුක්රේන ජාතිකයන්ගේ මෙම සංචාරය සමාජයේ දැඩි විවේචනයට ලක්වී තිබෙනවා. ඇත්තෙන්ම මෙමගින් සංචාරක කර්මාන්තය ගොඩදැමිය හැකිද යන්න ගැටලුවක්.

ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය යළි ආරම්භ කළ යුතුව තිබෙනවා. ඍජුව හා වක්‍රව එයින් යැපෙන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රමිකයන් හා සුළු ව්‍යාපාරිකයන් මේ වන විට බිමටම හාන්සි වී හමාරයි. එහෙත්, මෙවැනි අවිධිමත්, පුද්ගලවාදී විකාරවලින් සංචාරක කර්මාන්තය ගොඩගන්නට බැහැ. ඒ සඳහා රජය විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. එය යම් පැහැදිලි ප්‍රතිපත්තියක් මත පදනම් විය යුතුයි. පුද්ගලයන්ගේ හදිසි කල්පනා මත පදනම් වෙලා මේ වගේ දේ කරන්නට බැහැ. ඒවා තිරසර වන්නේත් නැහැ. ඒවායින් ඇතැම්විට වාසියට වඩා දැඩි හානියක් සිදුවෙන්නටත් පුළුවන්.

මේ හැම දෙයකින්ම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තම සැබෑ වර්ණ ප්‍රදර්ශනය කරමින් සිටින බව කියන්නට පුළුවන්. පැරණි වෘත්තිකමය නොවන චර්යාවන්, ගජමිතුරු ව්‍යාපාර හා දූෂණ නැවත පණගැන්වෙමින් තිබෙන්නේ මහජනතාව දැඩි දුෂ්කර තත්වයන් තුළ ජීවිත පවත්වාගැනීමට අරගල කරන සමයක වීම ඉතාම කණගාටුදායක තත්වයක්.