හැත්තැ හතර අවුරුද්දෙ කතාව

අජිත් පැරකුම් ජයසිංහ

74 අවුරුද්දක් ජනතාව රැවටුණාය කියන එකමත් බොරුවක්. ජනතාව රැවටුණේ නැහැ. ඔය කාලය තුළ මේ රට හැම පැත්තකින්ම සංවර්ධනය වුණා. උපතේදී ආයු අපේක්ෂාව වැඩිවුණා. පෝෂණය වර්ධනය වුණා. සාක්ෂරතාව, අධ්‍යාපනය දියුණු වුණා. අපේ නිවාස, මං මාවත්, යාන වාහන ආදී හැම දෙයක්ම නවීන වුණා. කොටින්ම තිස් බඹේ එළිබැස්ස ග්‍රාමීය සමාජයේ පවා කාමරවලට ඇටෑච් කරපු නානකාමර හැදුණා.

දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් විතරක් නෙමෙයි ජනතාව කියන එවුනුත් පොදු දේපල හොරා කෑවා. උදාහරණයක් විදියට තීරු බදු රහිත කාර් පර්මිට් අරගත්ත එවුන් විශාල ප්‍රමාණයක් ඒවා විකුණලා අයථා විදියට මුදල් හම්බ කළා. ගම් මට්ටමේදි ගොවියො සහනාධාරෙට දුන්න පෝර නාස්ති කළා. හැම මට්ටමකම දූෂණ ගැන ඕනැ තරම් කියන්න පුළුවන්. දේශපාලකයන් විතරක් නෙමෙයි හොරු.

එතකොට රජය ගත්ත ණයවලට මොකක්ද වුණේ කියල අහන අය ඉන්නවනෙ. මාටියා ගහපු එවුන් ඉහළම මට්ටමේ සිට පහළම මට්ටම දක්වාම ඉන්නවා. පොදුවේ ගත්තොත්, වැඩි මිලට ආනයනය කළ ඉන්ධන අඩු මිලට ගහගත්ත, වැඩි නිෂ්පාදන වියදමක් දරමින් අඩු මිලට විකිණූ විදුලිය පරිභෝජනය කළ, විදේශ ණයවලින් පෙග් කරලා අඩු මිලට තියාගත්ත ඩොලර්වලින් කාර් ගත්ත, ගෙවල් හදාගත්ත, ජොලි කරපු, වැඩි මිලට ගෙනත් නිකං දුන්න පෝර පාවිච්චි කරපු හැමෝම කළේ ඒ ඩොලර් වියදම් කරපු එක තමයි. ඒ ක්‍රමය උඩ දාගෙන අගය කරමින් ඒ දේශපාලකයන්ට ඡන්දය දුන්න ජනතාවම තමයි උන්ටත්, නිලධාරීන්ටත් හොරකම් කරන්නට දිරිගැන්වූවෙත්.

දේශපාලකයන් කරන දූෂණ වගේම තමයි ජනතාව කරන දූෂණත්. දේශපාලකයකුට කැන්වසිං ගිහින්, පෝස්ටර් ගහලා රජයේ ආයතනයකට හොර පාරෙන් රිංගගන්න ජනතාව එදා සිට වැඩ ඇතත්, නැතත් වැටුප්, මැරෙනකල්ම විශ්‍රාම වැටුප් හෝ ඊපීඑෆ්, බෝනස් වැනි වරප්‍රසාද, වැඩ ඇතුව හෝ නැතුව අතිකාල, පුහුණුවීම්, ශිෂ්‍යත්ව, විදේශ චාරිකා ආදී බොහෝ දේ ලබාගන්නවා.

රට කඩා වැටුණෙ එහෙමයි. දැන් ඉතින්වත් තමන්ගෙ වගකීම භාරගන්න. නැතිනම් පුළුවන් වෙන්නෙ විනාශ කරන්න විතරයි. අපි කවුරුත් වගකීම දේශපාලකයන්ට විතරක් පටවමින් මේ රට හදන්න බැහැ. දේශපාලන අවස්ථාවාදීන් පරදවමු.