National flags

සිවිල් තනතුරුවලට හමුදා නිලධාරීන් පත් කරන්නේ ඇයි?

අජිත් පැරකුම් ජයසිංහ

කොවිඩ්-19 පාලනය වෙනුවෙන් දිස්ත්‍රික් 25ට ප්‍රධානීන් ලෙස හමුදා නිලධාරීන් 25දෙනෙකු පත්කිරීම සමාජයේ අවධානයට ලක්වී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජය මුහුණදෙන බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සොයන්නේ හමුදාවෙන්. මීට පෙර ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස මේජර් ජනරාල් එස්.එච්. මුණසිංහ පත්කළා. රජයේ ජ්‍යේෂ්ඨ තනතුරුවලට පත්කරන ලද හමුදා නිලධාරීන් ගණන දුසිම් ගණනක්. එම පත්කිරීම්වල ඵලදායිතාව විශ්ලේෂණය කර බැලුවහොත් කුමක් සිදුවෙයිද?

දේශපාලනයේදී මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්කරන ලද හිටපු නාවික හමුදා නිලධාරි සරත් වීරසේකර සාර්ථක වී ඇති බවක් පෙනෙන්නේ නැහැ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කරන ලද විශ්‍රාමික හමුදා නිලධාරි කමල් ගුනරත්න සම්බන්ධයෙන් තත්වයත් එයයි. ඔවුන් සාර්ථකත්වයක් නොපෙන්වද්දී ජනාධිපතිවරයා කරන්නේ තව තවත් හමුදා නිලධාරීන් රාජ්‍ය සේවයට පිරවීමයි.

ජනාධිපතිවරයා සියලු ප්‍රශ්නවලට විසඳුම් හමුදාවෙන් සොයන්නේ ඇයි? එයට මූලික හේතුව, හමුදාව හැර ලක්ෂ දහයකට වැඩි රජයේ සේවය කළමනාකරණය කරගන්නට හා කාර්යක්ෂම කරගන්නට ඔහු අසමත් වීම නොවේද?

ජනාධිපති තනතුරට පත්වුණා නම්, රාජ්‍ය යාන්ත්‍රණයට නායකත්වය දීම හැර වෙනත් විකල්පයක් නැහැ. ජනාධිපති වුණා කියා විශ්වකර්ම වන්නට බැහැ. හමුදාව රජයේ තනතුරුවලට පත්කළාය කියලා කිසිවක් නොවන බව තේරුම්ගන්නට ගතවන්නේ මාස කීපයක් විතරයි.

හැබැයි, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පහසු කාර්යයකුත් නෙමෙයි. එය ඒ තරමට නිලධාරිවාදයෙන්, දූෂණයෙන්, කුසලතා නැතිකමින්, පුහුණුව පිළිබඳ ගැටලුවලින්, හරිහමන් වැටුප් නැතිකමින් පීඩාවට පත්වෙලා.

යුද්ධයක් නොමැති මෙම සමයේදී හමුදා නිලධාරීන් ඵලදායී කාර්යයන්ට යෙදවීමේ වරදක් නැහැ. එත්, හමුදාව රජයේ ඉහළ තනතුරුවලට පත්කිරීමෙන් රජයේ කාර්යක්ෂමතාව ඉහළ යනවා වෙනුවට අනෙක් පැත්ත සිදුවන්නට පුළුවන්. සම්පූර්ණයෙන්ම වෙනස් සංදර්භයකින් පැමිණෙන හමුදා නිලධාරීන් රාජ්‍ය සේවයට මැදිහත් වන ආකාරය වෙනස්. සරලව කිව්වොත්, හමුදා පාට් සිවිල් සමාජයට හරියන්නෙ නැහැ. ඒක රජයේ ඉහළ තනතුරුවලට තියා ගමේ ජන ජීවිතයටවත් ගැලපෙන්නෙ නැහැ. ඒ නිසා සාමාන්‍ය සොල්දාදුවන් නම් ගමේදි ගමට අවශ්‍ය විදියට ජීවත් වෙනවා. රජයේ තනතුරුවලට පත්කරන ලද හමුදා නිලධාරීන් එයට සමත් විය යුතුයි. සරත් වීරසේකර, කමල් ගුනරත්න වැනි අය නම් දිගින් දිගටම පෙන්වා තිබෙන්නේ ඔවුන් එයට අසමත් බවයි. එහෙත්, යුද්ධයේ අවසානයෙන් පසු ජ්‍යේෂ්ඨ තනතුරුවලට පත් වර්තමාන හමුදා නිලධාරීන් යුද කාලයේ රණවිරු මානසිකත්වයෙන් සිටි හමුදා නායකයන්ට වඩා වෘත්තිකභාවයෙන් ඉහළ මට්ටමක සිටින්නටත් පුළුවන්.

ජනාධිපති ගෝඨාභය රජයේ ඉහළ තනතුරුවලට හමුදා නිලධාරීන් පත්කිරීම කුමන්ත්‍රණ න්‍යායයෙන් විග්‍රහ කර භයානක චිත්‍රයක් නිර්මාණය කරන්නටත් පුළුවන්. එහෙත්, මා නම් හිතන්නේ ජනාධිපතිවරයාට සාර්ථක මර්දකයකු වන්නට ඉඩක් නැහැ. මහජන මර්දනයට බැස්සොත් ඔහුට ගොඩඑන්නට බැරි වේවි. ඒ වගේම, ජන මර්දනයකට හමුදා සහාය කොයිතරම් දුරට ලැබෙයිද කියන එකත් සැකයි. යුද කාලයේ හමුදාවලට වඩා ශිෂ්ට, වඩා වෘත්තික මට්ටමේ හමුදා තමයි දැන් තියෙන්නෙ.

අනෙක් පැත්තෙන්, මේ මොහොතේ රජයට කිසිවක් කරන්නට නොදෙන්නේ විපක්ෂ බලවේග නෙමෙයි. රජයේම හවුල්කරුවන් තමයි. ඒ නිසා මර්දනය කරනවා නම් කරන්නට සිදුවන්නේ තමන්ගේම බලවේග තමයි. හැබැයි, රට ගොඩදාන්නට දැඩි උවමනාවක් තිබෙනවා නම්, ගැඹුරක් නොමැති, ජාතිවාදී, මිථ්‍යාව පසුපස යන බයි බලවේගය නිසි තැනින් තියන්නට නම් වෙනවා. ඒක මර්දනයෙන් නොවෙයි, මොළෙන් කළ යුතු වැඩක්.