Samurdhi

සමෘද්ධි නිලධාරීන්ගේ ප්‍රශ්නය නොව සමෘද්ධි නිලධාරීන් නම් ප්‍රශ්නය විසඳනු


දිළිඳු ජනතාවට රජය දෙන සමෘද්ධි සහනාධාර මුදල් සමෘද්ධිලාභීන්ට ලබාදීම සඳහා සිටින සමෘද්ධි නියාමක/ නිලධාරි ආදී නම්වලින් හැඳින්වෙන මෙම නිලධාරීන්ට වැටුප් ගෙවීම වෙනුවෙන් සමෘද්ධිය සඳහා වෙන්කරන අරමුදලින් 25%ක්ම වැය වේ.

සමෘද්ධිලාභීන්ගේ ලේඛනය ග්‍රාම නිලධාරි ලවා ගෙන්වාගෙන, බැංකු ගිනුම් නැති සමෘද්ධිලාභීන්ට ගිනුම් විවෘත කරවා දී, එම මුදල් කෙළින්ම බැංකු ගිනුමට මාරු කරනවා නම්, මෙම නිලධාරීන් පිරිස අවශ්‍ය වන්නේ නැත. ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා වැයවන මුදලින් සමෘද්ධිලාභීන් සංඛ්‍යාව 20%කින් පමණ වැඩිකළ හැකිය.

ඵලදායී වැඩක් නොකර මහජන මුදලින් පඩිගන්නා, දේශපාලකයන්ට ගොටු ඇල්ලීම ජීවනෝපාය කරගත් මේ රාජ්‍ය නිලධාරීන් පසුගිය මාර්තු 30දා සෙත්සිරිපාය අබියසට පැමිණ තවත් බඳවාගැනීම් හා උසස්වීම් ඉල්ලා උද්ඝෝෂණයක් ද කළහ. සමෘද්ධි නිලධාරීන් බඳවාගැනීම හැමවිටම සිදුවුණේ දේශපාලනය මත පදනම්වය.

සමෘද්ධි නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳීමට වඩා රටට වැදගත් වන්නේ සමෘද්ධි නිලධාරීන් නම් ප්‍රශ්නය විසඳාගැනීමයි. රජයේ සේවකයන් අඩුකිරීමේ ක්‍රියාමාර්ග ආරම්භ කිරීම සඳහා යෝග්‍යම පිරිසක් වන්නේ සමෘද්ධි නිලධාරීන්ය. ඔවුන්ගේ ඊනියා සේවය ඉතා පහසුවෙන් බැංකු හරහා කරගත හැකිය.

රටේ දිළිඳු ජනතාවගේ දිළිඳුකම නැතිකිරීම සඳහා මෙතෙක් කල් උපදෙස් දුන් ඔවුන් රජයේ රැකියාව අහිමි වූ පළියට දිළින්දන් වීමේ හේතුවක් නැත.

ස්වේච්ඡාවෙන් විශ්‍රාමයාමේ ක්‍රමයක් ඔවුන් වෙනුවෙන් ලබාදිය යුතුය. කිසියම් ව්‍යවසායක් ආරම්භ කිරීමට හෝ පෞද්ගලික අංශයේ වෙනත් රැකියාවක් සොයාගැනීමට හැකි වන පරිදි ඔවුන්ට යම් සාධාරණ වන්දියක් ගෙවිය යුතුය. අවශ්‍ය ධාරිතා ගොඩනගමින් ඔවුන් පුනරුත්ථාපනය කළ යුතුය.

ඔවුන් වෙනුවෙන් වැය කරන මහජන මුදල් සහනාධාර අත්‍යවශ්‍ය ජනතාව වෙත යොමු කළ හැකිය.