Cartoon by Ajith Perakum Jayasinghe

සජිත් නැවතත් පරාදයි

එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය තව දුරටත් දිග්ගැසෙමින් සජිත් ප්‍රේමදාස එජාපය කඩාගෙන යාමට පසුබසිමින් සිටින බව වාර්තා වේ.

Translations

බැසිල් රාජපක්ෂ විසින් මුලපුරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආදර්ශය අනුගමනය කරමින්, එක්සත් ජාතික පක්ෂයේ සුවිසල් ම පංගුව කඩාගෙන අලුත් පක්ෂයක් පිහිටුවා, එජාප ජ්‍යේෂ්ඨයන් කපා දමා, තනතුරු තමන් අතර බෙදාගෙන ඉදිරියට යාමේ උවමනාවෙන් සිටි සජිත් දිරිගැන්වූ කල්ලිය සජිත්ගේ පසුබෑමෙන් අපහසුවට පත් වී තිබේ.

ඔවුන් විසින් ගොඩනගන ලද නව පක්ෂය වන සමගි ජාතික බලවේගය හා හදවත ලාංඡනය අතහැර දැමීමට සජිත් පෙළැඹී ඇති බව වාර්තා වේ. සමගි ජාතික බලවේගය ඉංග්‍රීසියෙන් Unity National Power – UNP වන නිසා එජාපය එම පක්ෂය පිළිගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමට විරෝධතාවක් ඉදිරිපත් කර තිබේ.

සජිත් ප්‍රේමදාස නායකත්වය දුන් කල්ලියට එරෙහිව එජාප නිල ව්‍යූහය තුළින් ප්‍රබල විරෝධයක් මතු වීම සජිත්ගේ පසුබැසීමට ප්‍රධාන හේතුව බව වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස පාර්ශ්වය මහජන ජනප්‍රියත්වය භාවිතා කරමින්, පක්ෂ විනයට එරෙහිව කටයුතු කරමින්, පක්ෂයට පිටින් මහරාජා මාධ්‍ය වැනි බලයන් පාවිච්චි කරමින් පක්ෂ නායකත්වය දීර්ඝ කාලීන මෙහෙයුමක් ඔස්සේ කොටු කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් තැනක සිටියි. එම හේතුව මත ම නායකයා කණෙන් අල්ලා දොට්ට විසි කිරීමේ සජිත් පාර්ශ්වයේ අවශ්‍යතාවට පක්ෂය තුළින් ම විරෝධය මතු වී තිබේ. මහජන තලයේදී බොහෝ එජාප නායකයන් අසාර්ථක ය. අසාර්ථකත්වය නිසා ඉදිරි මහ මැතිවරණයකින් ජයගැනීම අභියෝගයක් වී තිබෙන බොහෝ අය සජිත් ප්‍රේමදාසගේ ජනප්‍රියත්වය ඔස්සේ රැකවරණය බලාපොරොත්තු වෙති.

එහෙත්, සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය තුළ ජනප්‍රිය වුව ද මහජනතාව අතර එතරම් ජනප්‍රියත්වයක් ඔහුට නොමැති බව පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් ඔප්පු විය.

මේ වන විට එක්සත් ජාතික පක්ෂය තුළ රවී කරුණානායක, නවීන් දිසානායක වැනි අය සජිත් ප්‍රේමදාසට අභියෝගාත්මක ලෙස මතු වෙමින් තිබේ.

Translations by Creative Content Consultants

ඉදිරි මැතිවරණයකදී එජාපය තියුණු පරාජයකට මුහුණ දෙන බැවින් එහි දෝෂාරෝපණය තමන් පිට පැටවෙන හෙයින් ද සජිත් ප්‍රේමදාස පසුබැස තිබේ. එසේම, ඔහුගේ පාර්ශ්වයේ බොහෝ මන්ත්‍රීවරුන් ඉදිරි මහ මැතිවරණයෙන් පරාජය වීමත් සමග ඔවුන් පක්ෂය තුළ කිසිදු බලයක් නොමැති අය බවට පත් වී පාර්ශ්වය දුර්වල වීම ද තවත් හේතුවකි. උදාහරණයක් ලෙස පසුගිය රජය සමයේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති පදවිය දරමින් රජයේ මාධ්‍ය අසාර්ථකත්වයට වගකිව යුතු මූලික පුද්ගලයකු වූ ඉමිටියාස් බාකීර් මාකාර් එජාප කෘත්‍යාධිකාරී කමිටුවෙන් ඉවත් කිරීමත් සමග ඔහු නිකම් ම නිකම් එජාප සාමාජිකයකු බවට පත් වී තිබේ. ඔහු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කර තිබෙන්නේ හිටපු මන්ත්‍රීවරුන්ගේ නියෝජිතයකු ලෙස වන අතර එම මන්ත්‍රීන්ගේ සංසදය විසින් ඔහු නැවත ඒ සඳහා යෝජනා නොකිරීම නිසා ඔහුට තනතුර අහිමි වී තිබේ. තමන් පත් වුණේ කෙසේ ද යන්න පිළිබඳව පවා ඔහුට අවබෝධයක් තිබූ බව නොපෙනේ.

ඉදිරි මැතිවරණ පරාජය දකිමින් සජිත් පාර්ශ්වයේ බොහෝ අය ජාතික ලැයිස්තුවට මාරු වීමට උත්සාහ කරන අතර හරින් ප්‍රනාන්දු තමන්ට සන්ධානයේ ජාතික සංවිධායකත්වය ලබා දී ජාතික ලැයිස්තුවට ලබා දෙන ලෙස විවෘතව ම ඉල්ලා සිටියේ ය.

එජාප අර්බුදය හේතුවෙන් එම පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී ජයගන්නා ආසන සංඛ්‍යාව බෙහෙවින් අඩුවීමට ඉඩ තිබේ.

ජය පරාජය කෙසේ වෙතත්, පක්ෂය සුද්ද කරගැනීම එජාප නායකත්වයේ අරමුණ වී තිබෙන බව ද දැනගන්නට තිබේ. සජිත් ප්‍රේමදාස පාර්ශ්වයට කඩාගෙන යාමට ඉඩහැර තිබුණ මුත්, සජිත් සමග වෙනම ගමනක් කෙරෙහි මෙන් ම තමන් කෙරෙහි ද විශ්වාසයක් නැතිකම නිසා එම බලවේගය ඉවත් වී යන බවක් පෙනෙන්නේ නැත.