Sajith Premadasa and Ranil Wckramasinghe

සජිත්ට පුළුවන්ද?

අජිත් පැරකුම් ජයසිංහ

මීට මාස කීපයකට පෙර මා දෙවරක් ඇමතූ සජිත් ප්‍රේමදාස මහතා තමන්ට දේශපාලනික සහාය ලබාදෙන්නැයි මගෙන් ඉල්ලාසිටියේය. වරක් සිවිල් සමාජ නියෝජිත පිරිසක් සමග ඔහු සමගින් යම් කතාබහක් කිරීමට අවස්ථාව ලැබිණි. ඔහුගේ උපායමාර්ගය සම්බන්ධයෙන් විවෘතවම විවේචනය කළ මා කීවේ යම් යම් දේ දෙන බවට පැවසීම වැරදි බවයි. කරන්නට බැරි දේ නොකියා, දැන් සිටම අනාගතයේ තමන් කරන්නට යන පාලනය සම්බන්ධයෙන් සමාජය දැනුම්වත් කළ යුතු බවත්, එසේ නොමැති නම්, බොරු කියා බලය ලබාගත් ගෝඨාභය රාජපක්ෂගේ ඉරණමට ගොදුරු විය හැකි බවත් මා පෙන්වාදුන්නා.

ඔහු එය පිළිගත් බවක් පෙනෙන්නට නැහැ. ඔහු පමණක් නොව, වෙනත් බොහෝ බල අපේක්ෂකයන් ද කරන්නේ ජනතාවට ඇත්ත නොකියා හෝ බාගෙට ඇත්ත කියා රවටා බලය ලබාගැනීමට උත්සාහ කිරීමයි. යම් දුරකට ජනතාවට ඇත්ත තත්වය පහදා දීමේ එඩිතරකම ඇත්තේ 43 සේනාංකයට හා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහට පමණක් බව මගේ අදහසයි. ආණ්ඩුව පවා ඇත්ත කතාකරන්නේ නැත.

ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මා ලියූ මෙම ලිපිය ඇතැම් අන්ධ භක්තිකයන්ගේ වෛරයට හේතු වුවත්, එය සමාජ සංවාදයකට ලක්වීම යහපත් තත්වයකි. කියවන්න: හරිනි හරිද?

සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් මා දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් මා අයත් වන දේශපාලන කණ්ඩායමක් වන අලුත් කතාබහ ව්‍යාපාරයේ මිතුරන් පවා ඇත්තේ සතුටකින් නොවේ. සජිත් ප්‍රේමදාසට මෙන්ම මම 43 සේනාංකයට ද උපකාර කරන්නෙමි. ඊට පෙර එක්සත් ජාතික පක්ෂයට උපකාර කළ මම රනිල් වික්‍රමසිංහ 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු දකින්නට කැමැත්තෙන් සිටියෙමි. එහෙත්, එය සිදුවූයේ නැත. එබැවින් ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීමේ හැකියාව තිබුණු අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාසට උපකාර කළෙමි. මීට වසර කීපයකට පෙර ජනතා විමුක්ති පෙරමුණ ලංකා පුවත්පතේ කොලමක් ලියන්නට ආරාධනා කළ අතර මම අවුරුදු ගණනක් තිස්සේ සතිපතා ස්වේච්ඡාවෙන් එම කොලම ලියන්නෙමි. මා සමග එසේ ආරාධනා ලැබ කොලම් ලිවූ ජවිපෙ නොවන වෙනත් අය දැන කොලම් ලිවීම අත්හැර ඇතිමුත් ජවිපෙ ආධාරකරුවන් ලෙස පෙනී සිටිමි. උපකාර කිරීමේදී උපකාර ඉල්ලා සිටීමෙහි ද යම් වැදගත්කමක් තිබේ. මගෙන් උදව් ඉල්ලන ඕනෑ කෙනෙකුට කළ හැකි උදව් තිබේ නම් මම කරමි. සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් මගේ ප්‍රතිචාරය ද එයයි. අනෙක, ඔහු විශේෂ හොඳ පුද්ගලයකු හෝ නරක පුද්ගලයකු යයි තක්සේරුවක් මට නැත. එවැනි තක්සේරු කරන්නේ තමන්ගේ කැමැත්ත අනුවයි. මට අනුර කුමාර, චම්පික රණවක, සරත් ෆොන්සේකා හෝ ගෝඨාභය රාජපක්ෂ ගැන පවා එවැනි හොඳ හෝ නරක තක්සේරු නැත. ඔවුන්ගේ අතීත චර්යාවන් පිළිබඳ මතක පමණක් තිබේ. අනාගතය ගැන කියන්නට මා දන්නේ නැත.

බොහෝ අය කැමති තමන් කැමති දේශපාලන පක්ෂයට හෝ නායකයාට අනෙක් අයත් කැමති වෙනවාටය. එවැනි අය අතර තිබෙන පොදු ලක්ෂණයක් වන්නේ තමන් ඉතාම නිවැරදි, ප්‍රබුද්ධ තේරීම කර ඇති නිසා අනෙක් සියලු දෙනා මුග්ධයන්, ද්‍රෝහීන් ලෙස පෙනීමයි. දේශපාලනය දෙස විවෘතව බැලීමේ හැකියාවක් නොමැතිකම ලංකාවේ පුරවැසි දේශපාලන සාක්ෂරතාවේ බරපතල ගැටලුවකි. එක් එක් වකවානුවලදී ආන්තික ලෙස එක් එක් නායකයන් පසුපස යනවා වෙනුවට සමස්තය දෙස විවෘතව බලා තෝරාගැනීම් සිදුකළ හැකි ගුණය අප වර්ධනය කරගත යුතුය.

නායකත්වය ගැන මා සිතන අන්දම මෙසේය. අපට නායකයන් ලෙස සිටින අය සියලුදෙනා මා නම් දකින්නේ අප ප්‍රවර්ධනය කරන පුරවැසිභාවයට පිටුපසින්  සිටින අය ලෙසයි. යම් යම් බුද්ධිමය ප්‍රතිභාවන් තිබුණ ද, රනිල්, චම්පික, අනුර, ගෝටා, මහින්ද, බැසිල්, මංගල, ෆොන්සේකා ආදී සියලු දෙනා එතරම් ඉදිරිගාමී නායකයන් නොවේ. ඔවුන් සියලුදෙනා විවිධ මානසික ගැටලු අඩුවැඩි වශයෙන් ඇති බව පැහැදිලිවම ප්‍රදර්ශනය වේ. ….. ඔටිස්ම් ලක්ෂණ පළකරයි. …… ඕසීඩී ලක්ෂණ පළකරයි. ……, ……., …….., ……… වැනි අය වෙතින් සේඩිස්ට් ලක්ෂණ දක්නට ලැබී තිබේ. ………, ………, …….. වැනි අයගේ අනපේක්ෂිත චෞර භූමිකාවන්ට හේතු අතර ක්ලෙප්ටොමේනියා වැනි තත්වයන්ගේ බලපෑම් තිබිය හැකිය. ……… වැනි ……….. නායකයන් වෙතින් හීනමාන ලක්ෂණ දැකිය හැකිය. මේ තත්වයන් මට ද යම් යම් මට්ටම්වලින් තිබේ. මේ අය ඒවා ප්‍රසිද්ධියේම පළකර තිබේ. මේ කිසිදු නායකයෙක් අති විශිෂ්ට පෞරුෂයන් නොවේ. ලංකාවේ නායකත්වයේ තත්වය එයයි.

එබැවින් අපට සිදුවන්නේ නායකයන් නිර්මාණය කරගැනීමටයි. නැතිනම් සිටින නායකයන් ගොඩනගාගැනීමටයි. අප අපේක්ෂා කරන නායකත්වය අපට ලැබෙන්නේ නැත. නායකයන් සම්බන්ධයෙන් වුවත් සානුකම්පිත ප්‍රවේශයක් අවශ්‍ය යයි මම පෞද්ගලිකව සිතමි. නායකයන් විවේචනය කිරීමේදී සාධනීය විවේචනයක් තිබිය යුතුය. එය ගෝඨාභය, සජිත්, අනුර යන කවුරුත් සම්බන්ධයෙන් එසේ විය යුතුය. ගෝඨාභය හා අනුර සම්බන්ධයෙන් නම් සාධනීය විවේචනයට අප කැමතිය. සජිත් සම්බන්ධයෙන් අකැමැති ඇයි ද යන්න අධ්‍යයනය කළ යුතු තත්වයකි.

සජිත්ට අප කැමති වුණත්, අකැමැති වුණත්, ඔහු මේ රටේ අනාගත රාජ්‍ය නායකයකු වීමේ විභවය ඇති කෙනෙකි. ඔහුගේ චර්යාවන්, ප්‍රතිපත්ති ආදිය විවේචනය කිරීම ඔහුගේ ගොඩනැගීම සඳහා ඉවහල් විය හැකිය. එසේ ඉවහල් වන්නේ ඔහු ඒවාට සවන්දෙන්නේ නම් පමණි. 

සජිත් යනු මෝඩයෙකිය යන මතය ඉතා ශක්තිමත් ලෙස සමාජගත කර තිබේ. සජිත් පමණක් නොව අප පවා මීට අවුරුදු 30කට පෙර සිටි අය නොවේ. සජිත් සම්බන්ධ පොසිටිව් දේ වාර්තා නොවී නෙගටිව් දේ පමණක් අධි වාර්තාකරණයක් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස, සජිත් මාතරදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තේමා කරගෙන පැවැත්වූ කතාව මාධ්‍යවලට මගහැරරෙන හැටි අප සිතන තරම් අහිංසක අතපසුවීම් නොවේ. මෙය මාධ්‍ය පැත්තෙන් මෙන්ම සමාජ විද්‍යාත්මකව ද අධ්‍යයනය කළ යුතු තත්වයකි.

එසේ කී විට ඔබට කට කොණකින් හිනා යන්නට ඉඩ තිබේ. එහෙත්, එමගින් පෙන්නුම් කරන්නේ තත්වයේ බැරෑරුම්කම යයි මම සිතමි. විකල්ප යයි කීව ද අපගේ මාධ්‍ය පවා මෙවැනි තැන්වලදී ප්‍රධාන ධාරාවෙන් වෙනස් වන්නේ නැත. ……… සමලිංගිකයෙකි යන මතය ද මේ අන්දමින්ම සමාජය තුළ ස්ථාපිත කරන ලද බව ද, මහින්ද හා ගෝඨාභය සම්බන්ධයෙන් එහි අනෙක් පැත්ත ලෙස වීරත්වයක් ප්‍රවර්ධනය කිරීම සිදුවූ බව ද මම සිතමි. 

මාධ්‍යකරුවන් ලෙස අවධානය යොමුවිය යුතු පැත්තක් මෙහි තිබේ. අප කෙතරම් දුරට ජනප්‍රිය, මධ්‍යම පන්තික මතයට නතු වෙනවාද යන්න ගැන මම නිතරම සංවේදී වෙමි. එම මතයේ බලපෑම නොමැති නාගරික හා ග්‍රාමීය පීඩිත පංතික කොටස් අතර සජිත් ජනප්‍රිය වෙමින් සිටින්නේ නම්, මා සිතන පරිදි, මධ්‍යම පන්තිය හා පීඩිත පංති අතර දැවැන්ත පරතරයක් නිර්මාණය වෙමින් තිබේ.  

සජිත් විරෝධය යනු මේ මොහොතේ මධ්‍යම පන්තික ක්‍රමය ආරක්ෂා කරන රාජපක්ෂවාදයට සහ එහි ගැලවුම්කරුවන්ට කරනු ලබන ලොකුම සේවය නිසා, මා පෞද්ගලිකව එය සමග එකතු වන්නේ නැත.

සජිත්ගේ ප්‍රතිපත්ති, චර්යාව, කතාබහ, ආකල්ප සම්බන්ධයෙන් මට ද ගැටලු තිබේ. එහෙත්, සජිත් වෙනස් වෙමින් නායකයකු ලෙස සංවර්ධනය වෙනවා දකින්නට මම කැමැත්තෙමි. මේ ලිපි ඔහු කියවනවාදැයි මම හරිහැටි නොදනිමි.

මේ කාරණය අනුර කුමාර වැනි අයට ද අදාළය. අනුර කුමාර සම්බන්ධයෙන් මට තිබෙන ප්‍රධාන ගැටලුව ජනතා විමුක්ති පෙරමුණ මධයම පන්තික අධිපති දෘෂ්ටිවාදයේ නියමුවා වීමයි. රාජපක්ෂවරුන් ක්‍රියාත්මක කරන්නේ එම ක්‍රමයයි. ජවිපෙ අරමුණු කරන්නේ දූෂණයෙන් තොර රාජපක්ෂවාදයකි. එනම්, දැවැන්ත රාජ්‍ය අංශයක් නිර්මාණය කරමින් ආර්ථිකයේ අති විශාල රාජ්‍ය භූමිකාවකි. ඒ ඔස්සේ රජය වැඩි වැඩියෙන් අධ්‍යාපනය, සන්නිවේදනය ආදිය හසුරුවාගෙන සමාජ ආධිපත්‍යය තහවුරු කරගැනීමකි. එය දැනට පවත්නා සූරාකෑම තවත් තීව්‍ර කරමින් මධ්‍යම පන්තිය තවදුරටත් ශක්තිමත් කරනු ඇත. මම එයට විරුද්ධය. මට අවශ්‍ය වන්නේ රජයේ හා එහි ආධිපත්‍යය හොබවන මධ්‍යම පන්තියේ බලය දුර්වල කරමින් වැඩකරන හා ව්‍යවසායක බලවේග ශක්තිමත් කරන සමාජ වෙනසකි.

සජිත් ද දෘෂ්ටිවාදීමය වශයෙන් ශක්තිමත් තැනක සිටින අයෙකු නොවේ. ඔහු ද මහින්ද රාජපක්ෂ වැනි ජනප්‍රියවාදයට නතුවන්නට වැඩි ඉඩක් ඇති අයෙකි. ජනප්‍රියවාදය තුළ අප බලාපොරොත්තු වෙන ආකාරයෙන් කම්කරු හා ව්‍යවසායක පන්ති ශක්තිමත් කිරීම වෙනුවට සිදුවන්නේ සුපුරුදු පරිදි රාජ්‍ය සම්පත් භාවිතා කරමින් මධ්‍යම පන්තිය නැළවීමයි. එහෙත්, සමගි ජන බලවේගය තුළ චම්පික, හර්ෂ, එරාන් වැනි ආර්ථික හා දේශපාලනික වශයෙන් දියුණු දැක්මක් සහිත නායකයන් සිටීම ද රනිල් වික්‍රමසිංහ වැනි අය සමග සන්ධානගත වීමට සමගි ජන බලවේගයට යම් හැකියාවක් තිබීම ද මා සමගි ජන බලවේගය සම්බන්ධයෙන් සුබවාදීව සිතීමට කැමති හේතුවයි. සජිත් ජනාධිපති වීමේ දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරන පුද්ගලයෙකි. ඔහු පවසන පරිදි ඔහු විශ්වාසය තබන්නේ 19+ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඔස්සේ ජනාධිපති ධුරය සම්බන්ධයෙන් සංවරණ හා තුලන ශක්තිමත් කිරීමයි. එවැනි නායකයකුට අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ පන්නයෙන් වන් මෑන් ෂෝ සිදුකරන්නට බැරිවනු ඇත. විශේෂයෙන්ම චම්පික රණවක, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, රනිල් වික්‍රමසිංහ වැනි අය මැනැවින් කළමනාකරණය කරගන්නට ඔහුට හැකි විය යුතුය.

අනෙක් පැත්තෙන්, සමගි ජන බලවේගය යනු මේ මොහොතේ ලංකාවේ ජනප්‍රියම හා බලවත්ම විපක්ෂයයි. සජිත් ප්‍රේමදාස යනු පනස්හය ලක්ෂයකට ආසන්න ඡන්ද ලබාගත් අයෙකි. මෙම කරුණු නොතකා හැර විපක්ෂයේ බලය පිළිබඳ සිතන කිසිවකුට යථාර්ථය හමුවන්නේ නැත.

මීළඟ ලිපියෙන් රාජපක්ෂලා ගැන නැවත සිතා බලමු.