SJB protest

සජිතසාත්මිකතාව

අජිත් පැරකුම් ජයසිංහ

මේ මොහොත විප්ලවීය අවස්ථාවකි. එම අවස්ථාව දිගුකල් පවතින්නේ නැත. ලංකාවේ හැටියට ගතහැකි විප්ලවීය පියවර කීපයක්ම ආණ්ඩුව විසින් දැනටමත් ගෙන තිබේ. ඒවා පවත්නා ක්‍රමය වෙනස් කරන තීරණයි. රුපියල පාකිරීම හා ඉන්ධන ආනයන මිලට විකිණීම එම පියවරයි. රටට ඩොලර් ලැබීමත් සමග තත්වය මඳ වශයෙන් සමනය වීමේ හැකියාවක් තිබේ. එහෙත්, ශ්‍රීලන්කන්, විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව, ජල සම්පාදනය, ලංගම, දුම්රිය වැනි ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම අත්‍යවශ්‍යය.

සියල්ල ඇරඹුණේ පොහොර සහනාධාරය අහෝසි කිරීමෙනි. කෘෂිකර්මාන්තය වෙළඳපොළකරණයෙනි. එහි අවශ්‍ය හැඩගැසීම් දැන් සිදුවෙමින් තිබේ. ඇතැමෙකු බලාපොරොත්තු වූ ආහාර අර්බුදය තවම ඇති වූයේ නැත.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ද යහපත් තත්වයකි. ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමක් මේ අවස්ථාවේදී ශක්තියක් වනු ඇත. එසේම, මනා රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් අත්‍යවශ්‍යය. ලංකාව ආදායම අනුව වියදම් කරන, ආදායම වර්ධනය කරගැනීම සඳහා ණයගන්නා රටක් බවට පත්විය යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික උපදෙස් ඒ වෙනුවෙනි.

රට සංවර්ධනය කරන්නට නම්, ව්‍යවසායකයන් ශක්තිමත් විය යුතුය. පුරවැසියන් ඵලදායී වැඩවල යෙදිය යුතුය. හන්දි ගානේ ත්‍රිරෝද රියවල, ලොතරැයි කූඩුවල, කඩ බක්කිවල ඈනුම් අරිමින් කාලය කෑම වෙනුවට ගහකින් ගෙඩියක් හදාගැනීමට හෝ යොමුවිය යුතුය.

මේ අතර රජයෙන් නඩත්තු වන මධ්‍යම පන්තියේ දේශපාලන බලය බිඳ දැමිය යුතුය. වැඩකරන ජනතාවගේ හා ව්‍යවසායකයන්ගේ ආණ්ඩුවක් පත්කර ගත යුතුය.

වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මේ මාවතට යොමුවී තිබේ. එහෙත්, රාජපක්ෂවරුන්ගේ ගැටලුව ඔවුන් දූෂණය මත පදනම් වූ පිරිසක් වීමයි. මේ වන විට ඔවුන්ගේ ආර්ථිකයත්, රටේ ආර්ථිකයත් පැටලෙමින් තිබේ. ධම්මිකලා, නන්දනලා, දිලිත්ලා කරන බිස්නස්, ඩොලර් බැඳුම්කර මිලදීගැනීම් හා ආපසු ගෙවීම් ආදිය රාජපක්ෂ පවුල හා රටේ ආර්ථිකය සමග පැටලී තිබේ. මෙය අතිශය නරක තත්වයකි. මේ දූෂණයට මුල්තැන දී රටකට ඉදිරියට යා නොහැකිය.

විසඳුම් දෙකක් තිබේ. එක්කෝ ගෝඨාභය රාජපක්ෂ නාමිකව හෝ රාජපක්ෂ පවුලෙන් බිඳී පාලනය මෙහෙයවිය යුතුය. නැතිනම්, වෙනත් පාලකයකු පත්විය යුතුය.

වත්මන් විප්ලවීය සංදර්භය සමග ජනතා විමුක්ති පෙරමුණට කුමක් කළ හැකිද යන්න පැහැදිලි නැත. මන්ද, ඔවුන් ඉදිරියට ගෙන එන සමාජවාදී සංකල්ප ක්‍රියාත්මක කිරීමට නම්, රාජපක්ෂවාදය දූෂණයෙන් තොරව ක්‍රියාත්මක කළ යුතුය. පොහොර සහනාධාරය දිය යුතුය. ඉන්ධන වැඩි මිලට ගෙනැවිත් අඩුමිලට දිය යුතුය. ශ්‍රීලන්කන් පවා රජය අත තබාගනිමින් රජය ශක්තිමත් කළ යුතුය. මේ මොහොතේ ජවිපෙට කළ හැකි කිසිවක් නොමැති බව ඒ වටා එක්වී සිටින ජාතික ජන බලවේගය නොදන්නවා වුණාට ජවිපෙ දනී. ඒ නිසා ජවිපෙ උත්සාහ කරන්නේ ආණ්ඩු බලය ගැනීමට නොව, පාර්ලිමේන්තුව තුළ වැඩි ආසන ගණනක් සහිතව ශක්තිමත් වීමටයි. එය හොඳ තත්වයකි.

අනාගත නායකත්වය සඳහා විපක්ෂයේ සැබෑ තරගය තිබෙන්නේ සජිත් ප්‍රේමදාස හා චම්පික රණවක අතරයි. චම්පිකට රට සම්බන්ධයෙන් දියුණු දැක්මක් ඇති බව 43 සේනාංකයේ ගොඩ එමු ගොඩනගමු ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පවා පැහැදිලි විය. එය මෙම විප්ලවීය අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ රජයට කරන්නට සිදුවී තිබෙන දේ තරම් විප්ලවීය නැති වුණත්, ප්‍රතිපත්තිමය වශයෙන් තිරසාරය. එහෙත්, සජිත් ප්‍රේමදාස පසුබස්වා ඉදිරියට පැමිණීමේ හැකියාවක් චම්පිකට නැත.

සජිත් ප්‍රේමදාස රාජ්‍ය නායකත්වය වෙනුවෙන් දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරන පුද්ගලයෙකි. මේ අවස්ථාවේ පවතින අර්බුදයට ඔහුට විසඳුම් තිබේදැයි ඇතැමෙක් අසති. ඇත්ත කතාව නම්, විසඳුම් දැනටත් දී හමාර බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් රාජ්‍ය මූල්‍ය විනය නිර්මාණය කරගත යුතුය. ගෝඨාභය රාජපක්ෂ කළ ආකාරයේ මෝඩ වැඩ නොකර සිටීම ප්‍රමාණවත්ය. එනම්, රාජ්‍ය අංශය සාමාන්‍ය පෙළ අසමතුන්ගෙන් හා වැඩකට නැති උපාධිධාරීන්ගෙන් පිරවීම, ආර්ථිකය කඩාකප්පල් වන ඇඳිරි නීති දැමීම, ආනයන සම්බාධක දැමීම, ටයිල්, සිමෙන්ති, බෙහෙත් ආදී වෙළඳපොළවල තමන්ගේ ව්‍යාපාරිකයන්ට ඒකාධිකාරය හැදෙන පරිදි අනෙක් ව්‍යාපාර බිඳදැමීම ආදිය නොකළ යුතුය.

සජිත් ප්‍රේමදාසට නොව, වෙනත් ඕනෑම කෙනෙකුට ලංකාව ගොඩගැනීම දුෂ්කර නැත. ගෝඨාභය රාජපක්ෂ කාලයේ ලංකාව වලට ඇදදැමීම සඳහා ගත් පියවර ඔස්සේ දැනටමත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුවෙමින් තිබේ. ගෝඨාභය රාජපක්ෂට පවා මාස කීපයකින් තත්වය කළමනාකරණය කරගත හැකි වනු ඇත. එහෙත්, පවුලේ බිස්නස් හා රටේ බිස්නස් පටලවාගෙන මේ රට ගොඩනැගිය නොහැකිය.

මේ මොහොතේ ආණ්ඩුවට පැවැත්ම රැකගැනීම සඳහා අවශ්‍ය පදනම දැනටමත් නිර්මාණය කරගෙන තිබේ. එනම්, මධ්‍යම පන්තික සජිතසාත්මිකතාවයි. එනම්, මධ්‍යම පන්තියට සජිත් අසාත්මික වීම හෙවත් රුස්සන්නේ නැති වීමයි. මෙය දීර්ඝ කාලයක සිට පවතින මධ්‍යම පන්තික එජාප විරෝධයේම දිගුවකි. එයට ඉතා පැහැදිලි පන්තිමය පදනමක් තිබේ. ලංකාවේ මධ්‍යම පන්තික ආධිපත්‍යයට එජාපය අභියෝගයකි. එයට හේතුව එජාපය මූලධාර්මික වශයෙන් ව්‍යවසායකයන්ට මුල්තැන දෙන පක්ෂයක් වීමයි. ව්‍යවසායකයන් ලංකාවේ මධ්‍යම පන්තික ආධිපත්‍යයට අභියෝගයකි. එහෙත්, එජාපය පවා කිසි කලෙක මධ්‍යම පන්තික ආධිපත්‍යයට දැඩි ලෙස අභියෝග කර නැත.

ජේආර් විරෝධය, ප්‍රේමදාස විරෝධය හා රනිල් විරෝධයේ වර්තමාන දිගුව සජිත් විරෝධයයි. රනිල් දිගුකලක් එජාපයේ නායකත්වය හෙබවීම විවේචනය කළ අයම දැන් සජිත්ටත් විරුද්ධය. සජිත් විරෝධයේ පදනම් පරීක්ෂා කිරීම රසවත්ය. මධ්‍යම පන්තිකයන් සජිත්ට අකැමැති හේතු ලැයිස්තුවක් පහත දැක්වේ.

  • ආර්. ප්‍රේමදාසගේ පුතා වීම.
  • ගොවිගම, කරාව වැනි කුල පසුබිමකින් නොපැමිණීම
  • සජිත්ගේ බොඩි ලැංවිජ් එක
  • සජිත්ගේ කටහඩ, කතාව හා හැසිරීම
  • සජිත් ජනාධිපති වෙන්නම හිතාගෙන සිටීම
  • ජලනි ප්‍රේමදාසගේ සැමියා වීම
  • දුලාංජලී ප්‍රේමදාසගේ අයියා වීම
  • හේමා ප්‍රේමදාසගේ පුතා වීම
  • සජිත්ට ටිකක් වෙන්න ඕසීඩී ලක්ෂණ තිබීම හෙවත් විෂබීජ ගැන අධි සංවේදීතාව

ඉහත දක්වන ලද කිසිවක් ඇත්ත වශයෙන්ම වැරදි නොවේ. මේ ලක්ෂණ සෙසු සියලු නායකයන් අතර ද තිබේ. සජිත් ද සෙසු සියලු නායකයන් මෙන්ම හොඳ, නරක දෙකම මුසු සාමාන්‍ය පෞරුෂයකි. ලංකාවට අති විශිෂ්ට නායකයන් නැත. දේශපාලනයේ පමණක් නොව, අන් හැම තැනකම එසේය.

සජිත් අතන මෙතන අරක මේක නිකම් දෙනවා යයි කියන බව ද ඇතැමෙක් පවසති. එහෙත්, මධ්‍යම පන්තිකයන් ඇතුළු මේ රටේ සියලුදෙනා පොහොර සහනාධාරයේ සිට තීරු බදු රහිත වාහන බලපත්‍රය දක්වා විවිධ දේ රජයෙන් ලබාගැනීමට දැඩි ලොල්කමක් දක්වති. සජිත් ඡන්ද කාලයේ නිකම් දෙනවාය කියූ එක් දෙයක් වන්නේ සනීපාරක්ෂක තුවාය. නිකම් දීම කෙසේ වෙතත්, ඒවා මත පණවා තිබෙන බදු හෝ ඉවත් කළ යුතුය. දිළිඳු පවුල්වල ගැහැණු ළමයින්ට හා කාන්තාවන්ට සනීපාරක්ෂක තුවාය ගරුත්වය හා ස්වස්ථතාව සඳහා ඉතා වැදගත් අවශ්‍යතාවකි. ඒවා නොමිලේ ලබාදීම හොඳ දෙයකි. අත්‍යවශ්‍ය කොටස් වෙත විධිමත් ලෙස යොමුකර සහනාධාර ලබාදීම අවශ්‍යය.

සජිත්ට මෝඩ පුතා යයි නමක් පටබැඳී තිබේ. එහෙත්, සජිත් යනු සිය පියාගේ අභාවය නිසා සම්පූර්ණ කරගත නොහැකිව අතහැර දැමූ මාස්ටර්ස් උපාධිය සඳහා පසුගියදා විභාගයට පෙනී සිටි අයෙකි. ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩලයේ සීමාවාසික පුහුණුව ලැබූවකු බව කියන ඔහු මැනැවින් ඉංග්‍රීසි කතා කළ හැකි, බුද්ධිමය සමාජවලදී බුද්ධිමත් ලෙස අදහස් දැක්වීමේ ද හැකියාව ඇති අයෙකි. තමන් ගැන එතරම් කයිවාරු නොගසන පුද්ගලයකු වන ඔහු සරල ලෙස අඳින, පළඳින, කන බොන, සාමාන්‍ය නිවසක ජීවත් වන, සංගීතයට, ඡායාරූප ශිල්පයට කැමති සාමාන්‍ය මිනිසෙකි. මහන්සි වී වැඩ කරන්නෙකි. පිරිසිදුකම ගැන ඔහුගේ අධි සංවේදීතාව ඔහුගේ පෞද්ගලික තෝරාගැනීමක් වන අතර, එයින් සෙසු අයට ද පාඩම් උගත හැකිය.

ඔහු කතාකරන්නේ මධ්‍යම පන්තියට නොවේ. ඔහු ජනප්‍රිය ද මධ්‍යම පන්තිය අතර නොවේ. ඔහු වටා සිටින්නේ ද මධ්‍යම පන්තික බුද්ධිමතුන් සමූහයක් නොවේ. ඔහු පීඩිත පන්තිය අතර ජනප්‍රිය වීමට මෙම ලක්ෂණ ද ඉවහල් වන්නට ඇත. චම්පිකට සජිත් පසුබස්වන්නට අපහසු මූලික හේතුව ඔහු තම ජනප්‍රියත්වය පීඩිත නාගරික හා ගැමි ජනතාව අතර තහවුරු කරගැනීමයි. චම්පික තරග කරන මධ්‍යම පන්තික අවකාශයේ ඔහුට වඩා ගෝඨාභය හා අනුර ශක්තිමත්ය.

ගජමිතුරු ව්‍යාපාරික ජාලයක් ඔහු වටා සිටින බවක් දැනට නිරීක්ෂණය වන්නේ නැත. සිරස දිගින් දිගටම ඔහුට උපකාර කර ඇති අතර, දැන් නම් දෙරණ ද සජිත්ට ආවඩන බව පෙනේ. බිස්නස්කාරයන්ගේ හැටි එහෙමය.

සජිත්ට රකින්නට සනුහරයක් ද නැත. අගමැතිවරයකුගේ, ජනාධිපතිවරයකුගේ දරුවකු ලෙස අවුරුදු දහයකට වැඩි කාලයක් හැදුණු වැඩුණු ඔහුට වෙනත් බොහෝ අයට තිබෙන හීනමානයන් නැති බව ද පෙනේ. ඔහු කුලභේදය ගණන් ගන්නේ නැත. එක්සත් ජාතික පක්ෂයේ ඊනියා ප්‍රභූන් ඔහුට ඉදිරියට එන්නට ඉඩ නොදුන් එක් හේතුවක් වන්නේ කුලයයි. එහෙත්, ඔහු එය තඹයකට මායිම් කරන්නේ නැත. ඔහු ද භික්ෂූන් පසුපස යන්නකු වුව ද, ඔහු වෙතින් ආගම්වාදී, ජාතිවාදී, පුරුෂෝත්තමවාදී අදහස් පළවෙනවා අඩුය.

ඔහු කතාකරන්නේ පීඩිත පන්තියටයි. ඒ කතා මධ්‍යම පන්තියට ගෝචර නැත. ඒවා ගොන්කතා ලෙස ඉස්මතු කරමින් සමාජ මාධ්‍යවල කැම්පේන් කරන්නේ මධ්‍යම පන්තිකයෝයි. එහෙත්, පීඩිත පන්තියේ සහයෝගය ඔහුටය. චම්පික රණවකට සජිත් ප්‍රේමදාස පසුබස්වන්නට බැරි එම නිසාය. අන් සියලුදෙනා මධ්‍යම පන්තිය සතුටු කරන්නට වැඩ කරද්දී සජිත් ආපසු එක්සත් ජාතික පක්ෂයේ පීඩිත පන්තික පදනම ශක්තිමත් කරගෙන ඇති බවක් පෙනේ.

මධ්‍යම පන්තිය දැන් ඉතින් එක් තෝරාගැනීමක් කළ යුතුය. එනම්, ගෝඨාභය රාජපක්ෂද, නැතිනම් සජිත් ප්‍රේමදාසද යන්නයි. ජවිපෙ උත්සාහ කරන්නේ සිය ආසන සංඛ්‍යාව වැඩිකරගෙන ශක්තිමත් විපක්ෂයක් වන්නට මිස ආණ්ඩු බලය ගන්නට නොවේ. එය නරක නැත. ජවිපෙ ආණ්ඩු බලය ගන්නට උත්සාහ කරනවා යයි සිතන ජාතික ජන බලවේගයේ මධ්‍යම පන්තික බුද්ධිමතුන්ට ද ආසන කීපයක් ලැබෙනු ඇත. එය ද නරක නැත.