Niroshan Gorakana

වරායේ සමිති නායකයාගේ ආර්ථිකය හා ලංකාවේ ආර්ථිකය

අජිත් පැරකුම් ජයසිංහ

නිරෝෂන් ගොරකානගේ වරායේ සමස්ත ලංකා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්ය. ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු ද වන ඔහු පසුගිය සමස්ත මහා වැඩ වර්ජනය ආසන්නයේදී තමන්ගේ ආදායම් වියදම් විස්තරයක් මාධ්‍යවලට ගෙනහැර පෑවේය. එය අපගේ පුද්ගල ආර්ථිකයන් සම්බන්ධයෙන් මෙන්ම ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් ද වැදගත් උපමා කතාවකි. එම විස්තරය මෙතැනින්.

ඒ අනුව, නිරෝෂන් ගොරකානගේ දළ වැටුප 120,220කි. ඔහු වරායෙන් ලබාගෙන තිබෙන දස මාසේ ණය, බහුකාර්ය ණය, සමුපකාර ණය ආදී ණය ලබාගෙන තිබෙන අතර ඒ ණය වාරික කැපීමෙන් පසු ඔහුගේ වැටුපෙන් ඉතිරි වන්නේ රු. 46,707කි. සාමාන්‍යයෙන් ණය ලබාදීමේදී ණය වාරික හා පොළිය සඳහා මාසිකව ගෙවිය යුතු මුදල වැටුපෙන් 40%ක් ඉක්මවා යන පරිදි ණය ලබාදෙන්නේ නැත. කෙසේ වෙතත්, ඔහු බැංකුවකින් ද ණයක් ලබාගෙන තිබේ. එහි වාරිකය රු. 49,000කි. අවසානයේදී ණය ගෙවීම සඳහා ඔහු වැටුපට අමතරව තවත් රු. 2,000කට වැඩිය සොයාගත යුතුය. රජය අය කරන පුද්ගල ඉහළ ආදායම් බද්දට එරෙහිව දියත් කළ වර්ජනයේ නායකයකු වූ ඔහුගෙන් අයකරනු ලබන බද්ද රු. 1,200ක් පමණ වේ.

අප බොහෝදෙනෙකුගේ පුද්ගල ආර්ථිකයන් මෙවැනි බව බොරුවක් නොවේ. එසේ වන්නේ, අප මිලදී ගත් ඉඩම්, හදන හෝ හැදූ නිවාස, පාවිච්චි කරන වාහන, දරුවන්ගේ අධ්‍යාපනය, උත්සව, පිංකම්, සංචාර, විනෝදාස්වාදය ආදිය වෙනුවෙන් අපට දරන්නට සිදුවී තිබෙන වියදම් නිසාය. ආදායම ප්‍රමාණවත් නොවේ නම් අපට අනිවාර්යයෙන්ම අමතර ආදායම් සොයාගැනීමට සිදු වේ. රජයේ සේවකයන්ට නම්, අතිකාල, අතයට ගනුදෙනු හෝ රැකියාවට සම්බන්ධ නැති වෙනත් ව්‍යාපාරික කටයුතු කිරීමට සිදු වේ. නැතිනම්, උරුම වූ හෝ උපයාගත් දේපළ විකුණන්නට ද සිදු වේ. එසේ නොකළහොත්, ණය ගෙවන්නට තවත් ණය ලබාගෙන, ණය ගොඩගැසී, ගෙවාගන්නට නොහැකිව අවසානයේදී කඩාවැටීම නියතය. අපේ රටේ ගෘහයන්ගෙන් 59.7%ක් ණයගැතියන් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්මතමේන්තුව විසින් 2019 වසරේදී කරන ලද ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණය මගින් පෙන්නුම් කරන ලදි.

ශ්‍රී ලංකාවට සිදුවූයේ ද අපට සිදුවූ දේ වැනිම දෙයකි. 2023 මාර්තු මාසය සඳහා රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 173ක් වන අතර රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි සහනාධාර වෙනුවෙන් රජය දැරීමට අපේක්ෂිත වියදම රුපියල් බිලියන 196ක් බව කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පසුගිය පෙබරවාරි 21දා කියා සිටියේය. ඒ අනුව, රජයට එදිනෙදා වියදම් සඳහා දැරීමට සිදු වන අත්‍යවශ්‍ය වියදම් සඳහා තවත් රුපියල් බිලියන 23ක් අවශ්‍යය. එයට අමතරව මාර්තු මාසයේදී දේශීය විදේශීය ණය සේවාකරණය සඳහා රුපියල් බිලියන 508ක් ඇස්තමේන්තු කර ඇති බවද ඇමැතිවරයා කීවේය. සමස්තයක් ලෙස ගත් කල මාර්තු මාසයේ රජයේ ආදායම රුපියල් බිලියන 173කි. වියදම රුපියල් බිලියන 727කි. හිඟය රුපියල් බිලියන 554කි.

පුද්ගලයන් ලෙස අපගේ තත්වයට වඩා රජයේ තත්වය ඛෙදජනකය. එහෙත්, අපගේ නිදර්ශනය වන වරාය සේවකයා සම්බන්ධයෙන් යෝජනා කළ හැකි විසඳුම කුමක්දැයි සලකා බැලූ පසු අපට රජය සම්බන්ධයෙන් කළ හැකි දේ ද අනුමාන කළ හැකිය. දැන් අප පළමුව කළ යුතුව තිබෙන්නේ එකී වරාය සේවකයාගේ පණ රැක දීමයි. ඔහුට හා ඔහුගේ පවුලට ආහාර සහ අනෙකුත් පහසුකම් අවශ්‍යය. ඔහු වැඩට පැමිණිය යුතුය. වැඩ කළ යුතුය. එහෙත්, දැන් ඔහුට ණය ගෙවාගන්නට තරම්වත් ආදායමක් නැත. වහා කළ යුතුව තිබෙන්නේ ණය ගෙවීම නවත්වා පණ ගැටගසාගැනීමට අවශ්‍ය වියදම් වෙනුවෙන් ආදායම යෙදවීමයි. එහෙත්, වැටුප බැංකු ගිනුමට ගිය වහාම එය කැපී යන නිසා, බැංකුව සමග සාකච්ඡා කළ යුතුය. ණය කපාහරින්නට බැරිය. එසේ කරන්නේ නම්, බැංකුවට අනෙක් අයට ද එම සහනය ලබාදීමට සිදු වේ. ඒ නිසා සාකච්ඡා කළ හැක්කේ ණයෙන් යම් ප්‍රමාණයක් කපාහැරීම, පොළිය අඩුකිරීම, ණය ගෙවීම කල්දමාගැනීම වැනි ක්‍රියාමාර්ගයකි. නැතිනම්, ණය අලුත් කරගන්නට පුළුවන. එනම්, ණය ගෙවීම සඳහා තවත් ණයක් ගැනීමයි. ඔහුට හිතවත් සංවිධානයකට සහන පොළියට හෝ පොළී රහිතවණයක් සැපයිය හැකිය. එහෙත්, නැවත වතාවක් ඔහු ණය ගෙවාගත නොහැකි තත්වයට පත් නොවන අන්දමින් එය සිදු නොකළහොත් ඵලදායිතාවක් නැත.

ප්‍රශ්නය වන්නේ ණය ගෙවීම සඳහා සේවකයාගේ ආදායම ප්‍රමාණවත් නොවීමයි. එසේ නම්, කළ යුතුව තිබෙන්නේ වහා ආදායම් වැඩිකරගැනීම සඳහා පියවර ගැනීමයි. ඔහුට අතිකාල සේවයේ යෙදිය හැකිද, රැකියාවට පරිබාහිරව වෙනත් අමතර රැකියාවක් හෝ ව්‍යාපාරයක් කර ආදායම වර්ධනය කරගත හැකිද, වෙනත් රැකියාවකට යන්නේද, විදේශ රැකියාවකට යන්නේද වැනි කාරණා සැලකිල්ලට ගන්නට සිදුවේ. අනවශ්‍ය වියදම් තිබේ නම්, ඒවා නතර කළ හැකිය. එවැනි ආකාරයකින් ණය ආපසු ගෙවීම සඳහා හැකියාව පෙන්විය යුතුය. සහනයක් ලබාගැනීම සඳහා එය ද අත්‍යවශ්‍යය. ණය තිරසරභාවය ඇතිකරගැනීම යයි කියන්නේ එයටයි.

ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් ද තත්වය එවැනිය. ණය ගෙවාගත නොහැකි වීම නිසා රජය ණය ගෙවීම පැහැර හැර තිබේ. පසුගිය කාලයේ ආනයන සඳහා ප්‍රමාණවත් ඩොලර් ආදායමක් රටේ තිබුණේ නැත. ඒ නිසා විදේශ සංචිත ද වියදම් කරන්නට සිදු විය. දැන් තත්වය පාලනය කරගෙන තිබේ. එහෙත්, රජය තවමත් බංකොලොත්ය. දැන් කළ යුතුව තිබෙන්නේ කුමක්ද? ණය හිමියන් සමග සාකච්ඡා කර ණය සහනයක් ලබාගත යුතුය. ඒ සඳහා ණය තිරසරභාවය ඇතිකරගැනීම සඳහා මූලික පියවර ගත යුතුය. රාජ්‍ය ආදායම් ශක්තිමත් කරගත යුතුය. රාජ්‍ය වියදම් අඩුකරගත යුතුය. එහෙත්, එකවරම රාජ්‍ය වියදම් අඩුකරගැනීම පහසු නැත. රැකියාවලින් රාජ්‍ය සේවකයන් ඉවත් කළ නොහැකිය. සහනාධාර බෙල්ල මුලින් කපා දැමිය නොහැකිය. එසේ කළහොත්, සමාජ අර්බුදය තීව්‍ර වෙයි.

බාහිර උපකාර අවශ්‍ය වන්නේ මෙම පසුබිම නිසාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා වෙනත් සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය ශ්‍රී ලංකාව අපේක්ෂා කළේ එම නිසාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදීම සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹුණේය. ඒ අනුව, ලංකාව ණය තිරසරභාවය ඇතිකරගැනීම සඳහා පියවර ගත යුතු විය. ආදායම් වැඩිකරගැනීම සඳහා බදු ඉහළ නැංවූයේ ඒ නිසාය. එසේම, ඉන්ධන, ගෑස්, විදුලිය වැනි පාරිභෝජන අවශ්‍යතා වෙනුවෙන් පොදුවේ සියලුදෙනාට සහන දීම නැවැත්වීමට සිදු විය. දිළිඳුභාවය හේතුවෙන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩාවකට ලක්වන ජනයා වෙනුවෙන් සුබසාධන සහන ක්‍රමයක් සම්පාදනය කරන්නැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට උපදෙස් ලබාදුන්නේය. රජය ඒ අනුව කටයුතු කිරීමට තම සූදානම පෙන්වූයේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යක්ෂයකු ලෙස නිරූපණය කිරීම දීර්ඝ කාලයක සිට වාමාංශිකයන්, ජාතිකවාදීන් හා අරාජිකවාදීන් විසින් සිදුකරනු ලබන දෙයකි. මීට කලින් ශ්‍රී ලංකාව 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය බව ද, එහෙත්, හරි නොගිය බව ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිය ලොව රටවලට හරි නොගිය බව ද කියනු ලැබේ. 1990 දශකය අගභාගයේදී දකුණු කොරියාව ණය ගෙවාගැනීමට නොහැකිව බංකොලොත්භාවය අද්දරටම තල්ලු වූ විට, 1997 දෙසැම්බරයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොරියාවට ඩොලර් බිලියන 58ක් වන ඉතිහාසයේ වැඩිම ඇපවීම ප්‍රදානය කිරීමට ඉදිරිපත් විය. කොන්දේසි වූයේ වෙළඳාම හා ප්‍රාග්ධන ගිනුම් නිදහස් කිරීම, ශ්‍රම වෙළඳපොළ නීති සංශෝධනය, සමාගම් පාලනය ප්‍රතිව්‍යූහගත කිරීම ආදියයි.මෙම කොන්දේසිවලට එරෙහිව කොරියාවේ ද දැඩි විරෝධයක් මතුවිය. එහෙත්, මහජන කැපවීම් හේතුවෙන් 2001 අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුළු ණයම ආපසු ගෙවීමට කොරියාවට හැකි විය. කොරියාව ගොඩගියේ මහජන කැපකිරීම් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද සහයෝගය නිසාය. කොරියාව ණය තිරසරභාවය පමණක් නොව තිරසර සංවර්ධනය ද නැවත තහවුරු කරගැනීමට සමත් විය.

ලංකාව බොහෝ විට කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් අතරමග අතහැරීම හෝ සම්පූර්ණ කිරීමෙන් පසුව ප්‍රතිපත්ති ආපසු හැරවීමයි. ලංකාවට නැවත නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට සිදුවී තිබෙන්නේ එම නිසාය. නැතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වරදක් නිසා නොවේ. අපගේ ආදායම් වියදම් තුලනය කරගැනීම හා ණයට ලබාගන්නා මුදල් ඵලදායී සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය කිරීම අපේ වැඩකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කළ හැක්කේ උපදෙස් දීම හා ඒ වෙනුවෙන් දිරිගැන්වීමක් ලෙස ණය දීම පමණි. තීරණය ඇත්තේ අපගේ අතේය. දැන් අප සැලකිලිමත් විය යුතුව තිබෙන්නේ ආර්ථිකය ගොඩදාගත් පසු රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම අනුව ආර්ථික සංවර්ධනය තිරසර කරගන්නවා වෙනුවට නැවතත් පරණ පීල්ලටම මාරුවෙන්නට ආණ්ඩු කටයුතු කරයිද යන කාරණය සම්බන්ධයෙනි.