Ranil at big match

රනිල් රෝයල් සෙන් තෝමස් බිග් මැච් ගියා – වසන්ත මුදලිගේ ෂැංග්රිලා ගියා

අජිත් පැරකුම් ජයසිංහ

රනිල්ගෙ කට්ටිය උන්ගෙ බිග්මැච් අභිචාරය රටේ කටේ උලන්න හදනවා. ඒ ගමන් මුදලිගේ ෂැංග්‍රිලා ගියා කියලා වැළලෙනවා. මුදලිගේගෙ කට්ටිය හනී අපි තාම දුප්පත්, කල්ලල්ලෑ බොල්ලල්ලෑ කියන්න තටමනවා.

හැබැයි මේ වැළලෙන්න හදන හැමෝම තමන්ගෙ ගේ ගැන, වාහනේ ගැන, රට ඉන්න ළමයි ගැන පම්පෝරි ගහන මධ්‍යම පංතිකයෝ.

දැන් මුදලිගේලට ෂැංග්‍රිලා යන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ වෙනකොට රාජ්‍ය නොවන සංවිධාන බහුතරයක් ඉන්නෙ අරගල-පෙරටුගාමී-ජාජබ ලයින් එකේ. යූඑන්නෙක, අයියෙන්ජීඕ, එන්ජීඕ නිසා තමයි අපිත් ඔය හෝටල්වලින් කෑවෙ. ලංකාවෙ දරිද්‍රතාවයට, කාන්තා හිංසනයට, ජනවාර්ගික ප්‍රශ්නයට පිංසිද්දවෙන්න වැඩමුළු, සම්මන්ත්‍රණ අරවා මේවා නිසා මේ මාත් ඔය හැම ජාතියකම තරු හෝටල්වල කාලා, බීලා විතරක් නෙමෙයි දපලාත් තියෙනවා. හරියට එන්ජීඕ එකකට සෙට්වෙන්න බැරිවුණේ එදා ඉඳන්ම කට නෙමෙයි අත හොඳ නැති නිසා. ඒ කියන්නෙ මේ වගේ ඒවා ලියන නිසා. එහෙම වාතයක් නොවුණා නම් මේ වෙනකොට ලෝකෙ වටේ ටුවර් ගිහින් එක එක කොන්ෆරන්ස්වලටම. ඒ එන්ජීඕ ලෝකය දැන් පෙරටු ලයින් එකේ ඉන්න අයගෙ දෙපතුල් ගාව තියෙන්නෙ. ඉස්සර සුනන්දලාට ඇදිච්ච ලොතරැයිය වගේ එකක්.

මේ කරක් ගහපු ටිකෙන් මතුගම අහ උපන්න මං නම් දැනගත්තා ඔය ඉහළ පැළැන්තිය කියන එවුන්ගෙ තියෙන්නෙ අපට වඩා චුට්ටක් පොෂ් කතාකරන ඉංගිරිසි විතරයි, මෙන මොන බම්බුවක්වත් නැහැ කියලා. ලියන ඉංගිරිසිය නම් සමහර වෙලාවට උන්ගෙ එකට වඩා අපේ හොඳයි. ප්‍රභූ ඇතැමුන්ගෙ පෞරාණික වලව්වලට වඩා පොෂ් ගෙවල් අපේ ගම්වල කොරියාවෙ ගිහින් ආපු කොල්ලන් හදල තියෙනවා. ප්‍රභූ කියන එවුනුත් සංස්කෘතික නැහැ. අපි වගේම හොර හැත්ත. කලාවක්, රසවින්දනයක් දන්නෙ නැහැ. උන්ටත් අපට වගේම තමයි, නටන්න බැහැ. බැරිත් නැහැ ඉතින්, අපි වගේම තමයි, අජූවයි.

සරලව කිව්වොත්, ප්‍රභූය කියන අයගෙයි, නිර්ප්‍රභූ කියන අයගෙයි දෙගොල්ලන්ගෙම තියෙන හීනමානය හැර වෙන මොකක්වත් ඔය පැළැන්ති අතර නැහැ.

හැබැයි මේ ප්‍රභූ – නිර්ප්‍රභූ හීනමානය තමයි දැන් ඊළඟ ඡන්දෙදි මාකට් කරන්න ලෑස්ති වෙන්නෙ. ඒ වෙනස ලකුණු කරගන්න එක එක සංකේත නිර්ප්‍රභූ හීනමානකාරයන් උස්සන් එනවා. රෝයල් සෙන්තෝමස් විරෝධය, කලම්බු සෙවන් විරෝධය, පොෂ් ඉංගිරිස් විරෝධය එක්ක කන්නන්ගර දරුවෝ, ඒ දරුවන්ගෙත් දරුවෝ, මධ්‍ය විද්‍යාල අරව මේව කෑලි දාගෙන එනවා. එමගින් ගම්වල තරුණ පරම්පරාවෙ ඔලු කන්නයි මේ ලෑස්ති වෙන්නෙ. ඇත්තෙන් උන්ට ඕවයෙ වගේ වගක් නැහැ. තරුණ පරම්පරාවට ඔය හීනමානෙ නැහැ. උන්ගෙ හීනෙ තියෙන්නෙ කොළඹට වඩා පුළුල් අග නාගරික සමාජයන් තියෙන රටකට සංක්‍රමණය වෙන එකනෙ. ගෝඨාභයට පිං සිද්ද වෙන්න හදවතට කට්ටකින් අනිනව වගේ දැනිච්ච හෙළ යක්ඛ පුත්ථ හැඟීම දෙයියනේ කියල අන්න තාප්පවල ෆේඩ් වෙමින් යනව දැන්.