Sri Lanka Presidents Palace

මොබ් එකෙන් එළියට ඇවිත් හිතමු

අජිත් පැරකුම් ජයසිංහ

මොබ් එකක් යනු, අරමුණක් වෙනුවෙන් යොමුවූ, අසංවිධානාත්මක හෝ සංවිධානාත්මක, සැලසුම් කරන ලද හෝ ක්ෂණිකව පැනනැගුණු, ශාරීරික හා වාචික ශක්තිය මත ක්‍රියාමාර්ග ගන්නා, බුද්ධියට වඩා ආවේගවලට ප්‍රමුඛතාව දෙන, සාමූහික මිනිස් ක්‍රියාකාරීත්වයකි. (අර්ථකථනය මගේය. කාගේවත් උපුටාගැනීමක් හෝ අදහස් සාරසංග්‍රහ කිරීමක් නොවේ.)

ප්‍රජාතන්ත්‍රවාදය, සාධනීය සමාජ විපර්යාස, මානව හිමිකම්, පුද්ගල නිදහස, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස, ජීවත්වීමේ අයිතිය, වධහිංසනයට ලක්නොවීමේ අයිතිය වැනි වටිනාකම් මොබ් නිසා අවදානමට ලක්විය හැකිය.

බුද්ධිමත් ක්‍රියාමාර්ග ගත යුත්තේ මොබ් ප්‍රචණ්ඩත්වය මැද නොවේ. මොබ් විසිර ගොස් හෝ මොබ් මානසිකත්වය පහව ගොස් සන්සුන් වූ පසුවය.

ජුලි 9 විප්ලවය නම් වන මොබ් ක්‍රියාවලියෙන් පසු මැයි 11 වන විට මේ පිළිබඳ සන්සුන් මනසකින් බලන්නට කැමති අයට දැන් ඊළඟට කරන්නේ කුමක්දැයි කල්පනා කළ හැකිය.

ජුලි 9 විප්ලවය නිසා මේ වන විට සිදුවී තිබෙන දේ නම්, රාජ්‍යය අකර්මන්‍ය වීම, ආණ්ඩුව අක්‍රිය වීම හා පොලිසිය, හමුදාව වැනි අංශ විධිමත් අණ රහිත තත්වයකට පත්වී තිබේ.

අධිකරණය හා නීතීඥ ප්‍රජාව කැරැලිකාරීත්වයන් දිරිගන්වන තත්වයකට පත්වී තිබීම කණගාටුදායක තත්වයකි. යම් ප්‍රදේශයක නීතිය හා සාමය පවත්වාගැනීමේ බලය ඇති මහේස්ත්‍රාත්වරුන් විසින් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රටේ පළමු පුරවැසියාගේ නිවස හා කාර්යාලය ආක්‍රමණයකට ලක්වී තිබේ.

රාජ්‍යය පිළිබඳ බැරෑරුම් අදහසක් ඇති අය මේ සිදුවන දේ පිළිබඳ ගැඹුරින් සිතිය යුතුය. සහශ්‍රක ගණනක් තිස්සේ මිනිස් සමාජය විසින් ගොඩනගාගන්නා ලද සංකල්ප හා පද්ධතිවල ශ්‍රී ලාංකීය ස්වරූපය වන ශ්‍රී ලාංකික රාජ්‍යය පැය කීපයක් ඇතුළත අකර්මන්‍ය කර දමා තිබේ.

ජනතාව අතර ගොඩනැගී ඇති සම්මුතිය අලුත් නීතිය බව ද, කවුරු ආණ්ඩු පත්කරගත්තත් අරගලයේ අපේක්ෂාවන් සමග සම්මුතියකට පැමිණිය යුතු බව ද ඊයේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුනරත්නම් පැවසීය.

එම සම්මුතිය අනුව, ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක ප්‍රධාන මර්මස්ථාන බලයෙන් මැඩපැවැත්විය හැකි පිරිස් බලයක් බලමුළුගන්වා ගැනීමෙන් පාලනයන් වෙනස් කිරීම නිවැරදිය. එය අලුත් සම්මුතිය නම්, එමගින් නිර්මාණය කරන පූර්වාදර්ශය අතිශය භයානකය. අද එය යොමුවන්නේ විධායකයට විය හැකිය. හෙට අධිකරණයට ද එම සන්තෑසියටම මුහුණදීමට සිදුුවිය හැකිය.

ශ්‍රී ලංකාව නම් වන සිංහල බෞද්ධ-මූලික රාජ්‍යය පමණක් නොව, ලංකාව ලෙස අප විසින් පරිකල්පනය කර තිබෙන වඩා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ද දැඩි අර්බුදයකට ලක්වී තිබේ.

මේ වන විට පවතින අපැහැදිලි, අරාජික තත්වය තුළ ආර්ථිකය කඩාවැටීමේ අවදානම තවත් දරුණු වී තිබේ.

අරගලයේ සම්මුතිය අනුව කටයුතු කළ යුතු යයි ඉල්ලාසිටින අය එම සම්මුතිය අනුව කටයුතු කරමින් බලය ලබාගත යුතුය. රට පාලනය කළ යුතුය. පිටින් සිට ජන අරගල සභා අරවා මේවා කරන්නේ කුමටද? කෙළින්ම රාජ්‍ය බලය ලබාගත යුතුය. අරගලයේ සම්මුතිය අනුව, මැතිවරණ ආදී ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාමාර්ග වැදගත් නැත. ඒ ආණ්ඩුව අසාර්ථක වුණොත් වෙනස් කරන ආකාරය ද අරගලයේ සම්මුතිය විසින් හඳුන්වාදී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ ද දිගින් දිගටම ජනතාවට කීවේ වීදි බැස පාලනය පන්නාදමන ලෙසය. එහෙත්, ජනතාව එසේ කළ පසු ඔවුන් ද නිහඬය.

මහලොකුවට 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පවා ගෙනැවිත් අසීමිත බලතල පවරාගත්මුත් ගෝඨාභය රාජපක්ෂ යනු කිසිදු තීරණයක් නිසි වේලාවට ගැනීට අසමත් වූ අයෙකි. රාජ්‍යය මුහුණදී තිබෙන මෙම අභියෝගය ජයගැනීමට ඔහු සමග එක්ව අවදානම් ගැනීමට හමුදාවන් හෝ කැමැත්තක් දක්වන බවක් නොපෙනේ.

කතාව සම්පූර්ණ නැත. දැනට මෙතනින් නවතිමි.