instagram photo

මේ මොහොත මොකක්ද? අපි කරන්නෙ මොකක්ද?

අජිත් පැරකුම් ජයසිංහ

මගේ නම් දේශපාලනය ඉතාම සරලයි. වම විසින් නිර්මාණය කළ හැකි අරාජිකත්වයකට වඩා තිබුණු සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි-රාජ්‍ය මූලික ආර්ථික සමාජ ක්‍රමය පවා සාපේක්ෂව හොඳයි. ඒ නිසා තියෙන එක රැකගන්න තමයි මං වැඩ කරන්නෙ.

ඒකට හේතුව, තියෙන ක්‍රමය කඩලා බිඳලා විනාශ කරදාන්න කට්ටිය හිටියට අලුත් එකක් හදන්න කවුරුවත් නැහැ. කිසි කෙනෙකු ප්‍රායෝගික විකල්ප යෝජනා කරල නැහැ. ඒ වගේම, එහෙම ප්‍රායෝගික විකල්ප නිර්මාණය කිරීමේ වගකීමක් කවුරුවත් භාරගන්නෙත් නැහැ.

අරගලයෙ මුල් යුගයෙ තිබුණෙ ගෝඨා ගෝ හෝම් කියන ප්‍රමුඛ සටන් පාඨය. ගෝඨා ගෙදර පලයන්, ඊට පස්සෙ වෙන දේ අදාළ නැහැ වගේ කතාවක්. ඉතින් ගෝඨා ගියා. රනිල් ආවා. දැන් සටන් පාඨය රනිල් රාජපක්ෂ ගෙදර පලයන්. ඊට පස්සෙ මොකක්ද වෙන්නෙ කියන එක නැවතත් අදාළ නැහැ.

පැවතුණු රාජපක්ෂ ක්‍රමය අවුල් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ ක්‍රමයට තවදුරටත් ඉදිරියට යන්නට බැරිවීම නිසා තමයි ලංකාවේ වර්තමාන අර්බුදය නිර්මාණය වුණේ. අපි ඒ ක්‍රමය වෙනස් කරන්න ඕනැ. කොහොමද? සමාජවාදයෙන්ද? ලිබරල් හෝ නව ලිබරල්වාදයෙන්ද? මං නම් කියන්නෙ එහෙම නෙමෙයි, අපි හොයාගන්නට ඕනැ මේ රට තිරසර සංවර්ධනයේ මාවතට යොමුකරගන්නට පුළුවන් අපට ගැලපෙන ක්‍රමයක්. සංවාදය වගේම දේශපාලන මූලෝපායනුත් ඒ දිශාවට තමයි යොමුවෙන්නට ඕනැ.

එහෙම නැතුව, ආණ්ඩු පන්න පන්න හිටියට අලුත් ක්‍රම හැදෙන්නෙ නැහැ. කිසිවක් ඉබේ හැදෙන්නෙ නැහැ. හදන්න ඕනැ. ඕනැම අලුත් ක්‍රමයක් එහෙමයි. හදන්නෙ නැතුව ඉබේ හැදෙන්නෙ නැහැ. ඉබේ යන්නෙ අරාජිකවාදයට හා එතනින් ම්ලේච්ඡත්වයට.

ලංකාවෙ වර්තමාන දේශපාලනයෙ ප්‍රධාන අක්ෂ දෙකක් තියෙනවා. එකක් ‘අරගලය’ අනෙක ‘රනිල් රාජපක්ෂ’. තව අක්ෂ තියෙනවාද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. තියෙන්නෙ මේ දෙක අතරෙ දෝලනය වෙන, අවසානයේදී මේ අක්ෂ දෙකෙන් එකක ස්ථානගත වෙන මාධ්‍යමික ප්‍රවණතා.

‘අරගලයෙ’ අරමුණ වෙන්නෙ නොදන්නා, විග්‍රහ කර නොගත්, යම් ක්‍රමයක් ස්ථාපිත කිරීම. ඒත්, ප්‍රායෝගිකව ගත්තාම වෙන්නෙ රට අරාජිකත්වයකට තල්ලු වීම. හේතුව, ‘අරගලයට’ නිශ්චිත නායකත්වයක්, සංවිධාන ස්වරූපයක් නැහැ. ඒ වගේම, තමන්ගේ කියලා ස්පර්ශ කළ හැකි බලවේගයකුත් නැහැ. තියෙන්නෙ නැගිටලා එයි කියලා විශ්වාස කරන මහජන සන්නිපාතයක් පිළිබඳ විශ්වාසයක්. ඒ අය කවදා, කොයි විදියට නැගිටලා එයිද, මොනවා කරයිද ආදිය කවුරුවත් දන්නෙ නැහැ. ඒ බලවේගය පුබුදු කරන්නෙ පාලකයන් හොරුන්ය, මහජනතාව දුකට පත්වුණේ ඔවුන් කළ සොරකම් නිසාය, ඔවුන්ට දඬුවම් කර සොරකම් කළ මුදල් ආපසු ලබාගැනීමෙන් රට සුඛිත මුදිත කළ හැකිය, ඒ සඳහා වීදි බැසීම උතුම්ම දේශපාලන ක්‍රියාවය, අවසානයේ ජනතාව ජය ලබනු ඇත යන විශ්වාසය ඔවුන් තුළ ගොඩනැගීමෙන්. එය එසේ වන්නේ කෙසේද යන ප්‍රශ්නය නොඇසිය යුතු ආගමික ස්වරූපයකින් තමයි එය ගොඩනැගෙන්නේ. ඔවුන් පාවිච්චි කරන්නේ ක්‍රම වෙනස විසින් නිර්මාණය කරන දුෂ්කරතා හමුවේ මහජනයා තුළ නිර්මාණය වන නොගැඹුරු විරෝධාකල්ප.

ජනතාව පූජනීය පිරිසක් ලෙස ඇන්දවීම මෙහි මූලික ලක්ෂණයක්. එහි ප්‍රතිවිරෝධය ලෙස පාලකයන් හොරුන්ය යන අදහස ගොඩනැගීම අනිවාර්යයි. එහෙම නැතිනම් ජනතාව පූජනීය, වන්දනීය, වීරෝදාර පිරිසක් කියලා අන්දගන්න බැහැ. ජනතාව කොයි තරම් හොරුද කියලා පෙන්නන්නට සරල උදාහරණයක් පසුගියදා ගිනිගත්ත තොටළඟ කජීමාවත්තෙ ග්‍රාමසේවකගෙ කටින් පිටවුණා. ඔහු කියන අදහස මෙහෙමයි. “අම්මටයි, තාත්තටයි රජයෙන් තට්ටු නිවාස ලැබිලා. ඒත්, දරුවන් පස්දෙනාටත් රජයෙන් තට්ටු නිවාස ලැබෙනකල් මේ වතුවල අවසානයක් නැහැ.”

දේශපාලකයන් ලොකුවට හොරකම් කරනවා, ජනතාව කළොත් පොඩි හොරකමක් කියලනේ කියන්නෙ. රජයේ ඉඩම්වල අනවසරයෙන් පදිංචි වීම හරහා අගනාගරික ප්‍රයිම් ලෑන්ඩ්වල දේපල රජයෙන් කොල්ලකෑම සිදුවන්නෙ කොහොමද, ඒවා කරන්නෙ කවුරුද කියන එක කවුරුත් දන්නවා.

ජනතාව අහිංසක නැහැ. ඔවුන් දේශපාලකයන්ට කැන්වසින් ගිහින්, පෝස්ටර් ගහලා, රැස්වීම් සංවිධානය කරලා, වරායෙ, විදුලිබල මණ්ඩලේ, ජල සම්පාදනේ, දුම්රියේ හෝ රෝහල් කම්කරු හෝ පාසල් කම්කරු ලෙස හෝ රැකියා ලබාගන්නවා. මේ රැකියා කෘත්‍රිමව නිර්මාණය කරන ඒවා. ඒවායේ කරන්නට වැඩකුත් හරියට නැහැ. තියෙන එකත් හරියට කරන්නෙ නැහැ. ඒ වෙනුවෙන් ඔවුන් මහජන මුදලින් වැටුප්, අතිකාල, බෝනස්, පුහුණුවීම්, ශිෂ්‍යත්ව, විදේශ සංචාර, ඊපීඑෆ්, ඊටීඑෆ්, විශ්‍රාම වැටුප්, වැන්දඹු හා අනත්දරු අරමුදල් ආදී බොහෝ දේ මහජන මුදලින් ජීවිත කාලය පුරාම ලබාගන්නවා. අන්න ඒ ජනතාව තමයි නැගිටලා ඇවිත් හොරු එළවන්නෙ.

‘රනිල් රාජපක්ෂ’ බලවේගය එහෙම නෙමෙයි. මේ වෙනකොට ඔවුන්ට නිශ්චිත වැඩසටහනක් තිබෙනවා. ඒ තමයි තිබුණු ක්‍රමය පවත්වාගෙන යාහැකි ක්‍රමයක් ලෙස ප්‍රතිව්‍යූහගත කිරීම. ඒ සඳහා අවශ්‍ය කටයුතු ඔවුන් දැන් කරමින් ඉන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම, රජයේ රැකියා ලබා නොදීම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීම, මිල සූත්‍ර වගේම මර්දනයත් ඒ වැඩසටහනේ අංගෝපාංග.

එම නිසා, දැන් මෙතන තිබෙන්නේ එක්තරා විදියකට දෙපාර්ශ්වයක් අතර අඩු තීව්‍රතාවකින් යුක්ත යුද්ධයක්. ඒ අතරෙ අපි පෙනී සිටින්නෙ මෙම තත්වයන් තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ බෙන්ච්මාක් හෙවත් පරමාදර්ශ සමග සංවර්ධනය තුලනය කරන්නටයි. අපි අරාජිකවාදය වෙනුවෙන් පෙනී සිටින්නෙ නැහැ. ඒ නිසා අරාජිකවාදීන්ට අපව ‘රනිල් රාජපක්ෂවාදීන්’ ලෙස පෙනෙන්නට පුළුවන්. ඒත්, අපි ඉන්නෙ ‘රනිල් රාජපක්ෂට’ වඩා ඉදිරියෙන්. අපි ඔවුන්ට බලපෑම් කරන්නෙ මේ අවස්ථාවේ මේ ක්‍රමය තීරණාත්මක ලෙස වෙනස් කිරීම සඳහා කටයුතු කළ යුතු බවටයි. ඔවුන් එය කෙතරම් දුරට කරනු ඇද්දැයි අපට පැහැදිලි නැහැ. ඔවුන්ට බැරිනම් ජවිපෙ, සජබ හෝ පෙසප මධ්‍යස්ථ ධාරාව හෝ බලය ලබාගෙන එම ක්‍රම වෙනස සිදුකරනවාට අපේ කිසිම විරෝධයක් නැහැ. අපි ඔවුන්ට පවා සහාය දෙනවා.