Gallface-protest-Gota-Go-Home-2022

මිලියනයක් ආවද?

මිලියනයක් ආවද? නැහැ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එතෙන්ට බස් දාලා සෙනග ඇද්දෙ නැහැනෙ. අනෙක, නැකැත් බලලා කරපු එකකුත් නෙමෙයිනෙ. මේ අවුරුදු කටේ, දිග නිවාඩුවක් අද්දර, අද වගේ සෙනසුරාදාවක ඔය හොඳටම ඇති. එන්න බැරිවුණ බොහෝ අය විරෝධය එක්ක ඉන්නවා.

අරගලය මාළුවා. මහජනයා වතුර. වතුර මාළුවා වෙන්න අවශ්‍ය නැහැ.

පහළ පන්තික ජනයා මේකට සහභාගී වුණේ අඩුවෙන්. ඒ ජනයා බලමුළුගැන්විය හැකි දේශපාලන බලවේග මේ උද්ඝෝෂණයෙන් බැහැර කරලායි තියෙන්නෙ. ඒක හොඳ තත්වයක් නෙමෙයි කියන එක මේකෙන් අවබෝධ කරගන්නවා නම් වැදගත්.

ජනාධිපති ගෙදර යයිද? නැහැ. ඉඳියි. අලුත් අවුරුද්ද, වෙළඳපොළට තාවකාලිකව ආපු බඩු ආදිය නිසා ආතතිය සමනය වෙලා තමන්ට අල්ලාහිටින්නට පුළුවන් පසුබිමක් හැදෙයි කියලා ඔවුන් හිතනවා. ඒ වුණාට ඒක වෙන්නෙ නැහැ. දැන් තියෙන තත්වය අනුව, ලංකාව බංකොළොත් වෙන එක වළක්වාගන්න ඉතා දුෂ්කරයි.

මේ වෙලාවේ වෙන කවුරුහරි බලයට එනවාට වඩා ගෝඨාභයම බලයේ කෑදර ලෙස එල්ලී ඉඳගෙන විනාශය සම්පූර්ණ කරන එක හොඳයි. මොකද, අපි දැන් වලේ වැටිලා ඉවරයි. ගොඩ එන්න කලින් අපි වලේ ගැඹුර හරියට දැනගන්නට ඕනැ. ගෝඨාභයම ඒක පෙන්නන එක හොඳයි. අපි මේ ගනුදෙනුව අන්තිම සතේට බේරගෙන ඉවරවෙලා තමයි මෙ රට ගොඩගන්නට උරදෙන්නට ඕනැ.

ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්නට ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය නම් ජනාධිපති, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙලා විතරක් මදි. ආර්ථික අපරාධ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එහෙිව නීතිය ක්‍රියාත්මක කිරීමත් අවශ්‍යයි.

ජනාධිපති ඉල්ලා අස්වෙන්නෙ නැතිනම්, ඇයි කැබිනට් මණ්ඩලයක් පත්කරගෙන රාජ්‍ය පාලනය නොකර නිකම් බලාගෙන ඉන්නෙ? කාලය නාස්ති කරන්න එපා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් එක්ක, අනෙකුත් ණයදුන් රාජ්‍ය හා ආයතන සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යූහගත කරගෙන රට බංකොළොත් වීම වළක්වාගැනීමට උත්සාහ කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. වීදියේ උද්ඝෝෂණ ගණන් ගන්නෙ නැතිනම්, ඒවා නැවතුණත්, නැතත් ඔබේ ගමන ඔබ යන්න. සාමකාමී උද්ඝෝෂණවලින් කාටවත් හිරිහැරයක් වෙන්නෙ නැහැ. උද්ඝෝෂණ ප්‍රචණ්ඩ වෙනවා නම් නීත්‍යානුකූලව කටයුතු කරන්න.

දැන් වුණත් ආණ්ඩුවට යා හැකි සම්මුතියක් තියෙනවා. ඒ තමයි, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා, විධායක ජනාධිපති බලතල අවම කරලා, කාර්යක්ෂම භාරකාර ආණ්ඩුවක් පත්කරගන්න. ආර්ථික අර්බුදය වෙනුවෙන් අවශ්‍ය හදිසි පියවර අරගෙන, ඉන්පසු මැතිවරණ පවත්වන්න.

එහෙම නැතිනම් ඔහොම කරගෙන යන්න. වීදියේ විරෝධය නතර වෙන්නෙ නැහැ. හෙට ඒක තව තවත් ශක්තිමත් වෙනවා. ඒක මර්දනය කරන්නත් බැහැ. කරලා වැඩකුත් නැහැ.

අර්බුදයේ ගැඹුර ගැන ලියූ ලිපියක්: මේ වන විට පවතින ආර්ථික තත්වය හා දේශපාලනයට එහි ඇති බලපෑම