Nov 2

බල අරගලයට බල අරගලය කියමු

අජිත් පැරකුම් ජයසිංහ

පුරවැසියකු ලෙස මට පෙනෙන ආකාරයට රටේ ප්‍රශ්න විසඳන දුෂ්කර අරගලයෙ ආණ්ඩුව නියැලී ඉන්නවා. ඒකෙ අඩුපාඩු තියෙනවා. ලංකාවෙ ආණ්ඩුවලත්, රජයේත්, කාර්යක්ෂමතාව හැමදාමත් ගැටලු සගහත කාරණයක්. ඒ වගේම තමයි ඉතින් ජනතාවත්. තමන්ට ලැබෙන දේ ගැන තරම් තමන්ගෙන් රටට වියයුතු දේ ගැන රටේ ජනතාව අවධානය යොමු කරන්නෙ නැහැ. ජනතාවට ඉන්න නායකයන් ඉතාම පසුගාමී පිරිසක්. ඒ නිසා ආණ්ඩුව කරන දේට සහාය දෙන එක මදිකමක් නම් පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න.

මේ අතරෙ බල අරගල කළාට කමක් නැහැ. හැබැයි, බලය අරගෙන රට කරන්න බලාගෙන බල අරගල කරන්න. පාර්ලිමේන්තුවේ නියෝජනයක් නැති අයට පාර්ලිමේන්තුවට යන්න අවශ්‍ය නම්, මැතිවරණයක් පවත්වන කල් ඉවසන්න. රාජ්‍ය නායකත්වයට පත්වෙන්නට ඕනැ නම් නිසි ක්‍රියාමාර්ග ගන්න. ආර්ථිකය බිඳදාලා මැතිවරණ දිනාගන්නත් බැහැ. ආර්ථිකය කඩාවැටිලා සියල්ල විනාශ වෙන සංදර්භයක බලය අරගෙන වැඩකුත් නැහැ.

මේ වෙලාවෙ ලංකාව ණය ප්‍රතිව්‍යූහගත කරගත යුතුයි. බංකොලොත්බවින් මිදිය යුතුයි. ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුයි. රට ආපහු ට්‍රැක්එකට ගත යුතුයි.

රටට සංචාරකයන් එන්නට ඕනැ. අමාරුවෙන් ඔලුව උස්සන ආර්ථිකය ඉදිරියට යන්නට ඕනැ. මේවා කඩාකප්පල් කළොත්, සජිත් ප්‍රේමදාසලා වගේ දේශපාලකයන්ට වැටුප්, පහසුකම් ආදිය සපයන්නටත්, ජෝසප් ස්ටාලින්ලා වගේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නටවත් රටේ ධනය නැහැ.

මර්දනයට විරෝධය පළකිරීමේ කිසිම වරදක් නැහැ. එවැනි දේවලට අවසර ගැනීම අවශ්‍යත් නැහැ. හැබැයි, පොදු අවකාශ භාවිතා කිරීමේදී, ශබ්ද විකාශන භාවිතා කිරීමේදී සාමාන්‍ය නීතිය පරිදි කටයුතු කරන්නට වෙන එක සාමාන්‍ය තත්වයක්.

යම් මර්දනයක් රටේ තිබෙන බවට අරගලකරුවන් කියන පිරිස වෙතින් අදහසක් පළවෙනවා. අරගලය හා සම්බන්ධ යම් යම් චෝදනා මත අත්අඩංගුවට ගැනීම්, නඩු පැවරීම් සිදුවෙනවා. සිංහල අරගලකරුවන් දෙදෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගැනීම දැඩි ආන්දෝලනයකට හේතු වී තිබෙනවා. එවැනි ආන්දෝලනයක් පසුගිය අවුරුදු හතළිහකට වැඩි කාලයක් තිස්සේ දෙමළ ජනතාවටත්, මෑතදී මුස්ලිම් ජනයාටත් එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගැනීමේදී ඇතිවුණේ නැහැ. දින කීපයකට කලින් නිදහස් වුණ රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගැනීම ගැන ඒ දවස්වල සිංහල සමාජය සතුටු වුණා. අරගලකරුවන්ය කියන අයවත් ශක්තිමත් විරෝධයක් පළකළේ නැහැ.

රජය වසන්ත මුදලිගේට හා සිරිධම්ම හිමිට එරෙහිව එක්කෝ නඩු පැවරිය යුතුයි. නැතිනම්, ඔවුන් නිදහස් කළ යුතුයි.

රටේ සාමකාමී තත්වයක් නිර්මාණය කිරීමට රජයත්, අරගලකරුවනුත් සාකච්ඡා කළ යුතුයි. එහෙම නැතුව, අරගලකරුවන් දිගින් දිගටම බලය පෙන්නන්නට උත්සාහ කිරීමත් වරදක් නෙමෙයි. එතකොට බලයට ප්‍රතිචාර ලැබෙන්නෙත් බලයෙන් බව අවබෝධ කරගත යුතුයි.

බල අරගලවලට බල අරගල කියල කියමු. ඒක උදැල්ලට උදැල්ල කියනවා වගේ සරල දෙයක්. ජනතාව වෙනුවෙන් අරගල කරනවා නම් මේ මොහොතේ ප්‍රමුඛම දෙය වන ආර්ථික අරගලය ජයගන්නට උදව් කරන්න.