taxes

බදු වැඩි කිරීම වැරදිද?

අජිත් පැරකුම් ජයසිංහ

ආර්ථික විශ්ලේෂක උමේෂ් මොරමුදලි පෙන්වාදෙන පරිදි, 2019 ගෘහස්ථ ආදායම් වියදම් සමීක්ෂණය අනුව, ලංකාවේ රු. 79,000ට වඩා ආදායම් උපදවන්නන් අයත් වන්නේ ඉහළම 10%ටයි.

නව ආදායම් බදු සීමාවන් අනුව, මා නම් බදු ගෙවන සීමාවට අයත් වන්නේ නැත. මට ඒ ගැන ලැජ්ජා වෙන්නට හේතුවක් ද නැත. ආදායම් බදු ගැන අඬා වැටෙන මෙහි සිටින බොහෝ දෙනෙකුගේ තත්වය ද එසේය.

මා කුඩා සේවා සම්පාදන ව්‍යවසායක් පවත්වාගෙන යන නිසා, 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, වෘත්තිකයන් වැනි පුද්ගලයන් වෙත සිදු කරන මසකට රු. 100,000ක් ඉක්මවන සේවා ගෙවීම් මත 5%ක රඳවා ගැනීමේ බද්දක් පැනවීම මගේ සමාගමට යම් සුළු බලපෑමක් කරනු ඇත. සමස්තයක් ලෙස ආර්ථිකයේ සිදුවන සංකෝචනය අපට ඊට වඩා දැඩි ලෙස බලපා තිබේ.

මේ අතර ‘කිසිවකු අත් නොහරිමු’ තේමාව යටතේ රජයේ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් හඳුන්වා දෙන්නට යන සහනාධාර ක්‍රමය සඳහා මේ වන විට ලක්ෂ 23කට වඩා ලියාපදිංචි වී තිබේ. රජයේ තක්සේරුව අනුව, පවුල් ලක්ෂ 39ක් දක්වා පිරිසකට මෙම සහනාධාර අවශ්‍ය වනු ඇත.

ආදායම් බදු ගෙවීමට සිදුවන පිරිස එම බදු ගෙවීම අසාධාරණ නැත. හේතුව, ඔවුන් මුදල් ඉපැයීම සඳහා රජය හා පොදු සමාජය විසින් ගොඩනගන ලද ආර්ථික හා සමාජ යටිතලය මත රඳාපවතින බැවිනි.

උදාහරණයක් ලෙස ටියුෂන් පන්ති කරන ගුරුවරයකු ගනිමු. එම ගුරුවරයා කරන ව්‍යාපාරයට අවශ්‍ය පසුබිම සකස් කරන්නේ රජයේ පාසල්, විෂයමාලා, විභාග ආදිය විසිනි. එයට අමතරව, එම ව්‍යාපාරයට අවශ්‍ය වන අවකාශ, වීදි, පොදු අවකාශ, ජල බැස යන මාර්ග, වීදි පහන්, ජලය, විදුලිය ආදිය පවත්වාගෙන යන්නේ ද රජය විසිනි. රජය විසින් සපයනු ලබන ආරක්ෂාව ඉතා වැදගත්ය. පොලිසිය, අධිකරණය, බන්ධනාගාර ආදිය නඩත්තු නොකරන්නේ නම්, ටියුෂන් මාස්ටර්ගේ ටික්කාට කොල්ලන් අල්ලන් නෙළනු ඇත.

එසේම, ටියුෂන් මාස්ටර් ළඟ පංති එන්න මොළේ තියෙන කොල්ලන් කෙල්ලන් රොත්තක් හැදුනේ, ළදරු මරණ අනුපාතිකය, මන්දපෝෂණය, වසංගත අඩු වී, නීරෝගී ජාතියක් හදන්නට නිදහස් සෞඛ්‍යය වෙනුවෙන් රජය කළ වියදම් නිසාය. කොවිඩ්-19න් බේරී හෝල්වල බය නැතුව ළමයි ගාල් කරන්නේ රජය නොමිලේ සැමට සිදුකළ එන්නත්කරණය නිසාය.

මෙයට එකතු කළ හැකි තව බොහෝ දේ ඇත. උදාහරණයක් ලෙස, ඔබ මෙම සටහන දකින්නේ රජය විසින් මෙහෙයවනු ලබන අන්තර්ජාල යටිතලය නිසාය. බදු නොගෙවීම සඳහා ඔබ දිරිගන්වන සිරස බලන්නේ රජය විසින් පවත්වාගෙන යන තරංග සංඛ්‍යාත පරාසය භාවිතා කරමිනි.

අප හැම බදු ගෙවිය යුතුය. ඉහළ ආදායම් ලබන අය වැඩියෙන් බදු ගෙවිය යුතුය. දැනටත් අපි විශාල වශයෙන් වක්‍ර බදු ගෙවන්නෙමු. ඍජු බදු ඊට වඩා විනිවිද පෙනේ.

2019 වසරේ 12.7%ක්ව පැවති දළ දේශීය නිෂ්පාදිතය අනුව බදු අනුපාතය, 2020 වසරේ දී 9.1% දක්වා අඩු වූ අතර, 2021 වසරේ දී එය 8.7% දක්වා තවදුරටත් අඩු විය.

2019දී 86.9%ක්ව පැවති දළ දේශීය නිශ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය, 2020 වසර වන විට 100.6% ද, 2021 වසරේ දී 104.6% ද දක්වා ඉහළ ගියේය. මෙය ලංකාව බංකොළොත්භාවයට පත්කළ රාජ්‍ය අයවැය හිඟය හා ණය අර්බුදය නිර්මාණය කිරීමට ප්‍රධාන හේතුව විය.

රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.5ක් පමණ වේ. රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.5කි. රජයේ වියදම්වලින් 30%ක් වැය වන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමටය. තවත් 30%ක් ණය පොලිය ගෙවීමට වැය වෙයි. ඉතිරි 30% විවිධ සහනාධාර සඳහා වැය වෙයි.

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට නම් ශ්‍රී ලංකාවේ බදු ව්‍යූහය ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යවශ්‍යය. කෙසේ වෙතත්, රජයේ වියදම් පියවාගැනීම සඳහා බදු ආදායම් තවදුරටත් ප්‍රමාණවත් නොවන නිසා රජයේ වියදම් ද අවම කිරීමට සිදුවනු ඇත.

ඔබේ බදු මුදල් නාස්ති වෙනවාද? ඒවා සොරකම් කරනවාද? ඔබට ඵලදායී රාජ්‍ය සේවයක් ලැබෙන්නේ නැද්ද? රජයට ඔබේ බදු මුදල් සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන්න. දේශපාලකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද ඔබට වගවන තත්වයට පත්කරන්න.

අදාළ බදු ගැසට් නිවේදනය මෙතැනින්